පැහැපත් බවට කටහඬ මිහිරි වීමට හා පුරුෂ ශක්තිය වැඩීමට මී පැණි

අප්‍රේල් 1, 2022

රෝග රැසකට ගුණදෙන ඖෂධීය ගුණයෙන් සපිරි මී පැණි බාල, තරුණ, වැඩිහිටි කාහටත් එකසේ ගුණදෙන දිව්‍යඖෂධයකි. යකඩ,තඹ, සිලිකා, මැන්ගනීස්, පොටෑසියම්, සෝඩියම් පොස්පරස් යන ලෝහ වර්ග අඩංගු මී පැණිවල ඛනිජ කොටස් එකොළහක්ද මධුර පදාර්ථ අසූ එකක් ද ඇතුළත් බව පර්යේෂණවලින් සොයා ගෙන ඇත. සියයට හැත්තෑ පහක්ම මී පැණිවල ඇත්තේ ශක්තියයි.

ශක්තිය ඇති කරවීමට උදවුවන සීනි වර්ගයකි. එහි සියයට හැත්තෑපහේ සිට අසූව දක්වා ඩෙක්ස්ට්රෝෂ් සහ ලිව්ලෝස් සීනි වර්ගද අඩංගු වේ. විටමින් බී, තයමින් විටමින් ඩී, ඇස්කිරාබික් අම්ලය රිබෝප්ලේවින් පැන්තෝතෙන්ටික් අම්ලය පයිරිඩොක්සින් ඇතුළු විටමින් වර්ගද රාශියක්ම අඩංගුව පවතී. මේ නිසා මී පැණිවල ඇති ඖෂධගුණය මෙතෙකැයි යන්න කිව නොහැකි තරම්ය.

වර්ගීකරණය අනුව මීපැණි වර්ග අටක් ඇති බව ආයුර්වේදයේ පෙන්වා දී ඇත. ධාරණ ශක්තිය වර්ධනය කර ගැනීමට වටිනා ඖෂධයක් වන්නේ මී පැණිය. මී පැණි හැන්දක් පමණ ගන්නේ නම් පවතින මහන්සිය ඉවත්ව ගොස් කාර්යශූරබවක් ඇතිවේ. එමෙන්ම පිරිසුදු ගුණයෙන් යුත් මී පැණි බීමෙන් ඇස් පෙනීම වර්ධනය කරන අතර, මූත්‍ර අපහසුතාවයන් ද දුරු කෙරේ. මී පැණි ශරීරගතවූ විට ක්ෂණිකව සිරුරට ශක්තිය ඇති කරේ. අප එදිනෙදා ගන්නා ආහාරවල එළවළු, පලතුරුවල හා පළා වර්ගවල අඩංගුව ඇති විටමින් සී ශරීරය තුළින් නික්ම ගියත් මී පැණිවලින් ලැබෙන විට මින් එසේ ශරීරයෙන් නික්ම නොයයි. එමෙන්ම මී පැණිවලට ඉක්මනින් ජලය ඈඳා ගැනීමේ ශක්තියක් ද පවතී. ඇස් රෝග සඳහා ද යොදාගන්නා මී පැණී බීමෙන් බඩගින්න ඇතිකරයි. කටහඬ ද පි‍්‍රයමනාප කරයි. ශරීර ශක්තිය වර්ධනය කරන අතර මී පැණි සමේ ගෑමෙන් පැහැපත් බව ද වැඩි කෙරේ. කුෂ්ට රෝග වැනි සමේ හටගන්නා රෝග රැසකටම ගුණදායක මී පැණි පිත් රෝග ලේ සම්බන්ධ රෝග ප්‍රමේහ පණුරෝගවලට හා ළදරු රෝගවලට දෙනු ලබන ඖෂධවලදී අනිවාර්යයෙන්ම මී පැණි යොදාගනී.

නින්දනොයෑමෙන් පීඩාවිදින අයගේ රෝගී තත්ත්වයන් අනුව දෙනු ලබන වෛද්‍ය උපදෙස් අනුව නින්දට යෑමට ප්‍රථම මී පැණි හැන්දක් බීමෙන් පහසුවෙන් නින්දයන බවද පැවසේ. අජීර්ණයට, උදරයේ විෂවලට, වමනයට, කෙන්ඩ පෙරළීමට ආදි රෝගවලට මී පැණි ගුණ ගෙන දෙනු ඖෂධයකි. මෙහි විශේෂත්වයක් ඇත්තේ මී පැණි පහසුවෙන් දිරවන අතර ශරීරයට ක්ෂණිකව ගුණයක් ඇතිකරලීමයි. සෙම වර්ධනය නොකොට ශරීර පවතින සෙම අඩුකරයි. මලපහ කිරීමේදී ඇතිවන යම් යම් අපහසුතා සහ මලබුරුල්ව යන අවස්ථාවලදී මී පැණි බීමෙන් එය වළක්වා ගත හැකිය. මී පැණිවල පවතින රසය මෙන්ම ගුණය ද කොතෙක් පැරණිවුවත් අඩු නොවේ. එහි ගුණාත්මක බව පවතින්නේ කල්ගත වූ විටය. මී මැස්සන් විසින් නොයෙක් ආකාරයේ පුෂ්පයන්ගෙන් ලබාගන්නා පැණිවලින් නිෂ්පාදනය කරනු ලබන මී පැණි කිසිදු අගුණයක් නොමැත. එමෙන්ම ලෝකයේ බොහෝ රටවල මී පැණි විශේෂ ඖෂධයක් ලෙසින් ද පාවිච්චි කරති. කැස්සට මී පැණි හොඳ ඖෂධයකි. ප්‍රතිශ්‍යා කැස්සට , ඉඟුරු ඉස්ම දොඩම් ඉස්ම හා මී පැණි මිශ්‍රකර වරින්වර තේ හැන්දක් හෝ දෙකක් බැගින් බීමෙන් සහනය ලැබේ.

අජීර්ණයට බඩේ දැවිල්ලට මෙන්ම ඕක්කාරයටත් , වමනයයෑමටත් මී පැණි ස්වල්පයක් බීමට දීමෙන් ගුණයක් ඇතිවේ. කිසියම් මානසික හෝ කායික හේතුන් නිසා නින්ද නොයන්නේ නම් අවදිව සිටින විට රාත්‍රී නින්දට යෑමට පෙර මී පැණි හැන්දක් බීමෙන් සැප නින්දක් ලැබෙන බව පර්යේෂණාත්මකව සොයාගෙන ඇත. මී පැණි උෂ්ණාධික ගතියෙන් ද යුක්ත වේ. උෂ්ණාධික අවස්ථාවලදී නොගත යුතුය.

ඉක්කාව ඇතිවූ විටද මී පැණි ගත් විට එය නැතිවේ. මී පැණි අධිරුධිර පීඩනයෙන් පෙළෙන අයටද ගුණදායකය. ගී‍්‍රක ජාතිකයින් ක්‍රීඩා යෙදෙන අවස්ථාවලදී මී පැණි බීමට පුරුදුව සිටිති. වතුර කළවම් කර එසේ මී පැණි බීමෙන් ශරීර ශක්ති ය හා ශරීර සෞඛ්‍ය වර්ධනය වන බව පැවසේ. ඈත අතීතයේදි ගී‍්‍රක වැසියන් කෝපය, දුක වැනි අවස්ථාවලදී සිතට සහනයක් පතා මී පැණියෙන් සකස් බීමක් පානය කර ඇත. ඒ මගින් සිතට සතුටක් ප්‍රසන්න පෙනුමකුත් ලබාගෙන ඇත. එමෙන්ම ශරීර සෞඛ්‍ය හා ශක්තිය ලබා ගැනීමටත් මී පැණි වතුර මිශ්‍රකර දිනපතා පානය කළේය.

දේශීය මෙන්ම ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදි මී පැණිවලට ලැබෙන්නේ ප්‍රමුඛස්ථානයකි. බොහෝවිට ගුලි, කල්ක දීමේදී මී පැණි සමඟ දියකර බීමට දෙති. බොහෝ බෙහෙත් වර්ගවලට ද ගනී. මදන මෝදකයට, කාමේශ්වරී මෝදකයට අගස්ත්‍ය හරිතකී මෝදකයට කංස හරිතකී මෝදකය, ධාත්‍රීරසායනය, ප්‍රමේහගජකේෂරී රසායනය, රණහංස රසායනය ආදි බෙහෙත්වලට මී පැණි එක්කර ගනී. බාලග්‍රහණි ගුලිය සඳහා ඇති කවිවල මෙසේ සඳහන් වේ.

අජීර්ණද මාන්දම ට

මී පැණියෙන් දෙනු විගස ට

පැමිණි ග්‍රහණි මාන්දම ට

සියබල බොරගුලි සමකො ට

 

මාන්දම් ගුලිය සඳහා අති කවිවලින් එක් කවියක මෙසේද සඳහනි.

ඉබුලට පමණට ගුලික ර

සෙවණේලා සුරකිමක ර

පිත් මන්දම දුටොත් කුම ර

මී පැණියෙන් දෙව තිරස ර

 

විෂ්ණු කපාලයෙන්

පලුකරගුලි පවනේ වේළමි නා

අනුපානද සොඳ ලෙස දැන ඉති නා

කුඩුකර මිරිසැට ඉගුරුද සොදි නා

මී පැණි සහ දෙනු වමනද නසි නා

 

ක්‍රිමිරාජ කල්කය

දිවසින් දුටු අනුපානය සොර නා

අහපත් බිලිඳුගෙ ලෙඩ දැන සොදි නා

උණ ගෙන සෙම් කිපුණොත් විගසකි නා

ගෙනදෙන් මී පැණියෙන් දැන සොදි නා

 

මී පැණි තරමක් කහපාට ඇලෙන සුළු ද්‍රවයකි. මී පැණිවල ලවණ අඩංගුව ඇත්තේ සුළු ප්‍රමාණයකි. මී පැණි පිළිබඳව රට රට වලින් ඇසෙන කතා බොහෝය. ඈත අතීතයේදි මංගල උත්සවයක සංකේතය වශයෙන් සලකා ඇත්තේ මී පැණිය. අලුත් විවාහපත් යුවළක් නිවසට පැමිණෙත්ම මී පැණි බින්දු කීපයක් ඉසීමේ සිරිතක් රෝමන්වරුන් අතර පැවතිණ. ඊජිප්තුවේ මනාලයකු විවාහ උත්සවයේදී මී පැණි රාත්තල් තිස්දෙකක් මනාලියට තෑගි වශයෙන් දිය යුතුව තිබූ බව ද සඳහන්ව ඇත.

 

මොනරාගල සිරිගල

ආයුර්වේද වෛද්‍ය

මැණික් නේරංජනා

හෙට්ටිආරච්චි

 

සටහන

එස්.එස්.එස්.ප්‍රනාන්දු

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.