වර්ෂ 2025 ක්වූ January 17 වැනිදා Friday
උණ හොඳ කරන උණ
“වෙදනෝනා. මේ වෙලාවෙ මට ටිකක් කතා කරන්න පුළුවන් ද?”
“ඔව් දුව. කියන්න. මොකක්ද වුවමනාව?”
“වෙදනෝනා මට විශ්වවිද්‍යාලයේ නිබන්ධනයකට උණ ශාකය ආයුර්වේද ඖෂධ සඳහා කෙසේ උපයෝගි කර ගන්නවද කියල කරුණු ටිකක් දැනගන්න ඕනෑ. ඒකට ටිකක් උදව් කරන්න පුළුවන්ද?”
“හොඳයි දුව මම උදව් කරන්නම්. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ වගේම සෑම වෛද්‍ය ක්‍රමයකම කාන්තා රෝග යනුවෙන් වෙනම කොටසක් නම් කරල ඒ සඳහා විශේෂ ප්‍රතිකාර ක්‍රමවේදයක් කරනු ලබනවා. මේ සඳහා කරනු ලබන ආයුර්වේද ප්‍රතිකාරවලදී මුල් තැනක් ගන්නා ඖෂධ ද්‍රව්‍යයක් තමයි උණ කියන්නෙ.
පොදුවෙ ගත්තාම ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම ඇතිවන රෝගාබාධයන්ට අමතරව වනිතාවන්ගේ ශාරීරික වෙනස්කම් නිසා හටගන්නා රෝග රැසක් තියෙනවා. වර්තමානයේ ස්ත්‍රීරෝග වශයෙන් සමාජය තුළ දකින්න ලැබෙන රක්ත ප්‍රදර... ශ්වේත ප්‍රදර... සෝම රෝගය ඇතුළු රෝග රැසකට මේ උණ ශාකයේ ඖෂධ කොටස් යොදා ප්‍රතිකාර කරනු ලබනවා.
ඒ වගේම තමයි දුවේ, තෘණ ගණයට අයත් විශාලතම ශාකය විදිහට උණ ශාකය හදුන්වන්න පුළුවන්. ඉතා ඉක්මනින්ම වැවෙන ශාක අතුරින් මුල් තැනට පත්වන ශාකයක් විදියට උණ හදුන්වන්න පුළුවන්.
එසේම සංහිතා කාලයේ ඉඳලා මේ දක්වාම බොහෝ සෙයින් ඖෂධ සඳහා යොදා ගන්නා ශාකයක් විදියටයි උණ හදුන්වන්නෙ. ද්‍රව්‍ය ගුණ වර්ගීකරණයේ දැක්වෙන “තෘණ පංචමූලයට” අයත් එක් ද්‍රව්‍යයක් විදියටත් උණ හදුන්වන්න පුළුවන්.”
“එතකොට වෙද නෝනා උණ වැවෙන ප්‍රදේශ මොනවද?”
විදේශීය වශයෙන් ගත්තාම
ඉන්දියාව ඇතුළු පෙරදිග රටවල බොහෝ සෙයින් දකින්න පුළුවන්. විශේෂයෙන් ඇල, දොළ, ගංගා ආදී ජලාශ්‍රිත ස්ථානවල බහුලව දක්නට ලැබෙනවා.
ශ්‍රීලංකාවෙත් විවිධ ප්‍රදේශවල දකින්න තිබෙන බව දුව දැකලා ඇතිනේ?...
ඒ වගේම දුවේ උණ ශාකයේ කොළ..මල්.. ගොබ..ඇට..සහ උණකපුරු ඖෂධ සඳහා ගනු ලබනවා.”
“මේ උණ කපුරු කියන්නෙ මොනවද වෙදනෝනා?”
“උණකපුරු කියන්නෙ දුවේ, පර්වත ආශ්‍රිතව වැවෙන විශාල උණගස්වල හටගන්නා පදාර්ථයක්.”
“එතකොට වෙද නෝනා උණ ගහට කියන වෙනත් නමි තියෙනවද?”
“ඔව්. සංස්කෘත භාෂාවෙන් වංශ....යවඵල..තෘණ ධ්වජ..ත්වක්සාර.. ශතපර්ව...අනන්ත පර්ව..වංශයට..වංශලේඛන..කීචක..වේණු..කර්මුක. ආදී නම් රාශියක් තියෙනවා
සිංහල භාෂාවෙන්
හුණ..දුණූතුර..පුරුක්යොන්..මහතණ..අනත්ගැට...තෘණදද....තෘණරද.. ආදී නම් යෙදෙනවා.
දෙමළ භාෂාවෙන්
මංගල් හා මුන්තිල් යන නම් යෙදෙනවා.
හින්දි භාෂාවෙන්
බාංශ් කියනව
ඉංග්‍රීසි භාෂාවෙන්
Bamboo කියනවා
උණ වල උද්භිද විද්‍යාත්මක නාමය
Bambusa arundinaceae Willed ලෙසයි දැක්වෙන්නේ.
කුලය
GRAMINEAE හෙවත් යව කුලය යි.
ඒ වගේම තමයි දුවේ අර මම කියූ
උණකපුරුවලට
සංස්කෘත භාෂාවෙන්
වංශලෝචනා...
වංශරෝචනා
වංශක්ෂීරී යන නම් යෙදෙනවා
උණගොබවලට ( උණ කිරිල්ල)
සංස්කෘත භාෂාවෙන්
කරීර..වංශාග්ර... වංශාකුර..යව...
ඵලාංකුර..යන නම් යෙදෙනවා
ඒ වගේම උණ ගස්වල ප්‍රභේද කිහිපයකුත් තියෙනවා.
1.රණ උණ
2. කොළ උණ (නිල් උණ)
3. කටු උණ
4. මහ උණ වශයෙන්.”
“එතකොට වෙදනෝනා, උණවල ඖෂධීය ගුණ එහෙම කොහොමද?”
“උණකොළ...ගොබ සහ ඇට
රසයෙන් මධුර හා කෂාය රස යි.
ගුණයෙන් රූක්ෂ... ලඝු හා තීක්ෂණ යි
වීර්යයෙන් උෂ්ණයි විපාකයෙන් මධුරයි.
දෝෂ අනුව සැලකුවාම
පීත වඩන ගුණ සහිතයි
ඒ වගේම උණ කපුරුවල රසයෙන් මධුර හා කෂාය රසයි. ගුණයෙන් රූක්ෂ.. ලඝු හා තීක්ෂණයි. වීර්යයෙන් ශීතයි. විපාකයෙන් මධුරයි.
දෝෂ අනුව සැලකුවාම
වා පිත් සමන ගුණ යුතුයි.
උණමුල් සෙම් පිත් සමන ගුණ යුතුයි
ඒ වගේම දුවේ
ශාරීරික ව්‍යුහා ආශ්‍රිත ක්‍රියා සැලකුවාම
බාහිර වශයෙන්
උණමුල් වර්ණකාරක නිසා වර්ණ විකෘතිතාවලදී ආලේප කරන්න යොදා ගන්නවා.
කුෂ්ඨ නසන ගුණ තියෙන නිසා උණ මුල් පුළුස්සලා දද, කුෂ්ඨ ආදියේ ගානවා.
අභ්‍යන්තර වශයෙන් ගත්තාම
බඩගිනි අඩුකම, අජීර්ණ සහ පණු අමාරුවලදී උණකොළ සහ ගොබ කෂාය කරලා දෙනවා.
ඒ වගේම
අතීසාර.. වමන සහ පිපාසා ආදියට උණකපුරු යොදනවා.
එසේම උණ කපුරු හදවතට හිතකර වගේම ලේ නතරකරන (රක්ත ස්තම්භන) ගුණයෙන් යුක්ත වෙනවා.
උණමුල් ලේ පිරිසුදු කරන ගුණ සහිත නිසා ලේ නරක් වීමෙන් ඇතිවන රෝගාබාධ සඳහා යොදනු ලබනවා.
ඒ වගේම උණ කපුරු සෙම් පිට කරන සහ සෙම් නසන ගුණ සහිත නිසා කැස්ස, ඇදුම සහ ක්ෂය රෝගය ආදියට යොදනවා.
උණකොළ කෂාය ඔසප් දෝෂ සඳහාත් ප්‍රසවයෙන් පස්සෙ ගර්භාෂය ශෝධනය සඳහාත් යොදා ගන්නවා.
ඒ වගේම උණමුල් සහ උණකපුරු මූත්‍ර කාරකයි. ඒනිසා උණකපුරු සහ උණමුල් මූත්‍ර ආබාධවලට යොදාගන්නවා.
ප්‍රමේහ රෝගයට
උණ ඇටවලින් සකස් කළ බත් කෑමට දෙනවා.
එසේම උණකපුරුවල උණ නසන ගුණ යුතු නිසා උණ සහ කල්ගතවූ උණ සඳහා හොඳයි.
ඒ වගේම උණකපුරු සාමාන්‍ය කායික දුබලතාවලටත් උණ ඇට මේදෝ රෝගයට සහ විෂවලටත්, උණමුල් සහ රුක් අඟුණ පොතු කෂාය පිස්සු බලු විෂේදීත් යොදනු ලබනවා.
එසේම සූතිකාවන්ට (දරුවන් බිහි කළ මව්වරුන්ට) ඇතිවන ලේ වහනය වීම් සඳහා උණගොබයේ ඇතුළත හා පිටත සුඹුල ඉවත් කර කලං 6ක් අට්ටික්කා පොතු කලං 6ක් සමඟ කෂාය කර තිකුළු චූර්ණය (ඉගුරු... ගම්මිරිස්.. තිප්පිලි කුඩුකර) දමා බීමට දීමෙන් ඉක්මන් සුව ලැබෙනවා.
මීට අමතරව කන් කැක්කුමට
උණමුල් යුෂ බිංදු කිහිපයක් දමනවා.
ඉතිං දුවේ මේ ආකාරයට උණ ශාකයේ ඖෂධ කොටස් රෝග රාශියකට ඖෂධ සඳහා යොදා ගන්නවා.
ඒ වගේම සංස්කාරික ඖෂධ වන
ච්‍යවන ප්‍රශාව ලේහය
තාලෘසාදී චූර්ණය (තාලිසාදී චූර්ණය)
සිතෝපලාදී චූර්ණය
ආදී ඖෂධවල අඩංගු එක් ද්‍රව්‍යයක් වන්නේ උණකපුරුයි.
මං හිතන්නේ දුවට උණ ශාකය ගැන අවශ්‍ය සියලුම කරුණු දැන් ලැබෙන්න ඇති කියලා.”
“ඔව් වෙදනෝනා... උණ ගස ගැන කියපු සියලුම කරුණු මට ගොඩක් වැදගත් වුණා. මම මේ කරුණුවලින් නිබන්ධනය හදාගන්නම්.
මට උදව් කලාට ඔබතුමිය ගොඩක් පිං..”
පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද
වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්‍ය
වෛද්‍ය මධුර පරණවිතාන