වර්ෂ 2024 ක්වූ December 06 වැනිදා Friday
වේලාව ගෙන කියවිය යුතු වේලා ගුණ
“තාත්තා මේ වෙලාවෙ බෙහෙත් සාප්පුව ට යන්නෙ නැද්ද?”
“නැහැ. හවසටනේ ආයෙත් ලෙඩ්ඩු ඉන්නේ. ඒ වෙලාවට තමයි ආයෙත් යන්නෙ.
ඇයි. පුතා එහෙම ඇහුවෙ. මොනවහරි උවමනාවක්ද?”
“ඔව්. තාත්තෙ මට කරුණු ටිකක් දැනගන්න ඕනෑ වේලා කියන ඖෂධීය ශාකය ගැන”
“හරි පුතා මම කියලා දෙන්නම්.”
“පුතා දන්නවා නේ. මේ අපි ජීවත් වෙන පරිසරයෙ දකින්න තියෙන. ඖෂධ පැළෑටි අතරින් අපි හඳුනන්නේ ඉතාමත් සීමිත ප්‍රමාණයක්. මේ අපි අවට තියෙන ගස් වැල් ගැන හොඳට පරික්ෂා කරලා බැලුවම පෙනීයන්නේ හැම ගහක් වැලක්ම ඖෂධීය ශාකයක් බව.
ඖෂධ පැළෑටියක් කියන්නෙ මිනිසුන්ගේ.. සතුන්ගේ සහ ශාකවල සුවසෙත සඳහා යොදා ගන්නා ශාකයන්..මේවායෙ තියෙන කොළ.. මල්.. පොතු.. මුල් සහ ගෙඩි ආදී පන්චාංගයනගෙන් එක කොටසක් යොදා ගන්නා පැළෑටි තමයි ඖෂධ පැළෑටි කියල හදුන්වන්නෙ.
මේ ඖෂධ පැළෑටි අතරින් වඩාත් වැදගත් ඖෂධ පැලෑටියක් විදිහට ‘වේලා’ කියන ඖෂධ පැළෑටිය හදුන්වන්න පුළුවන්”
“තාත්තෙ එතකොට වේලා හැදෙන්නෙ කොයි පළාත්වලද?”
“අපේ රටේ අධික ශීත නොවූ සියලුම ප්‍රදේශ වල දකින්න ලැබෙනවා. විශේෂයෙන් තෙත් පහත් බිම්වල දකින්න පුළුවන්.
විදේශීය වශයෙන් ගත්තාම
ඉන්දියාවේ සියලුම උෂ්ණ ප්‍රදේශවල වැවෙනවා. විශේෂයෙන් කුණුරොඩු දිරාපත් වුණු බිම් ප්‍රදේශවල හොඳීන් වැවෙනවා.”
“වේලා පැළෑටිය මොන විදියද තාත්තෙ?”
වේලා කියන්නෙ පුතා කෙලින් ඉහළට වැවෙන අතු බෙදෙන වාර්ෂික ශාකයක්. සෙ.මී.60-120 විතර උසට වැවෙන මේ ශාකයේ කඳ දම් පාටට හුරුයි. ඒ වගේම මේ කඳේ දළ රෝම සහිත ගොරෝසු බවක් තියෙනවා. වේලා කොළ සංයුක්ත පත්‍ර විදිහට පවතිනවා. පත්‍රිකා 6 කින් යුක්තයි. සමහර විට පත්‍රිකා 3ක් තියෙන්නත් පුළුවන්.
මේවායෙ හැදෙන මල් සුදු හෝ ළා රෝස පාටයි. මල් කිනිත්තක් විදිහට තියෙනවා. මලක පෙති 4 ක් තියෙනවා. ඒ වගේම මෙහි දිගටි සිහින් කරල් තියෙනවා. ඒවා සෙ.මී. 5 -7 පමණ දිගින් යුතුයි. මේ කරල්වල තියෙන බීජ දුඹුරු පාටයි. බීජ හටගත්තාට පසු අවුරද්දක් තුළ ගස මැරෙනවා. එවිට එම බීජ වැටී නැවත පැළ හටගන්නවා.
“සෑම වසරකම මැයි. ජුනි මාසවල මල් හටගන්නවා.”
“එතකොට තාත්තෙ වේලාවලට කියන වෙනත් නම් තියෙනවද?”
“ඔව් පුතා. සිංහල භාෂාවෙන් වේලා විතරයි...
සංස්කෘත භාෂාවෙන් සූර්යාවර්ත... සුටර්චලා... ආදිත්‍ය භක්තා... සූර්යභක්ත...අජගන්ධා... අර්ක පුෂ්පිකා... අවිගන්ධා...බර්බරගන්ධා... බ්‍රහ්ම සුදුර්ලභා... කපෝතවංකා....කවරී...පශුගන්ධා...සුගන්ධිකා..සුරජවර්තා....බ්‍රහ්මගර්භ...බ්‍රාහහමීචෝරක. ආදී නම් රැසක් යෙදෙනවා...
හින්දි භාෂාවෙන්
හුල් හුල්... චුරෝටා... හුර් හුර් වැනි නම් යෙදෙනවා
දෙමළ භාෂාවෙන්
වේලායි...නායිවේලායි....සහ නායිවේලා යන නම් යෙදෙනවා. වේලාවල උද්භිද විද්යාත්මක නාමය වුණේ Gynandropis pentaphylla D.C සහ කුලය වුණේ CAPPARACAE හෙවත් වරුණ කුලයයි.
එහෙත් වර්තමානයේ වේලා පැළෑටියේ උද්භිද විද්යාත්මක නාමය සහ කුලය වෙනස් කර තිබෙනවා.
දැන් එහි උද්භිද විද්යාත්මක නාමය Cleome gynandra වන අතර කුලය වන්නේ CAPPARIDSCEAE ආදියයි. ඒ වගේම පුතා වේලාවල සම්පූර්ණ පැළෑටියම සහ ඇට ඖෂධ සඳහා ගනු ලබනවා”
“එතකොට තාත්තෙ වේලා වර්ග කීපයක් තියෙනවද?”
“ඔව් පුතා වර්ග 2 ක් තියෙනවා
මල්වල පාට අනුවයි බෙදල තියෙන්නෙ
ශ්වේත පුෂ්ප - සුදු මල් සහිත වර්ගය
පීත පුෂ්ප - කහ මල් සහිත වර්ගය වශයෙන් බෙදල තියෙනවා”
“එතකොට තාත්තෙ වේලාවල ඖෂධීය ගුණා කොහොමද?”
“මෙය රසයෙන් කටුක හා තික්තයි
ගුණයෙන් ලඝු සහ රූක්ෂයි
වීර්යයෙන් උෂ්ණයි.
විපාකයෙන් කටුකයි
මේ නිසා දෝෂ අනුව සැලකුවාම
සෙම සහ වාතය සමනය කරනවා. මේ නිසා සෙම් සහ වාත රෝග සඳහා ප්‍රයෝග කරනු ලබනවා. ඒ වගේම පුතා වේලා ශාරීරික ව්‍යුහා ආශ්‍රිතව ක්‍රියා කරන ආකාරය සැලකුවාම බාහිර වශයෙන් වේදනා සමන හා උත්තේජක ගුණ යුක්තයි. වේලා කොළ යුෂ කන් කැක්කුම අවස්ථාවල කනට දැමීමට ඉතාමත් හොඳයි.
එසේම වේලා කොළ යුෂ තලතෙල් සමඟ මිශ්‍ර කරල කනට. දැමීම වඩාත් හොඳයි.
ඒ වගේම මේ කොළ සහ ඇටවල ආලේප සන්ධි වාත වේදනා සඳහා ඉතා සුදුසුයි.
පරණ වුණු තුවාල වේලා ඇට කෂායෙන් සේදුවාම ඒ තුවාලවල ඉන්න කීටයන් විනාශ වෙනවා.
ඒ නිසා තුවාල ආදියට වේලා කොළ ආලේපය යෙදීමත් ඉතා හොඳයි.
කල්ගත වුණ ශ්ලීපද (බරවා) රෝගයෙදී වේලා කොළ ආලේප කිරීමෙන් ඒ තැන්වල විස්ඵෝට හැදී ඒවා පුපුරල දියර පිටවීමෙන් ඉදිමුම් අඩු වෙනවා.
ඒ වගේම සර්ප විෂේදී සහ ගෝනුසු දෂ්ටයේදී වේලා කොළ ආලේප කරනවා
අභ්‍යන්තර වශයෙන් ගත්තාම
බඩගිනි අඩුකම... අජීර්ණ... උදර වේදනා...ගුල්ම සහ පණු අමාරුවලදී වේලා ප්‍රයෝග කරනු ලබනවා.
වේලා ඇට චූර්ණය දිනකට දෙවරක් බැගින් දින 2 ක් ගෙන තුන්වැනි දින එරඩු තෙල්වලින් විරේචනය කිරීමෙන් විශේෂයෙන් ගණ්ඩූපද ක්‍රිමීන් පිට වෙනවා. ඒ වගේම වේලා උෂ්ණ නිසා දහඩිය ඇති කරන නිසා සමේ රෝග සඳහා උපයෝගී කර ගනු ලබනවා. දහඩිය ඇති කරන නිසා උණ අඩු කරනවා. උණ රෝගයේදී අනෙකුත් බෙහෙත් වර්ග සමඟ මිශ්‍රව යොදන්නත් පුළුවන්.
ඒ වගේම වේලා අඩංගු කෂාය කිහිපයක් තියෙනවා.
දශමූල බලාදී කෂාය, නිකමුල් බර කෂාය, බලාබිල්වාදී කෂාය, වේලා මුල් කුඹුරු කොහොඹ ආදී කෂාය මේ කෂාය වර්ග ප්‍රධාන තැනක් ගනු ලඛනවා.
ඒ වගේම තමයි පුතා දේශීය වෙදකමේදි සූතිකා රෝග.. සන්නිපාත උණ වගේ දරුණු රෝග වලදි ගුලි.. කල්කවල අනුපාත විදිහටත්.. ගුලි කල්ක ඇඹරීමේ සාත්තුවක් විදිහටත් .. ශූලහර තෛලය ඇතුළු තෙල් වර්ග රාශියක උපාදානයක් විදිහටත් වේලා යොදා ගනු ලබනවා.
මේ තෙල් වර්ග අතරින් වේලා ප්‍රධාන වශයෙන් අඩංගු තෙල ශූලහර තෛලයයි. මේ සඳහා වේලා යුෂ... ඉගුරු යුෂ... තලතෙල්... අබතෙල්... සහ සහිඳලුණු අඩංගුයි. මේ තෙල වාතරෝග... පෙණහලු රෝග ආදියට වඩාත් ගුණදායකයි.
ඒ වගේම පුතා,
සර්ව විෂාදි තෛලය, කෝලශ්ලේෂ්මා තෛලය, දශවග ප්‍රමේහ තෛලය, මහා නාරායන තෛලය, මහා විකාර තෛලය, යමදේවරාජ තෛලය, සත්තවාදී තෛලය, විෂඝනනීලි තෛලය, හෙණරාජ තෛලය, චතුර්මථ බ්‍රහ්ම තෛලය, ප්‍රාණජීව තෛලය ආදි තෙල් වර්ග රාශියක එක් උපාදානයක් වන්නේ වේලා මුල් ආදියයි.
දේව මුර්තූ ගුලිය, මුස්තාදී ගුලිය, දේවකුමාර ගුලිය, හෙනරාජ ගුලිය ආදියේත් අඩංගු එක උපාදානයක් වන්නේත් වේලා මුල්
ඒ වගේම මහා සන්නි වජ්‍රපාඨ ගුලියේ එක් උපාදානයක් වන්නේ වේලා කොළ යි.
තව... බුද්ධරාජ කල්කය, සීතාරාම වටිය, විජයරාජ ගුලිය ආදියේ අනුපානයන් සඳහාත් වේලා මුල් අඩංගු වෙනවා.
ඒ වගේම කෝලවිනාශ කල්කය, කුමාර ජ්වරාංකුශ ගුලිය, ආදියේත් වේලා ඇට අඩංගු වෙනවා.
ඒ වගේම වැදූගෙයි සන්නියට යොදනු ලබන සන්නිරාජ චූර්ණය තුළ වේලා එක් උපාදානයක් තව ඖෂධ යෝග කිහිපයක් ම තියෙනවා පුතා වේලා අඩංගු වුණ.
වැදූගෙයි සන්නියට
කොහොඹ පොතු.. වේලා කොළ යුෂ.. මුරුංගා පොතු යුෂ... බුලත් පලා යුෂ... කොහොඹ තෙල් සමඟ යොදනු ලබනවා.
සියලු වායූ සඳහා
මුවකීරිය.. වැල්පෙනෙල.
මඟුල් කරඳ... වේලා... නස්නාරං... පාවට්ටා සහ මුඩමහන යොදනු ලබනවා.
සර්ප විෂේදී නස්න ලෙස
වේලා කොළ.. සුදුලූණු.. වදකහ කොටා නස්න කරනු ලබනවා.
විෂ සඳහා කැඳක් ලෙස
වේලා මුල්,බෝපොතු, පොල්මුල් කොටා මිරිකා තණහාල්වලින් කැඳ පිස දෙනවා.
ඉතිං පුතා වේලා කියන්නෙ ආයුර්වේද වෙදකමේ සහ දේශීය වෙදකමේදි බොහෝ සෙයින් යොදා ගනු ලබන ඖෂධ පැලෑටියක්
කෂාය... ගුලි... කල්ක... තෙල් ආදී ගොඩක් බෙහෙත් වර්ගවල අඩංගු වන වටිනා ඔසුවක්.”
“ඔව් තාත්තා කියල දුන්නු කරුණුවලින් මට ඒ ගැන අවබෝධ වුණා.
වේලාවල ඖෂධීය වටිනාකම ගැන වගේම වේලා අඩංගු ඖෂධ ආදිය ගැනත් හොඳ අවබෝධයක් ලැබුණා.”
පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද
වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්‍ය
වෛද්‍ය මධුර පරණවිතාන