වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
එදිනෙදා භාවිතයට අත් බෙහෙත්
එදිනෙදා මුළුතැන්ගේ භාවිතයට ගන්නා ද්‍රව්‍යවල ඇති ඖෂධීය ගුණවලින් ලෙඩ රෝගාදිය සඳහා ගතහැකි ප්‍රයෝජන කීපයක් ගැන සොයා බලමු.
සෙම්ගෙඩි නැසීමට කහ
විෂබිජ නාශක ගුණය සහිත කහ මස් මාළු වර්ග ඇතුළු බොහෝ එළවළු පිසීමේදී යොදා ගන්නා කුළුබඩු වර්ගයකි. පිළිගඳ ඉවත් කිරීම සඳහා මස් මාළු සේදීමේදී සහ පිරිසිදු කිරීමේදී කහ භාවිත කිරීම අතීතයේ සිට සිදුවන්නකි. කහවල තිබෙන විෂබිජනාෂක ගුණය හේතුවෙන් එය සෙම්ගෙඩි රෝගයට සහ විදුරුමස්වල හට ගන්නා ගෙඩිවලට ප්‍රතිකාරයක් ලෙස අතීතයේ සිටම භාවිත කර ඇත. සෙම්ගෙඩි ඇති ස්ථානවලට කහ කුඩු ස්වල්පයක් ජලය සමඟ එක්කොට තරමක් ඝන ආලේපයක් මෙන් සකසා තැවරීමත්, තුවාල ඇති ස්ථානයේ ගැල්වීමත් මඟින් ඉක්මන් සුවයක් ලැබෙනු ඇත. මෙය මිනිසුන්ට මෙන්ම පූසන් බල්ලන් වැනි ගෘහස්ථ සතුන්ගේ තුවාල සඳහා ද යොදා ගන්නා ද්‍රව්‍යයකි.
දත් කැක්කුමට කරාබුනැටි
කරාබුනැටි ද හොඳ විෂබිජ නාෂකයකි. එහි අන්තර්ගත ඉයුජිනොල් කරාබුනැටිවලට නිර්වින්දක ගුණයක් එක් කරයි. දත් කැක්කුම්වලින් සහනය ලබා ගැනීමට ආදිකාලීන ජනයා කරාබුනැටි කිහිපයක් සැපීම සාර්ථක ක්‍රමයක් ලෙස භාවිත කර ඇත. එය අදටත් පරම්පරාගතව සිදුවන ප්‍රතිකර්මයකි.
කොහොඹ කොළ
සහල් ගබඩා කිරීමේදී එම බහාලුම්වලට වියළි කොහොඹ කොළ ඇතිරීමෙන් වැඩි කලක් සහල් ප්‍රමාණය නැවුම් අයුරින් තබා ගැනීමට හැකි වනු ඇත. එමෙන්ම ගුල්ලන් සහ කූඹින් වැනි කෘමි සතුන්ගෙන් සහල් බේරා ගැනීම සඳහා මේ ඇතුරුම ඉතා යෝග්‍යය.
දෙවියන්ගේ ලෙඩ ඇති විට
පැපොල සරම්ප වැනි දෙවියන්ගේ ලෙඩ ලෙස හඳුන්වන බෝ වන රෝග වැලඳුණු විට කොහොඹ කොළ, අමු කහ සහ ගානලද පොල් එකට අඹරා සමේ ආලේප කිරීම ඉතා හොඳ ප්‍රතිකර්මයක් ලෙස සැලකේ.
ආසාදිත රෝගීන්ගේ ඉක්මන් සුවයට
ආසාදිත රෝගියෙකුගේ නිදන ඇඳ, කොට්ට, මෙට්ට ආදියේ කොහොඹ කොළ ඇතිරීම රෝගය ඉක්මනින් සුව වීමට හේතු වන බව බොහෝ දෙනාගේ පිළිගැනීමයි.
කොලෙස්ටරෝල් දවන ගොරකා
ගොරකා මෙරට මුළුතැන් ගෙයට නැතිවම බැරි රසකාරකයකි. මස්, මාළු මෙන්ම පොළොස් වැනි දේ වඩාත් රසවත්ව පිළියෙළ කරගැනීමට වැදගත් අංගයක් වන ගොරකාවලට මස් මාංශවල ඇති අනවශ්‍ය මේද කොටස් ඉවත් කිරීමේ හැකියාවක් මෙන්ම ශරීරයට හානිකර කොලෙස්ටරෝල් පුලුස්සා දැමීමේ ඖෂධීය ගුණපිරි හැකියාවක් ඇත.
අජීර්ණයට අත්දුටු උක්පැණි
උක් ගස් අතිශය ගුණදායී ඖෂධයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. විශේෂයෙන්ම උක්පැණි ආහාර ජීර්ණයට ද උපකාරී වේ. ඊට අමතරව අජීර්ණ තත්ත්වයට අත්දුටු බෙහෙතෙක් ලෙස ද උක්පැණි ප්‍රයෝජනවත් වේ. උග්‍ර අජීර්ණ තත්වයකට පත් වූ විට නැවුම් උක්පැණි සමඟ අමු ඉඟුරු ස්වල්පයක්, අඹරා ගන්නා ලද සාදික්කා ස්වල්පයක් සහ මී පැණි ස්වල්පයක් මිශ්‍රකර බීමට දීමෙන් එම අජීර්ණ තත්ත්වය සුව අතට හැරේ.