වර්ෂ 2025 ක්වූ January 03 වැනිදා Friday
බුලතේ කතාව
අතීතයේ දිනෙක එක්තරා රජ කුමරකු සිය තරුණ නැගණියද සමඟ වනාන්තරයක් මැදින් ගමන් කරමින් සිටියේ ය. අතරමගදී තමන් ගෙන ආ දිවා ආහාරය අනුභව කළ දෙදෙනා බුලත් විටක් සප්පායම් වීමට පටන් ගත්හ. විටක් සාදාගත් නැගණිය සිය සොහොයුරාගෙන් හුණු ටිකක් ඉල්ලා සිටියා ය.
නැගණියට මඳක් ඈතින් වාඩිවී සිටි කුමරා තමා අසල පොළොවේ ඇණ තිබූ කඩුපත ඇද එහි තුඩෙහි හුණු බිඳක් තවරා එය තම නැගණිය දෙසට පෑවේ ය. එම හුණු බිඳ තවරා බුලත්විට අනුභව කළ නැගණිය, මඳ වේලාවත් ගතවෙත්ම තම සොහොයුරා වරදට පොළොඹවා ගනු රිසින් අනුරාගී ඉරියව් පළ කරන්නට පටන් ගත්තා ය. මේ හේතුවෙන් මහත් අපහසු තාවයටත්, කෝපයට පත් රජකුමරු තම කඩුවෙන් ඇන කුමරියව මරා දැම්මේ ය.
සිදු වූ දෙයින් මහත් කම්පනයට පත් වූ කුමරා සිදු වූයේ කුමක්දැයි ඉතා සියුම් ලෙස සොයා බැලීමේ දී පෙනී ගියේ, තම කඩුව බිම සිට වූ අවස්ථාවේදී එක්තරා පැලෑටියක මුලෙහි එය ඇමිණී ඇති බවය. එම මුලෙහි අල වර්ගයක් හට ගෙන තිබූ අතර, මෙහිදී එම අලයක් කැපී එහි යුෂ කඩු තුඩෙහි තැවරී ඇත. මේ පැළෑටියෙහි අල වර්ගය බලවත් කාමෝද්දීපන ශක්තියකින් යුතු වූ බැවින්, කඩු තුඩෙහි ගෑවුණු එම යුෂ මිශ්‍ර වූ හුණූ කෑම නිසා කුමරිය පෙර කී මානසික අවුලට පත් වි තිබේ. එතැන් සිට මේ අල වර්ගය “නගා මැරූ අල” වශයෙන් හඳූන්වනු ලැබූ බව ජන ප්‍රවාදයෙහි සඳහන් වේ.
මේ අයුරින් අප දන්නා ඉතිහාසය මුළුල්ලේ පැවත එන විට කෑම මුල් කරගත් “බුලත් ” යනු අපේ සංස්කෘතියේ විශාල පරාසයක් නියෝජනය කරන සොබා දහමේ සුවිශේෂ තිළිණයක් ලෙස සඳහන් කළ හැකිය. අපේ සංස්කෘතික ගමන් මගෙහි ප්‍රදීපස්ථම්භ බඳු සද්ධර්මරත්නාවලිය, සද්ධාමාලාංකාරය, ඇතුළු සාහිත්‍ය කෘතීන් හා ඓතිහාසික ජනප්‍රවාදයන් සමඟද, සිංහලයන්ගේ ප්‍රධාන පෙළේ සියලු සංස්කෘතිකාංගයන් සමඟ ද බුලත්වලට ඇත්තේ අවියෝජනීය සම්බන්ධතාවයකි. එපමණක් ද නොව, ආයුර්වේදයේ ප්‍රතිකාර පද්ධතීන් සඳහා ද බුලත්වලින් ලැබෙන සහයෝගය කිසිසේත්ම බැහැර කළ හැක්කක් නොවේ.
එහෙත් බුලත්වල ඇති ආයුර්වේදයට, සංස්කෘතියට හා උද්භිද විද්‍යාවට අදාළ කාරණාවලට වඩා එය අපේ මතකයේ රැඳෙන ආකාරයට ජන ජීවිතය හා බද්ධ වී ඇති අයුරු ගැන කතා කිරීම මේ ලිපියේ අරමුණ වේ. ඒ ගැන මතුපිටින් හෝ කතා කිරීමද විටක් සපා අවසන් කරන තරම් ඉක්මනින් හෝ ලෙහෙසියෙන් සිදු කළ හැක්කක් නොවේ.
බුලත් ගැන මතකය සමාජය තුළ රැඳී ඇත්තේ විටත් සමඟය. වර්තමාන යෞවන පරම්පරාව තුළ බුලත් විට කෑමේ පුරුද්දක් දක්නට නැතත්, තවමත් අප රටෙහි බුලත් සපන්නන් සහ බුලත්විට වෙළෙඳාමෙහි අඩුවක් දැකිය නොහැකි තරම් ය. නාගරික සමාජයේ මහා ඉහළින්ම පවත්වාගෙන යන බුලත් විට හා ඒ ආශ්‍රිත ද්‍රව්‍ය වන හුණු, දුම්කොළ, පුවක් හා බුලත් සහිත විශාල කඩවල් අද ද දැකිය හැක්කේ එහෙයිනි. ස්වයං රැකියා ව්‍යාපාරයක් වශයෙන් බුලත් විට සාදා මේ කඩවලට සපයන පිරිස්ද සමාජය තුළ අපට තවමත් දැකගත හැකි ය.
මෙනයින් බලන කල අනෙක් සංස්කෘතිකාංග වලට වඩා බුලත් ප්‍රධාන වශයෙන් භාවිත වන්නේ විට සැපීම උදෙසාය. එදා හෙළදිව දිවිපෙවෙත ගැන ලියූ රොබට් නොක්ස්, සිංහල ජනයා මොනයම් හෝ ආහාරයක් අනුභව කළහොත් ඒ සමඟම බුලත් විටක්ද කෑ බව සඳහන් කරයි.
මංගල්‍යයක් හෝ කෑමෙන් බීමෙන් කෙරෙන මොනයම් සංග්‍රහයක් වුවද, අප සමාජය තුළදී හඳුන්වනු ලැබුවේ බතින් බුලතින් සංග්‍රහ කිරීමක් ලෙස ය. “බතින් සාද විඳ සිටියවුන්ට බුලත් දෙවා සාදය නිමවන්නා සේ” යැයි ධර්මසේන හිමියෝ සිය සාහිත්‍ය සංග්‍රහයක පවසා ඇත්තේ එහෙයිනි.
බුලත මුල්කර ගනිමින් සිංහලයාගේ සංස්කෘතියට සුවිශේෂ වූ චාරිත්‍ර ගණනාවක් මෙන්ම එදිනෙදා ජීවිතයට භෞතික භාණ්ඩ කීපයක්ද එකතු වූයේ ය. එම භාණ්ඩ වූයේ ගිරය, බුලත් හෙප්පුව, හුණු කිල්ලෝටය, පඩික්කම ආදියයි. සිංහල අවුරුද්දේදී වැඩිහිටියන්ට බුලත් හුරුල්ලක් දී තමා අතින් සිදු වූ වරදක්, එසේ නොමැති නම්, තරහ මරහක් වෙනුවෙන් සමාව ගැනීම, සිංහල අවුරුද්දේදී වැඩිහිටියන් සැලකීම, ගෞරවණීය අමුත්තකු පිළි ගැනීමේදී බුලත් හුරුල්ලක් පිළිගැන්වීම, මංගල්‍යයට ආරාධනා කිරීමේදී හෙප්පුවකට බුලත් අතුරා එම නෑ පිරිසට ඒ බව දැනුම් දීම මෙන්ම මංගල්‍ය අවස්ථාවේ දී පෝරුවේ සිරිත් විරිත්වලදී බුලත්වලට ප්‍රධාන තැනක් හිමිවීම, පාසැලකට මුලින්ම දරුවෙකු ඇතුළත් කිරීමේදී මුල්ගුරු මහතාට දරුවා ලවා බුලත් හුරුල්ලක් පිළිගැන්වීම, දානයකට බණකට මතක වස්ත්‍ර පූජාවකට භික්ෂූන් වහන්සේට ආරාධනා කිරිමේදී දැහැත් වට්ටියක් පිළිගැන්වීම, අදද අප සමාජය අතර නොනැසී පවත්නා සිරිතක් බවට පත්ව තිබේ. එමෙන්ම බුද්ධ පූජාවකදී වුවද දැහැත් වට්ටියක් පූජා කිරීමද සිරිතකි.
මංගල්‍යයට බුලත් දීමේදී එම ආරාධනාව ඥාතියා හෝ හිතවතා විසින් පිළිගත්තාද නැතිද යන්න තීරණය කරනු ලබන්නේ හෙප්පුවෙන් බුලත් කොලයක් ගැනීම හෝ නොගැනීම මතය. මෙසේම පෝරුව චාරිත්‍ර ඉටු කිරීමේදී ද බුලත්වලට ලැබෙන්නේ ප්‍රධාන ස්ථානයකි. එසේ ම රජ රට පෙදෙසේ ගොයම් කැපීමේ චාරිත්‍රයේදී ද ඒ කටයුත්ත සඳහා පිරිසට ආරාධනා කරනු ලබන්නේ බුලත් දීමෙන් ය.
තවමත් අප සමාජයෙන් තුරන් වී නැති යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ආදිය සිදු කිරීමේ දී යොදා ගන්නා ආසනය අනාදිමත් කාලයක් තිස්සේ හඳුන්වනු ලබන්නේ “මල් බුලත් තට්ටුව” වශයෙනි. එයට හේතුව ආතුරයා තම කටයුතු සඳහා භාවිත කරනු ලබන පුටුව සැරසීම සඳහා ගන්නා අනෙකුත් දේ අතර බුලත්ද අනිවාර්ය සාධකයක් වන බැවිනි.
බුලත් කෑමේ සංස්කෘතියට අනුව, විටක් ඒදා ගැනීමේදී බුලත් කොලයේ කෙළවර සහ එහි නැට්ට සහිත කොටස කඩා ඉවත් කිරීමට අප රටේ ජනයා පුරුදුව සිටිති. එයට හේතුව ප්‍රථම වරට මනු ලොවට බුලත් රැගෙන ආ නාගයා, එම පත්‍රයේ දෙකෙළවර එකට තබා සිය කටින් අල්ලාගෙන, පැමිණියේ යැයි විශ්වාසයක් සිංහලයා අතර පැවතීමය.
එසේම බුද්ධ පූජාවකදී දැහැත් පූජා කිරීම අනිවාර්ය කාරණයක් සේ බෞද්ධයෝ සලකති. අදවන විට බොහෝ දුරට ඉවත්ව ගොස් තිබුණද, බෞද්ධ භික්ෂූන් වහන්සේ බුලත්විට සැපීමට වැඩි ප්‍රියතාවයක් දක්වා තිබේ. භික්ෂූන් වහන්සේගේ ආවාසයක කනප්පුවක් මත තැබූ අංග සම්පූර්ණ බුලත් හෙප්පුවක් සහ උන්වහන්සේ වැඩ වසන ආසනය පාමූල පඩික්කමක් තිබීම පන්සලකට ගිය ඕනෑම අයෙකුට නොවරදීම දැකගත හැකි දසුනක් විය. අද දවසේද ධර්ම දේශනාවක් අවසන ගිලන්පස බඳුනක් වැලඳීමෙන් අනතුරුව තබා ඇති දැහැත් වට්ටියට අතට ගැනීමට උන්වහන්සේ පුරුදුව සිටිති.
බුලත්විට සැපීම සාමාන්‍ය ජනයා අතර පමණක් නොව, රජ මැදුරේද ප්‍රධාන අංගයක් බවට පත්ව තිබූ බව ඒ සඳහා වෙනමම බුලත් වඩන නිලමේවරයෙකු පත්කර තිබීමෙන්ම පෙනී යන්නකි. ඔහු හඳුන්වනු ලැබුවේ “බුලත් වඩන නිලමේ” යනුවෙනි. ජන ප්‍රවාදයේ එක් කතාවක එන “බුලතා” නැමැති චරිතය මෙයට හොඳම උදාහරණයකි. බුලත් ගෙය නමින් හඳුන්වන කොටසක්ද රජ මැදුරේ ඉදි කරනු ලැබුවේ එහෙයිනි. පැරැණි රජ දරුවන් විසින් බුලතේ වටිනාකම අගය කරනු ලැබුවේ ඒ අයුරින් පමණක් නොවේ. සුප්‍රකට බදුලු සෙල් ලිපියට අනුව බුලත් පුවක්, නිසි පරිදි සල්පිලක් තුළ තබා අලෙවි කළයුතු බවත්, නුසුදුසු ලෙස අලෙවි කොට අසුවුවහොත් එම ද්‍රව්‍ය රාජසන්තක කරන බවත් නිවේදනය කර තිබේ. ඒ තුන්වැනි උදය රජුගේ කාලයේදී ය.
බුත්සරණ රචනා කළ විද්‍යා චක්‍රවර්තීහු “මඳ නොකොට, අධික නොකොට පමණ දැන සුනු කෑ කල්හි යහපත්ව යෙදෙන බුලතක් සේ ” යනුවෙන් බුලත් විටක් නිසි පරිදි කෑ යුත්තේ කෙසේදැයි ප්‍රකාශ කර ඇත්තාහ. එපමණක්ද නොව උන්වහන්සේ තව වරක් ප්‍රකාශ කොට ඇත්තේ “පැයක් බුලත් නොකෑව තෙමේම තමහට අසූචි වලක් සේ වැටහේ” යනුවෙනි. එක්තරා විදියකින් මේ කුණු කය පිළිබඳව අවබෝධය පිළිබිඹු කරන්නක් මෙන්ම අප්‍රසන්න බව පලවා හැර ප්‍රසන්න බවක් ඇති කර ගැනීමට බුලත් විට උපකාර වූ බවටද මේ ප්‍රකාශය නිදසුනකි.
අප රටේ ඕනෑම ගැමි ගෙදරක සිට ගම්මුලෑදැනියාගේ නිවෙස දක්වා බුලත් විටකින් ආගන්තුකයෙකුට සත්කාර කිරීම සාමාන්‍ය කාරණයක් බවට පත්ව වී තිබුණි. එහිදී වෙනසකට තිබුණේ සාමාන්‍ය ගැමි ගෙදරක ඒ සඳහා වට්ටියක් හෝ ඒ කාලයේ බිස්කට් ඇසිරීමට භාවිත කළ බෙලෙක් පෙට්ටියක් යොදා ගත් අතර, ගම්මුලෑදැනියාගේ නිවස ආදී ගෙවල්වලද, විහාරස්ථානවලද, ඒ සඳහා පිත්තල හෙප්පුවක් භාවිත කිරීමයි. මේ බුලත් හෙප්පුව ඇති සෑම තැනකම ඊට සමගාමීව පඩික්කමක්ද තිබූ බව අපට මතකය. බුලත් හෙප්පුව බුලත්විට සඳහා වෙන්වූවා සේම පඩික්කම රත්තරන් වුවත්, කෙළ ගැසීමට විනා අන් කිසිවකට භාවිත නොකෙරුණි.
බුලත් විට ගැන කතා කරද්දී ඒ සමඟම කියවෙන අනෙක් නාමය වන්නේ හුණුය. යම්කිසි කාරණයක් නිසි පරිදි සිදුවී නැතිවිට ගැමියන් පැවසුවේ එය “හුණු නැති බුලත්විට වගේ” යයි කියා ය. වාතයට නිරාවරණය වූ විට වියළෙන බැවින් හුණු දමා ගත්තේ කිල්ලෝටය තුළය. “කාගෙ කාගෙත් කිල්ලෝට වල හුණු ඩිංගක් හෝ ඇතැ” යි උපමාවක්ද සෑදී ඇත්තේ හුණු ඩිංගක් හෝ නැති කිල්ලෝටයක් නැත්තාසේ වරදක් නැති මනුෂ්‍යයින්ද නැති බව පෙන්වා දෙමිනි.
නව වසරක් ලබන විට බුලත් පිළිබඳ අපට නිතැතින් සිහි වන්නේ අපේ සංස්කෘතිය හා එය ඒ තරමට බැඳී ඇති නිසාය.