විරේකය සලසන ලිංගික දුබලතා නසන ජයපාල

දෙසැම්බර් 27, 2024

“මොකද සනත් පුතා මේ පැත්තෙ? මේ දවස්වල ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ නිවාඩුද?”

“ඔව් වෙදමාමෙ. අපිට නිවාඩු ලැබුණා. අන්තිම අවුරුද්දේ විභාගෙට තව සති 2 යිනේ. පාඩම් කරන ගමන් තමයි ඉන්නෙ. වෙදමාමා මුණ ගැහෙන්න ආවේ ජයපාල කියන ඖෂධ ද්‍රව්‍යය ගැන තොරතුරු ටිකක් දැනගන්න”

පුතා දන්නවද? ජයපාල කියන්නේ දේශීය වෛද්‍ය ක්‍රමයේ වගේම ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේත් විරේචනය සඳහා බොහෝ සෙයින් භාවිත කරන ඔසුවක්. දෝෂ අනුව සැලකුවාම පිත සමනය කරන්න යොදා ගන්න ශෝධන විධිය විරේචන කර්මය.

මේ විරේචන කර්මය මෘදු හා තීක්ෂණ වශයෙන් කොටස් 2 කට බෙදනවා. මේ අතරින් ජයපාල කියන්නෙ තීක්ෂණ විරේචන ද්‍රව්‍යයක් වගේම ඉතාම උග්‍ර විරේචන ද්‍රව්‍යයක්.

ජයපාල ප්‍රබල විරේචන ද්‍රව්‍යයක් වුණත් අහිතකර උපද්‍රවවලින් තොරව ඖෂධ සඳහා යොදා ගන්නට දේශීය වෛද්‍යවරු සමත් වුණා.

ඒ වගේම තමයි පුතා ජයපාලවල විරේචන ගුණ කොතරම් ප්‍රබලද කියනවනම් ජයපාල ගහක් යට හිටියත් විරේචනය වෙන්න පුළුවන් කියල මතයකුත් තියෙනවා. ඒ වගේම වෛද්‍ය ග්‍රන්ථවල ජයපාල විෂ ද්‍රව්‍යයක් ලෙසත් හදුන්වනවා. මේ නිසා ඖෂධ සඳහා යොදා ගන්නා විට ජයපාලවල විෂ ශෝධනය කර ගතයුතු යැයි දක්වා තියෙනවා.”

“එතකොට වෙද මාමේ ජයපාල වැවෙන්නෙ කොහේද?”

“විදේශීය වශයෙන් ගත්තාම

ඉන්දියාව, චීනය, මැලේසියාව, මියැන්මාරය. ආදී රටවල දකින්න තියෙනවා

දේශීය වශයෙන් ගත්තාම

ශ්‍රි ලංකාවේ විශේෂයෙන් පහත රට තෙත් කලාපයේ හොඳීන් වැවෙන ශාකයක්.

මේ ජයපාල ගස් සාමාන්‍යයෙන් මීටර් 3-7 පමණ උසකින් යුතු කුඩා ගස්. ගහේ කඳ සිලින්ඩරාකාර හැඩයක් ගන්නවා. පොත්ත දුඹුරු පාටයි. අතරින් පතර නොමේරු අතු විහිදිලා තියෙනවා. කොළ සෙ.මි. 8 -14.5 ක් පමණ දිගයි. පළල. සෙ.මි.4.5 -7 පමණ වනවා. මල් කහ පාටයි.” “එතකොට වෙද මාමේ ජයපාල ගස් හඳුන්වන අනෙක් නම් මොනවද?”

“පොදු සිංහල නාමයන් වන්නේ ජයපාල, ජාපාල ආදියයි.

සංස්කෘත භාෂාවෙන් ජයපාල.. තිත්තිඩී ඵල..දන්තීබීජ.. ජේපාල.. කනක ඵල.. නේපාල.. තිත්තිරෘ ඵල. ආදී නම් රාශියක් තියෙනවා. හින්දි භාෂාවෙන් ජමාල් ගෝටා යන නාමය යෙදෙනවා. දෙමළ භාෂාවෙන් නෙර්වාලම්.. නාර්වාලමි යන නම් යෙදෙනවා. ඉංග්‍රීසි භාෂාවෙන් Cotton oil seed....Purgative or Purging Crotin  ජයපාලවල උද්භිද විද්යාත්මක නාමය Cotton tinglium Linen වෙනවා

කුලය EUPHORBIACEA  හෙවත් ඒරණ්ඩ කුලය යි

ඒ වගේම පුතා ජයපාලවල බීජ සහ බීජ තෛලය ප්‍රධාන වශයෙන් ඖෂධ සඳහා යොදා ගන්නවා. ඊට අමතරව කොළ.. පොතු.. ම‌‌‌ල් හා දඩු ආදියත් ඖෂධ සඳහා යොදා ගනු ලබනවා.” “එතකොට මාමේ ජයපාල ඇට විෂ සහිතයි කියනවනෙ. ඒ නිසා බෙහෙත්වලට ගන්න ඉස්සෙල්ලා ඒ විෂ ඉවත් කරන්න ඕන නේද?”

“ඔව් පුතා. ජයපාල ඖෂධ සඳහා ගැනීමේ දී මුලින්ම ශෝධනය කරන්න ඕනෑ. මේ සඳහා යොදා ගන්න පුළුවන් ක්‍රම කිහිපයක් ම තියෙනවා.

1 ජයපාල ඇට පොතු හැර මී ගොමවල දමා තම්බා ඊට පසු පලා දල්ල ඉවත් කර එලකිරි වලින් තම්බා වේලා ගනු ලබනවා.

2 ජයපාල ඇට පොතු හැර මද තලා ඒ මැද තියෙන බීජ අංකුරය ඉවත් කර බීජ මෙන් අටෙන් එකක් ශෝධනය කළ පොට්ටනි බැද මැටි පාත්‍රයකට කිරි දමා දෝලා යන්ත්‍රයෙන් රාත්‍රී 3 ක් ස්වේද දී පසුව වියළා ගන්නවා

3 ජයපාල ඇටවල පොතු හැර දෝලා යන්ත්‍රයේ බහා එලකිරෙන් තම්බා පියලි ගලවා මැද ඇති අංකුරය ද අස්කර වේලා ගත් කල ශෝධනය වෙනවා.

ඉහත කියපු ශෝධනවලින් එක ශෝධනයකින් ශෝධනය කර ඊට පසු නැවුම් මැටි වලඳක දමා බැද ගැනීම කළ යුතු වෙනවා.”

“වෙදමාමෙ එතකොට ඔය විදිහට ශෝධනය කර ගත්ත ජයපාලවල ඖෂධීය ගුණ කර්ම කොහොමද?”

“පුතා.. ජයපාල රසයෙන් කටුකයි ගුණයෙන් ගුරු..ස්නිග්ධ හා තීක්ෂණයි වීර්යයෙන් උෂ්ණයි විපාකයෙන් කටුකයි

මේ නිසා දෝෂ අනුව ගත්තාම වාත සහ සෙම් නසන ගුණ යුක්තයි. මේ නිසා සෙම් වාත රෝගවලට ප්‍රයෝග කරනු ලබනවා.

ශාරීරික ව්‍යුහාගත ක්‍රියා සැලකුවාම

බාහිර වශයෙන්

ඉදිමුම් වේදනා ඇති රෝග.. සමේ රෝග.. උඳුගොව්වන් කෑම ආදියේදී ජයපාල බීජ ආලේප වශයෙන් යොදනු ලබනවා

ලිංගික දුබලතාවලදී ශෝධනය කළ ජයපාල බීජ ගිතෙල් වලින් බැද ගිතෙල්වලින් අඹරා තිල කල්කය මෙන් ශිෂ්ණයේ ආලේප කරනු ලබනවා.

අභ්‍යන්තර වශයෙන්

පණුවන් නසන... බඩගිනි වඩන සහ විරේචන ගුණ යුක්තයි මේ නිසා අජීර්ණ.. පණු අමාරු.. මළබද්ධය ආදියේදී ප්‍රයෝග කරනු ලබනවා. විශේෂයෙන් ජලෝදර..මොළය ආශ්‍රිත ලේ ගැලීම් ආදියේදී ද විරේචනය සඳහා ජයපාල උපයෝගී කර ගනු ලබනවා.

ඒ වගේම ඉදිමුම් නසන ගුණ ඇති නිසා සර්වාංගගත ඉදිමුම්වලදි ප්‍රයෝග කරනු ලබනවා. ඊට අමතරව උණ නසන ගුණ යුක්ත නිසා උණ රෝගයේදී යොදා ගනු ලබනවා.

එසේම විෂ නසන ගුණ යුතු නිසා ජංගම විෂ(විශේෂයෙන් සර්ප විෂේදී) ජයපාල ඇට දෙහි ඇඹුලෙන් අඹරා ඇස්වල අඳුන් ලෙස යොදනු ලබනවා

ඒ වගේම උඳුගොව්වන් කෑමට ජයපාල ඇට දෙහි ඇඹුලෙන් ගලගා ආලේප කරනු ලබනවා.

ජලෝදර සහ සංන්‍යාසයට

විරේචනය පිණිස යොදනු ලබනවා

ඒ වගේම තමයි පුතා විරේචනයට අමතරව වෙනත් රෝගයන් සඳහාත් ප්‍රයෝග කරන ජයපාල අඩංගු සංස්කාරිත ඖෂධ රාශියක් තියෙනවා. බොහෝ වෙලාවට දේශීය ගුලි කල්කවල පත්තියම් කොටස සහ විරේක කොටස කියල එකම බෙහෙත කොටස් 2 කට අඹරා ගන්න අවස්ථා දක්නට ලැබෙනවා. ඒ අවස්ථාවල විරේක පංගුවට නිරන්තරයෙන් ම ජයපාල යොදනවා.

ඉතින් පුතා ජයපාල අඩංගු සංස්කාරික ඖෂධ ගැන සැලකුවාම ඉච්ඡාභේදී රසය, වාතනාගාංකුශය, නව ජ්වරාංකුශය, විරේක සුරංවිදුර, සර්ව සුන්දර රසය, යෂ්ඨි කල්කය(විරේක), කුඩා කුමාර ගුලිය, මහා කෝලදවුණ්ඩය, ආනන්ද භෛරව රසය, මාන්දම් වජ්‍රකාන්ති ගුලිය ආදී ඖෂධ වර්ග රාශියක් දකින්න තියෙනවා. ඒ වගේම තමයි පුතා මේ ජයපාල අඩංගු ඖෂධ යොදද්දි නියමිත මාත්‍රාවට අනුව යෙදිය යුතුයි. එසේ යෙදුවොත් නියමිත ප්‍රතිඑල ලබා ගන්න පුළුවන්.

එහෙම නැතුව අධිකව ගත්තොත් විෂ ලක්ෂණ පහළ වෙනවා මෙහිදී ඇතිවන විෂ ලක්ෂණ වන්නේ බඩේ දැවිල්ල..කැක්කුම ..වේදනාව.. ආමාශයේ තුවාල. ඉදිමුම් ආදියයි.

ඒ වගේම රෝගියා ඉතා දුබල තත්ත්වයටත් පත් වෙනවා.

මේ වගේ අවස්ථාවලදී වා පිත් සමනය කරන ස්නිග්ධ.. මධුර.. ශීත දේවල් යොදන්න ඕන. මේ සඳහා එලකිරි.. එළඟිතෙල්.. දී පෙරළි දිය.. දෙහි යුෂ යොදපු සරුවත්.. තැඹිලි වතුර.. අළුපුහුල් යුෂ..කූර තම්පලා යුෂ.. බිත්තර සුදු මදය..මුංඇට තැම්බූ වතුර ආදිය යොදනු ලබනවා. ඒ වගේම දියවැඩියාව රෝගීන්ට සහ පිත බහුල රෝගීන්ට ජයපාල අඩංගු ඖෂධ සුදුසු නැහැ එසේම තනිකරම ජයපාල යොදන්නෙත් නැහැ. එසේම, ජයපාල බීජ සමේ ඈතිල්ලූ විට සමේ තෙත්ගතිය නිසා සමට උරාගෙන සමේ ඉදිමුම් ද ඇති කරනවා. සමහර විට එනිසාත් විරේචනය වෙන්න පුළුවන් බව දේශීය වෛද්‍ය මතය යි. මේනිසා පුතා ජයපාල තියුණු විරේචන ද්‍රව්‍යයක් වගේම විෂ සහිත ද්‍රව්‍යයක් නිසා විෂ ශෝධනය කරල ගත්තාම ඉතාම ප්‍රයෝජනවත් ඖෂධ ද්‍රව්‍යයක්.

ඒ වගේම පුතා විවිධ කෙම් ක්‍රම සඳහාත් සතුරන් මර්දනය සඳහාත් කිතුල් මල් බෙහෙත් තබන්නත් ජයපාල යොදා ගනු ලබනවා. මේ නිසා ජයපාල කියන්නෙ ඉතා වටිනා අගනා ඔසුවක්.” “ඔව් වෙදමාමෙ ජයපාල ගැන මට හොඳ අවබෝධයක් ලැබුණා. විභාගයට ආවොත් දැන් විස්තර සියල්ල ලියන්න පුළුවන්.”

 

පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද

වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්‍ය

වෛද්‍ය මධුර පරණවිතාන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
17 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.