පටිපණු රෝග - පිපාසය නසා උන්මාද සුව කරන අළුපුහුල්

නොවැම්බර් 22, 2024

“මොකද ග්‍රාමසේවක නෝනා දුවත් එක්ක? කොහේ යන ගමන්ද?”

“නැහැ වෙද නෝනා. මෙහේටමයි ආවෙ. මේ දුවට බෙහෙත් ටිකක් ගන්න”

“ඇයි... දුවට මොකද?”

“වෙද නෝනා බලන්නකො මෙයාගෙ හැටි. ගොඩක් කෙට්ටු වෙලා. බරත් ගොඩක් අඩුවෙලා.”

“දුව කෑම කනව අඩුයිද?”

“නැහැ. වෙද නෝනා. මෙයා කෑම හොඳට කනවා. ඒත් කෙට්ටුයි.”

“ග්‍රාම සේවක නෝනා මේ ගැන එච්චර හිතන්න එපා. මම දුවට හොඳ බේතක් දෙන්නම්.රසායන බේතක්. මේ බේත මාසයක් විතර අරගෙන බලමු. මේක අළුපුහුල්වලින් හදල තියෙන්නේ. මේ බේත් ගන්න කොට ඔය කෙට්ටු ගතිය ඇරිලා යාවි.”

“ඒ කියන්නේ වෙද නෝනා... අළුපුහුල් බෙහෙත්වලටත් ගන්නවද?”

“ඔව් ග්‍රාමසේවක නෝනා. අළුපුහුල් කියන්නේ හොඳ ඔසුවක්...

පුහුල් බස්නය........කුෂ්මාන්ඩ රසායනය වගේ බෙහෙත් ඇඟ මහත් කරන්න. පෘෂ්ඨිමත් බව ඇති කරන්න හොඳ ඖෂධ. මේ බෙහෙත්වලින් පුළුවන් කෙට්ටු වීම අඩුකරලා... ශරීරයේ මහත ඇති කරන්න.”

“වෙද නෝනා... මම හිතුවෙ පුහුල් ආහාරයක් විතරයි කියල. ඖෂධීය ගුණ තියෙනවා කියල මම දැනගෙන හිටියෙ නැහැනේ”

“ඔව් ග්‍රාම සේවක නෝනා අළුපුහුල් කියන්නේ හොඳ ඖෂධාහාරයක්... ආහාරමය වශයෙන් වගේම ඖෂධීය වශයෙනුත් එකසේ ප්‍රයෝජනවත්. ඒ වගේම බලි තොවිල්... ශාන්ති කර්ම ආදියටත් උපයෝගී කරගන්නවා.”

“අපේ රටේ විතරයිද වෙද නෝනා අළුපුහුල් බෙහෙත්වලට යොදා ගන්නෙ?”

“නැහැ .ඉන්දියාවෙත් ඖෂධ රාශියක් සඳහා යොදා ගන්නවා. ඒ වගේම තමයි ග්‍රාම සේවක නෝනා අපේ රටේ වියළි කලාපයේ තිබෙන අධික උෂ්ණය සමනය කරන්න සුදුසු එළවළු වර්ගයක් විදියට ඒ ප්‍රදේශවල අය අළුපුහුල් නිතර ආහාරයට එකතු කර ගන්නවා.”

“අළුපුහුල් අපේ රටට ආවේණික දෙයක්ද වෙද නෝනා?”

“නැහැ. ජාවා දූපත් සහ ජපානය තමයි අළුපුහුල්වල ජන්ම ස්ථානය විදියට සලකන්නේ. ඒ වගේම ඉන්දියාවේ සියලුම ප්‍රදේශවල දකින්න පුලුවන්. අනෙකුත් නිවර්තන රටවලත් වගා කරනවා.

ශ්‍රී ලංකාවේ නම් සියලුම ප්‍රදේශවල වැවෙනවා. මේ අතුරින් වියළි කලාපයේ විශේෂයි. වර්ෂා කාලයේ බහුලව වගා කරනවා.

අනෙකුත් ප්‍රදේශවල වසර පුරාම වගා කෙරෙනවා.”

“එතකොට ඔය කියන්නේ වැල් ආකාරයෙන් තිබෙන අළුපුහුල් ගැන නේද?”

“ඔව් ග්‍රාම සේවක නෝනා විශාලව වැතිරී වැඩෙන හෝ ආරෝහක ලතාවක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මේවායේ කඳ දැඩි කෝණාකාර රෝම සහිත කඳක්. දෙකට බෙදුණු පහුරු සහිතයි. අළුපුහුල් පත්‍ර වෘත්තාකාර, හෘදයාකාර හැඩයක් ගන්නවා. මේ පත්‍ර සෙන්ටි මීටර10 -25 පමණ විෂ්කම්භයෙන් යුක්තයි. මේ පත්‍ර කොටස් 5 කට බෙදිල තියෙනවා. පත්‍රවල යටි පැත්ත රළු රෝම සහිතයි. මේවායේ හටගන්නා මල් විශාලයි, කහ පාටයි. මේවායේ හැදෙන ගෙඩි සිලින්ඩරාකාරයි. ටික දවසක් ගියාට පස්සෙ ගෙඩි අළුවලින් වැහෙනවා. මේ ගෙඩි වල බීජ රාශියක් තියෙනවා.”

“කොහොමද වෙද නෝනා අළුපුහුල්වලට වෙන නම් එහෙමත් තියෙනවාද?”

සිංහල භාෂාවෙන් කියන්නේ පුහුල් හෝ අළුපුහුල් කියලයි.

සංස්කෘත භාෂාවෙන්

කුෂ්මාණ්ඩ... කුෂ්මාණ්ඩකී... පුෂ්ප ඵල... වෘහත් ඵල... මහා ඵල... වල්ලී ඵල...පීතපුෂ්ප... ස්ථිර ඵලා... පුෂ්‍යලතා ආදි නම් රාශියක් යෙදෙනවා.

හින්දි භාෂාවෙන්

පෙඨා... හතුආ...සහ කෝංහරා යන නම් යෙදෙනවා.

දෙමළ භාෂාවෙන් කල්‍යාණපුසිනී...පුශතිකායි යන නම් යෙදෙනවා.

ඉංග්‍රීසි භාෂාවෙන් එඩඪබඥ ර්‍ථභථනඬඪද සහ එඩඪබඥ ට්ධභපඤ ර්ඥතධද යන නම් යෙදෙනවා.

අළුපුහුල්වල උද්භිද විද්‍යාත්මක නාම ඕඥදඪදජචඵච ඩඪඵනඪඤච (ඊඩභථඡ) ඛ්ධඨද සහ ඕඥදඪදජචඵච ජඥපචටඥපච ඉචමඪ ලෙස යෙදෙනවා.

කුලය වන්නේ ඛ්උඛ්උඅඕධ්ඊඒඛ්ඡ්ඒඡ් හෙවත් කෝශාතකී කුලයයි. ඒ වගේම තමයි අළුපුහුල්වල ගෙඩියේ මදයට අමතරව මුල්..වැලේ දඬු... මල් දළු... කොළ... ගෙඩියේ ඇට... ගෙඩියේ පොත්ත ආදියත් ඖෂධ යෝග සඳහා යොදා ගන්නවා.

එසේම අළුපුහුල්වල පැසුණු ගෙඩි තැලෙන්නෙ නැතිව... තුවාල නොවී කඩා ගෙන ලණු හෝ පොල් කොළ ආවරණයකින් එල්ලා තියෙනවා. අවුරුද්දක් පරණ අළු පුහුල් ගෙඩි ඖෂධ සඳහා යොදා ගනු ලබනවා.”

“එතකොට වෙද නෝනා අළුපුහුල්වල ඖෂධීය වටිනාකම කොහොමද?”

“මේවා රසයෙන් මධුරයි. ගුණයෙන් ලඝු හා ස්නිග්ධයි. වීර්‍යයෙන් ශීතයි. විපාකයෙන් මධුරයි. ප්‍රභාවයෙන් මේධ්‍යයි.

දෝෂ අනුව ගත්තාම

මධුර හා ස්නිග්ධ නිසා වාත සමනයි.

මධුර සහ ශීත නිසා පිත් සමනයි.

මේ නිසා වා පිත් රෝගවලට ප්‍රයෝග කරන්න පුළුවන්.”

“වෙද නෝනා අළුපුහුල් කොහොමද ශාරීරිකව ක්‍රියා කාරීවන්නේ”

“බාහිර වශයෙන් ගත්තාම

ශරීරයේ දැවිල්ලට නසන්න හොඳයි. දැවිලිවලට අළුපුහුල් මද ආලේප කරනු ලබනවා.

ගින්නෙන් පිලිස්සුණාම

පුහුල් කොළ යුෂ ආලේප කරනවා.

අභ්‍යන්තර වශයෙන් ගත්තාම

මධුර හා ස්නිග්ධ නිසා අනුලෝමන ගුණ යුතුයි

ඒ වගේම පිපාසා නසනවා. අළුපුහුල් ඇට පණුවන් නසන ගුණ යුතුයි. විශේෂයෙන් පටිපණුවන් නසනවා.

ඒවගේම අළුපුහුල්වල තියෙන අනුලෝමන ගුණය නිසා මළබද්ධයටත් එයින් හටගන්නා උදරාබාධවලටත් හොඳයි. පිපාසා රෝගවලටත් හොඳයි.

එසේම අළුපුහුල් මොළයට හිතකර නිසා උන්මාද... අපස්මාර වැනි මානසික රෝගවලටත්, මොළයේ සාමාන්‍ය දුබලතා වලටත්, මතක ශක්තිය අඩුකමටත් යොදනු ලබනවා.

ඒ වගේම මධුර... ස්නිග්ධ හා ශීත නිසා හෘදයට හිතකරයි. රත්පිත් සමන ගුණ යුතුයි. මේ නිසා හදවත් දුබලතාවලටත්... රත්පිතටත්... පෙනහලුවල තුවාලවලදිත් ප්‍රයෝග කරනු ලබනවා.

එසේම මධුර හා ස්නිග්ධ නිසා පෙනහලු ශක්තිමත් කරනවා. ඒ වගේම ක්ෂය රෝග සහ රාජයක්ෂ්මා රෝගයටත් හිතකරයි.

ඒ වගේම පෙනහලුවල සහ ශරීරයේ ශක්තිය හා බලය ඇති කරනවා. එසේම කැස්ස, උණ සහ දැවිලි නැති කරනවා. මුඛයෙන් ලේ ගලන විට ඒවා නතර කරනවා.

ඒ වගේම පුහුල් ඇට සහ පුහුල් මද මූත්‍ර අමාරු සහ මූත්‍රා ගල් නැසීමට යොදනු ලබනවා.

එසේම ශුක්‍ර දුබලතා සහ ලිංගික දුබලතා නසනවා.

මේ ආදි වශයෙන් අළුපුහුල් ශාරීරික ව්‍යුහ ආශ්‍රිතව හොඳින් ක්‍රියා කරනවා.”

“එතකොට වෙද නෝනා අළුපුහුල් යොදා ගන්නා ඖෂධ යෝග මොනවාද?”

“අළුපුහුල් අඩංගු ඖෂධ යෝග රාශියක් තියෙනවා.

ඒ අතුරින් කීපයක් කියන්නම්

විෂ හා දැවිල්ලට

පුහුල් දඬු කෂාය එනම්

පුහුල් දඩු කලං 12 කෂාය කරල සීනි සහ ගිතෙල් දමා බීමෙන් විෂ නසනවා වගේම අධික දැවිල්ලත් නසනවා.

පිත නිසා හටගත් හිසේ රෝගවලට

පුහුල් ඇට යොදා සකස් කළ තෙල් හිසේ ආලේප කරනු ලබනවා.

බඩවැල් ආශ්‍රිත පණුවන්ට

පුහුල් ඇට චූර්ණය ග්‍රෑම් 20-40 ක් පමණ දී පසුව විරේචන ඖෂධයක් යොදනු ලබනවා.

බඩවැල් ආශ්‍රිත වේදනා සමනයට

පුහුල් කෂාය යොදනවා.

පිලිස්සුම් තුවාල සඳහා

පුහුල් මද සහ කොළ ආලේප කිරීම හෝ පුහුල් මද හෝ කොළ හෝ දළු ඇල් වතුරෙන් අඹරා ආලේප කරනවා.

ඒ වගේම තමයි අළුපුහුල් අඩංගු සංස්කාරික ඖෂධත් කිහිපයක්ම තියෙනවා.

කුෂ්මාණ්ඩ රසායනය, කුෂ්මාණ්ඩ ඝෘතය කුෂ්මාණ්ඩ ගුඩ කල්‍යාණය, කුෂ්මාණ්ඩකාව ලේහය, ආදිය මේ අතුරින් ප්‍රධාන වෙනවා.

ඉතින් ග්‍රාම සේවක නෝනා අළුපුහුල්වල ඖෂධීය වටිනාකම මේ විදියට පෙන්වන්න පුළුවන්.”

“එතකොට වෙද නෝනා අළුපුහුල් ආහාරමය වශයෙනුත් විවිධ ප්‍රයෝජන ගෙන දෙනවා නේද?”

“ඔව් අළුපුහුල් ව්‍යංජන ලෙසත් ඒ වගේම දෝසි ආදි රසකැවිලි ලෙසත් විවිධ ආකාරයෙන් ප්‍රයෝජනයට ගන්නවා.

ඉතින් මේ ආකාරයෙන් අළුපුහුල් හොඳ ඖෂධාහාරයක් විදියට හඳුන්වන්න පුළුවන්. මේ නිසා ග්‍රාමසේවක නෝනා අළුපුහුල්වලින් හදපු කුෂ්මාණ්ඩ රසායනය කියන බේත මම දෙන්නම්. මේ බේත මාස 2 ක් විතර ගන්න. වරකට නෙල්ලි ගෙඩියක විතර ප්‍රමාණයක් මී පැණිවලින් අනලා කන්න දෙන්න. ඊට පස්සෙ පිටිකිරි හෝ එළකිරි බොන්න දෙන්න. මාස 2ක් යනකොට ඔය කෙට්ටු ගතිය නැතිවේවි.”

“හොඳයි වෙද නෝනා. ඔබතුමියට ගොඩක් පිං. මම මේ බේත් දීලා මාස 2කින් කියන්නම්.”

“හොඳයි.”

 

පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද

වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්‍ය

වෛද්‍ය මධුර පරණවිතාන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.