පස් තෙල්

ජුනි 14, 2024

දේශීය වෙදකමේ පස් තෙල්වලට හිමිවන්නේ අද්විතීය තැනකි. දේශීය වෙදකමේ පමණක් නොව ග්‍රහ ශාන්ති කර්මයන්හි ද උපයෝගී වන්නා වූ පස්තෙල්වල අන්තර්ගතය පිළිබඳ විමසා බලමු.

පස් තෙල් යනු එළඟිතෙල්, මී තෙල්, එඬරු තෙල්, කොහොඹ තෙල්, තල තෙල් යන තෙල් වර්ග පහයි. එක් එක් තෙලෙහි ගුණයට අනෙක් ඒවායේ ගුණයන් එකතුවීමෙන් වඩාත් ඵලදායී වූ මහාර්ඝ ගුණයක් පස් තෙලෙහි ගැබ්ව ඇත. මේ තෙල් වර්ග පහ මනා සංයෝගයකි. සුලබව පැවතියා වූ තෛල වර්ග පහක් වඩාත් ඵලදායිතාවයක් ලබා ගැනීමේ අටියෙන් කළා වූ සම්මිශ්‍රණයකි. අපේ හදවතට සමීප මේ තෙල් වර්ග වෙන් වෙන් වශයෙන් හඳුනා ගනිමු.

 

එළඟි තෙල්

ගින්නෙන් පිළිස්සීමෙන් හටගත් දැවිල්ල නැති කරන අතර මානසික රෝග උමතු රෝග අවලස්සන දුරු කරන අතර ඉදිමුම, වේදනා, බඩ පිපුම, වණ, ක්ෂය රෝග, රක්ත දෝෂ, විනාශ කරන අතර රුව වඩවයි.

කාන්තිය ඇතිකරන අතර ශුක්‍ර ධාතු වඩයි. ශරීර ශක්තිය, තේජස මනාව ලබා දෙන අතර වයසට යෑම වළක්වයි. ඇස්වලට ඉතාමත් සුදුසුය. මෘදු බව ඇති කරන ධාරණ ශක්තිය, මතක ශක්තිය ඇති කරයි. එළු කිරිවලින්ද, ගවයාගේ කිරිවලින්ද ගිතෙල් නිපදවනු ලැබේ.

කටින් පිටවන ශබ්දය යහපත් කරයි. ධාතු වර්ධනය ඇති කරන අතර විස නැසීමේ ගුණයක් ඇති නිසා සර්ප දෂ්ඨනවලදී එළඟිතෙල් බීමට දෙන අතර ඇඟේ ලේ අඩු අයට එළඟිතෙල් දීම සඳහා රෝගියාගේ තත්ත්වය අනුව වෛද්‍යවරයා විසින් නියම කරනු ලැබේ.

තල තෙල්

තල තෙල් කෙස්, සම ඇස්වලට ඉතාමත් යෝග්‍යවන අතර වා, සෙම් නසයි. ශරීරයේ නීරෝගිබව ඇති කරයි. වර්ණය පැහැපත් කරයි. ධාතු පෝෂණය කරයි. මේධාව ඇති කරන අතර වෘණ මේහ, යෝනි, ශූල හිසරදය යන මේවා සුව කරයි. සිරුර සැහැල්ලු කෙරේ. කෙට්ටු අය ස්ථුල කිරීමත් මහත අය කෙට්ටු කිරීමත් සිදු කෙරේ. හොඳින් වියළාගත් තල ඇට ඉතා හොඳින් කොටා තෛල පීඩන යන්ත්‍රයෙන් (සෙක්කුවෙන්) මිරිකා ගැනීමෙන් තල තෙල් නිපදවා ගැනීම සිදු කරයි.

සීරීම්, කැපීම්, වැටීමෙන් සිදුවන වෙන්වීම්, පැලීම්, හිල්වීම්, මෘග ව්‍යාඝ්‍ර ආදීන්ගෙන් ඇතිවන තුවාලවලට සහ සම කෙස්, ඇස් යන මේවාට ඉතා හිතකරයි. බලය පිණිසත් ස්නේහය පිණිසත් මුල් තැන හිමිකර ගනී. සමේ පැහැය සම මස්පිඩු ශක්තිමත් කරයි. වා සෙම් නසයි. මල අඩු කරයි. (මළ මූත්‍ර අවහිර කරයි)

කොහොඹ තෙල්

පණුවන් සහ කුෂ්ඨ නැසීම සඳහා මුල් තැන ලැබෙන්නේ කොහොඹ තෙල්වලටය. කොහොඹ ඇට වියළා කොටා තෛල පීඩන යන්ත්‍රයෙන් මිරිකා ගන්නා අතර පොතු සහ ඇට මිශ්‍රව ද තෙල් මිරිකා ගනී. වායු පිත් සෙම් නසන අතර ඇස්වලට ඉතාමත් සුදුසු ය. හිසකෙස් වැඩීම ඇති කරයි. සබන් නිෂ්පාදනය සඳහා කොහොඹ යොදා ගනී.

මී තෙල්

හොඳින් වේළාගත් මී ඇට කොටා වණ්ඩුවේ තම්බා පොට්ටනිවල බහා තෛල පීඩන යන්ත්‍රයෙන් මිරිකා ගැනීමෙන් නිපදවා ගනී. වා පිත් නසයි. ස්ථුල බව නැති කරයි. ශුක්‍ර වර්ධනය කරයි. ආහාර පිණිස භාවිත කරන අතර ස්ත්‍රීන්ගේ ගර්භාෂය පිරිසුදු කරයි. වාත හා පීනස් තෛල සංස්කරණය කිරීම පිණිස මී තෙල් යොදා ගනී. කල්තබා ගැනීමෙන් වතුර මිශ්‍ර වීමෙන් දිරාපත්ව ගුණ හීන වේ. මී ඇට වාරයට පෙර ප්‍රයෝජනයට ගත යුතු ය.

එඬරු තෙල්

වර්ණය පැහැපත් කරයි. ධාතු පෝෂණය කරන අතර වා, සෙම් නසයි. වයසට යාම අඩු කරන අතර එඬරු තෙල්වලින් ආම වාතය වනසයි. හෘද රෝග පෘෂ්ඨශූල, අස්ථිලා, වාතරක්ත මළ, අවරෝධ ඉදිමුම යන මේවා විනාශ කෙරේ. විරේචන ගුණය අතින් මුල් තැන ගන්නා අතර තැම්බීමෙන් තොරව ඇට මිරිකා ගැනීමත් වතුර සමඟ ඇට තම්බා වෙන් කර ගැනීමත් ක්‍රම දෙකකින් නිපදවා ගැනීමට පුළුවන.

වාත ගමන ප්‍රතිකාරයේදී දේශීය වාත භංග පොට්ටනි දලු අනුපානවලට උපයෝගී කර ගනී.

 

උපදෙස් - දේශීය වෙද්‍යක්‍රම

පිළිබඳ ජාතික ආයතනයේ හිටපු අධ්‍යක්ෂක වෛද්‍ය

දේවපි‍්‍රය අභයවර්ධන

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.