පණු රෝග නසන අගනා ඔසුව

වලඟසාල්
දෙසැම්බර් 20, 2024

“වෙදමහත්තයා... ගොඩක් දවසකින් ඔබතුමා හමුවෙන්න ආවේ”

“ආ... ගොඩක් දවසකින් තමයි. ඉතිං ඉස්කෝලේ නෝනා මොකද... කාටද අසනීප වෙලා තියෙන්නෙ දුවටද?”

“ඔව් වෙද මහත්තයෝ

මේ දුවට දැන් වයස අවුරුදු 10 යි.

පණු අමාරුව වගේ තියෙනවා. ඒකට බෙහෙත් ටිකක් ගන්න ආවෙ.”

“ඉස්කෝලේ නෝනා. දුවට ළඟදි පණු බේත් දුන්නෙ නැද්ද?”

“අවුරුද්දකට විතර කලින් තමයි වෙද මහත්තයෝ පණු බේත් දුන්නෙ.”

“එහෙනම් ඉස්කෝලේ නෝනා. දුවට වලඟසාල් ගොටු දඬු එක්ක තම්බලා බොන්න දෙන්න. දවස් තුනක් විතර බිව්වම ඇති.”

“හොඳයි වෙද මහත්තයෝ ඒ විදියට දෙන්නම්. එතකොට වෙද මහත්තයෝ වලඟසාල් කියන්නෙ පණු අමාරුවට හොද බේතක් ද?”

“ඔව් ඉස්කෝලේ නෝනා. වලඟසාල් පණු අමාරුවලට ඉතාම හොඳ ඖෂධයක්. ඒ වගේම තවත් රෝග රාශියකට ගුණ දෙන අගනා ඔසුවක් ඉස්කෝලේ නෝනා.

මිනිසුන්ට වැලඳෙන රෝගාබාධ ගැන සැලකුවාම මේ සඳහා බොහෝ සෙයින් හේතු වන්නේ වා, පිත්, සෙම් කියන තුන් දොස්වල වෙනස් වීමයි. මේ රෝගවලදී ප්‍රතිකාර සඳහා කරන්නෙ ඒ වෙනස් වුණු දෝෂ නැවත නියම තත්ත්වයට ගෙන එන්න ආහාර, විහරණ සහ ඖෂධ යොදන එක.

මේ විදිහට හටගන්න කුෂ්ඨ, වාතරක්ත, වාත රෝග, පීණස, ප්‍රමේහ, අර්ශස්, අතීසාර, ආමවාත වගේ රෝගාබාධ අතරින් ක්‍රිමිරෝග හෙවත් පණු රෝග ප්‍රධාන තැනක් ගනු ලබනවා.

වටපණු, කොකුපණු, කසපණු, පටිපණු, කිරිපණු කියන ප්‍රධාන පණු විශේෂයන් මුල් කරගෙන යොදන සාර්ථක චිකිත්සා ක්‍රම ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ වගේම දේශීය වෛද්‍ය ක්‍රමයේත් දකින්න ලැබෙනවා. මේ ප්‍රතිකාරවලදී යොදා ගන්නා ප්‍රධානතම ඖෂධයක් තමයි වලගසාල් කියන්නෙ.”

“එතකොට වෙද මහත්තයෝ වලඟසාල් කොහේද වැවෙන්නෙ?”

“වලඟසාල් ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල දකින්න ලැබෙනවා ඒ වගේම ශ්‍රී ලංකාවේ සමහර ප්‍රදේශවල දකින්න පුළුවන්. විශේෂයෙන් මීටර් 500 දක්වා තෙත් කලාපීය උස් ප්‍රදේශවල වැවෙන පැළෑටියක් ඒ වගේම තමයි ඉස්කෝලේ නෝනා. වලඟසාල් ඈත අතීතයෙ ඉඳලම ඖෂධ සඳහා යොදා ගෙන තියෙනවා.”

“වෙද මහත්තයෝ වලඟසාල් මොනවගේ පැළෑටියක් ද?”

“වලඟසාල් කියන්නෙ තරමක් විශාලව පොළොවෙ පැතිරෙමින් වැඩෙන ගුල්ම ගණයට අයත් විශාල පදුරු විශේෂයක්. මේවායෙ කඳ දුඹුරු පාටයි. පොත්ත ගනකම් සහ තද ගතියෙන් යුතුයි. මේවායේ කෝණාකාර බොත්තම් වැනි ප්‍රසර පිහිටලා තියෙනවා.

අතු සිහින් හා දිගයි. හැමවිටම ආරුක්කු වගේ අතු හැදිලා තියෙන්නෙ. මේවායේ කොළ දික් හැඩයෙන් යුතු රවුම් ස්වරූපයක් ගන්නවා. සෙ.මි. 10 ක් විතර දිගයි. සුමටයි. මේ වලඟසාල් කොළවල යටපැත්ත රිදී පාටයි. ස්වල්ප වශයෙන් ග්‍රන්ථි සහිතයි. මල් සුදු පාටයි. ගම්මිරිස් ඇට වගේ ගෙඩි සහිතයි. මේ ගෙඩි වේළුණාම රන්වන් රතු පාටයි. මේ ගෙඩිවල පොත්ත ඉවත් කළාම මදය සුදු කළු මිශ්‍ර පාටින් යුක්තයි.”

“වෙද මහත්තයා එතකොට වලඟසාල්වලට කියන වෙනත් නම් මොනවද?”

“වලඟසාල්වල පොදු සිංහල නාමය වන්නේ වලඟසාල්මයි ඉස්කෝලේ නෝනා.

“සංස්කෘත භාෂාවෙන් විඩංග, කෘමිශස්තෘ, ක්‍රිමිරිපු, කෘමිඝ්න, ජන්තු, ජන්තුඝ්න, රසායනී, තණ්ඩුල, වේල්ල, චිත්‍ර කණ්ඩුල, චිත්‍ර බීජ, සචිත්‍රාබීජ ආදි නම් රාශියක් යෙදෙනවා.

හින්දි භාෂාවෙන් බාබිරං නම යෙදෙනවා. දෙමළ භාෂාවෙන් විලම්ගන් සහ වායුවිලංගම් යන නම් යෙදෙනවා. ඉංග්‍රීසි භාෂාවෙන් Berries යන නාමය යෙදෙනවා. වලඟසාල්වල උද්භිද විද්‍යාත්මක නාමය Embelia Ribes Bum.f  වන අතර කුලය MYRSINACEAE කුලයයි.

ඒ වගේම ඖෂධ සඳහා යොදා ගන්නෙ වලඟසාල් බීජයි.”

“එතකොට වෙද මහත්තයෝ වලඟසාල්වල ඖෂධීය වටිනාකම කොහොමද?”

“වලඟසාල් රසයෙන් කටුක යි ගුණයෙන් ලඝු රූක්ෂ හා තීක්ෂණ යි වීර්යයෙන් උෂ්ණයි විපාකයෙන් කටුකයි දෝෂ අනුව සැලකුවාම වාතය හා සෙම නසනු ලබනවා. ඒ වගේම මේ මඟින් බඩගින්න වැඩි කරනවා.

ගුල්ම, උදර, ආධ්මාන, කඵජ රෝග, ක්‍රිමී රෝග සහ මලබද්ධය නැති කරනවා.

අභ්‍යන්තර වශයෙන් ගත්තාම

මොළයට සහ ගෙඩිවලට හිතකරයි. ඒ වගේම දීපන, පාචන සහ අනුලෝමන ගුණ සහිතයි. ලේ පිරිසිදු කරනවා.

එසේම රස ග්‍රන්ථිවල ක්‍රියා කරන නිසා ඉදිමුම් ආදිය නසනු ලබනවා. ඒ වගේම මූත්‍රකාරක ගුණ යුක්තයි. එසේම සමේ වර්ණය ඇති කරන අතර කුෂ්ඨ නසනවා. ඒ වගේම තමයි ඉස්කෝලේ නෝනා, වලඟසාල්වල තියෙන ප්‍රධානම ගුණය වන්නේ කෘමිඝ්න ගුණය හෙවත් පණුවන් නසන ගුණයයි. ඒ වගේම විශේෂ ගුණය වන්නේ රසායන ගුණයයි. ඒ වගේම වලඟසාල්වල මෘදු විරේචන ගුණයත් තියෙනවා.

ඒ වගේම ඉස්කෝලේ නෝනා. වලගසාල් විෂබීජ නාශක ගුණයෙන් යුතු බව නවීන පරියේෂණයකින් සොයා ගෙන තියෙනවා.”

“එතකොට වෙද මහත්තයෝ මේවා අඩංගු ඖෂධ යෝග මොනවද කියල කියන්න පුළුවන් ද?”

“වලගසාල් අඩංගු ඖෂධ යෝග නම් රාශියක්ම තියෙනවා. ඒ අතරින් පණු අමාරුවලට තමයි ප්‍රධාන වශයෙන් යෙදෙන්නේ. විශේෂයෙන් අපේ රටේ වලඟසාල් බැදලා කුඩුකරලා හදාගත්ත කෂාය ක්‍රිමි නාශක ඖෂධයක් වශයෙනුත්, බඩේ අමාරු සඳහාත් ප්‍රයෝග කරනවා.

ක්‍රිමි රෝගවලට

වලඟසාල් කබලේ බැද කුඩුකර උදේ හිස් බඩ දීමෙන් පණුවන් හැදීම වැලකෙනවා.

ඒ වගේම වැඩිහිටි අයට වලඟසාල් චූර්ණය ග්‍රේන්ස් 1-4 දක්වා එලකිරි සමඟ. උදේ හිස් බඩ බීමට දෙනවා.

ඊට පසු විරේකයට එරඩු තෙල් දීමෙන් පණුවන් නැසෙනවා.

රසායන ගුණ සඳහා

1 වලඟසාල් චූර්ණ කර නෙල්ලි යුෂ සහ මීපැණි සමඟ දීම

2 වලඟසාල් චූර්ණ කොට මුද්දරප්පලම් කෂාය සහ මීපැණි සමඟ දීම

3 වලඟසාල් චූර්ණ කොට රසකිඳ සහ මීපැණි සමඟ දීම

මේ යෝගවලින් එකක් රසායන ගුණ බලාපොරොත්තුවෙන් යොදන්න පුළුවන්.

කිරිපණුවන් සඳහා

වලඟසාල්, තිප්පිලි එකට කුඩුකර කටු එරබදු කොළ යුෂයෙන් අඹරා එයට තලතෙල් ස්වල්පයක් දමා පුළුන් වැටියක තවරා ගුද මාර්ගයේ තැබුවාම කිරිපණුවන් වැටෙනවා.

ඒ වගේම වලඟසාල් අඩංගු ප්‍රසිද්ධ කෂාය වර්ගත් තියෙනවා

ඒ අතරින්

1 කුඹුරු ඇට අට කෂාය වශයෙන් හදුන්වන

යක්ෂාක්ෂී ලශුණං පත්‍යා

විඩංගං නිම්බ කාලිකං

වෘහතීද්වය සංයුක්තං

කෘමි කෝටි ශතං ජයේත් යනුවෙන් දක්වන කුඹුරු ඇටමද සුදුළූණු. අරළු වලගසාල් කොහොඹ නැටි කළුදුරු එළබටු මුල් කටුවැල්බටු යන කෂාය සියලුම ක්‍රිමි රෝග ( පණු අමාරු) සඳහා බාල..තරුණ.. මහලු සියලුම දෙනාට ප්‍රශස්ත කෂායක්

වලඟසාල් ..ගොටු දඩු කෂාය ද ක්‍රිමි රෝගවලට බාල..තරුණ..මහලු සියල්ලන්ටම ඉතා හොඳ කෂායක්.

ඒ වගේම වලඟසාල් අඩංගු සංස්කාරික ඖෂධත් කිහිපයක් ම තියෙනවා.

ඒවා අතරින් විඩංගාසවය, විඩංගාරිෂ්ඨය, විඩංගාදී චූර්ණය, මානිභද්‍ර චූර්ණය, විඩංගාවලේහය, විඩංග තෛලය මේ ආදි වශයෙන් වලඟසාල් කියන්නෙ පණු අමාරු ඇතුළු රෝග රැසකට ගුණදෙන ඔසුවක්. උපද්‍රවවලින් තොරව සාර්ථක ලෙස පණු රෝග සමනය කරන ඉතා අගනා දේශීය මෙන්ම ආයුර්වේද ඔසුවක් විදිහට වලඟසාල් හදුන්වන්න පුළුවන්. ඉතිං ඉස්කෝලේ නෝනා. වලඟසාල් කියන්නෙ පණු අමාරුවලට දිව්‍ය ඖෂධයක්. ඒ නිසා වලඟසාල්, ගොටූදඩු කෂාය දුවට දෙන්න. එයින් ම ලෙඩේ සනීපවේවි.”

“හොඳයි වෙද මහත්තයා... ඒ විදිහට බේත දෙන්නම්. වලඟසාල් ගැන දැනුවත් කළාට ඔබතුමා ට ගොඩක් ස්තුතියි.”

 

පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද

වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්‍ය

වෛද්‍ය මධුර පරණවිතාන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.