කාලය -ස්ථානය- දිසාව අනුව ගුණ වෙනස්වන ගස් පොතු

මැයි 31, 2024

මිනිසා සහ ඖෂධීය ශාක භාවිතය පිළිබඳ ඉතිහාසය ගසට පොත්ත මෙන් බැඳී පවතී. ශාකවල, කොළ, පොතු, මුල්, මල්, ගෙඩි යනාදී සෑම කොටසක්ම ඖෂධ සඳහා භාවිතයට ගනී. මේ අතරින් වියළි හෝ අමු වශයෙන් බහුලව භාවිතයට ගන්නේ පොතු වර්ගය. ශ්‍රී ලංකාවේ ප්‍රචලිත කැඩුම් බිඳුම් මෙන්ම සර්ප විෂ වෙදකම සඳහා විශේෂයෙන් පොතු වර්ග බාහිරව යොදා ගනී. අභ්‍යන්තර යෙදීම් වන ක්ෂාය, ගුළි, කල්ක, චූර්ණ ආදිය සඳහා ද පොතු වර්ග භාවිත වේ.

පොතු ලබා ගැනීමේ දී සැම විටම අත්තකින් ලබා ගැනීමට සැලකිලිමත් විය යුතු ය. වලයාකාරව කැපීමෙන් ගසට වන හානිය අවම කර ගැනීම සඳහා ඉහළ සිට පහළට දිග පටියක් සේ කපා ගැනීම කළ යුතුය. ඉන් පසුව එම ස්ථානයේ මඩ ආලේප කිරීමෙන් ගසට වන හානිය වළක්වාගත හැකිය. ඖෂධීය භාවිතය සඳහා පොතු ලබා ගැනීමේ දී ගසෙහි පැවැත්ම කෙරෙහි සැලකිලිමත් වීම මතු පරම්පරාවන් සඳහා කෙරෙන සත්කාරයකි.

පොතු වර්ග ලබා ගැනීමේ දී පරිසරය, කාල නියමය, ස්ථානය, දිසාව පිළිබඳ සැලකිලිමත් වීමෙන් ඖෂධීය ගුණය නියම අයුරින් ලබාගත හැකි වේ. ශීත ගුණය බලාපොරොත්තු වන විටදී සිසිල් පරිසරයකින් පොතු ලබාගත යුතු වේ. වසන්ත කාලයේ දී (මාර්තු, අප්‍රේල්) පොතු වර්ග ලබා ගැනීමෙන් වීර්ය ශක්තිය අධික වේ. මේ පොතු වර්ගවල පවතින රස, ගුණ, වීර්යය, විපාකය ආදිය එකිනෙකට වෙනස් වේ.

විවිධ රෝග සඳහා ගුණ දෙන ඖෂධීය පොතු වර්ග

මඟුල් කරඳ

උලුක්කු, තැළුම්, අස්ථි කැඩුම් බිඳුම්වලදී මෙන්ම අර්ශස් රෝගීන් සඳහා ඉතා සුදුසුය. පහතරට තෙත් හා අතරමැදි කලාපයේ ගංගා ඇළ දොළ ආශි‍්‍රතව හොඳින් වැඩේ. බොහෝ විට ගසේ පොත්ත විවිධ වර්ණ ප්‍රමාණ හැඩ ගන්නා ලයිකනවලින් වැසී පවතී. එම නිසා ස්වාභාවික පොත්ත වර්ණය අළු පැහැයෙන් වැසී ඇත.

කොකුම් පොතු

චර්ම රෝග සඳහා මෙන්ම සමේ වර්ණවත් හා පිවිතුරු බව ඇති කරන රූපලාවණ්‍ය නිෂ්පාදන සෑදීමට යොදා ගනී. කැපූ විට දීප්තිමත් කහ පාට තද තැඹිලි පාටක් ඇති වන අතර, ගසට වැදෙන සුළු පහරකින් වුවත් ගසේ පොත්ත ගැලවී වැටේ. පත්‍ර සරලය. මල් පොකුරු ලෙස හටගනී. පිටත පොත්ත අළු පාටය.

මූණමල් පොතු

මුඛ දුර්ගන්ධයට, දුර්වල දත් හා දත් මුල් දියවීමේ සහ දත් සෙලවීමේ දී ඖෂධ ලෙස සුලබව යෙදේ. පොත්ත පැහැයෙන් ළා දුඹුරු හෝ කළු පාටට හුරු දුඹුරු පාටය.

අශෝක පොතු

කාන්තා රෝග (රක්තප්‍ර‍්‍රදර) හා මුත්‍රා දැවිල්ල සඳහා බහුලව යෙදේ. ළපටි කඳන් හා අතුවල පොතු ඉතා තුනීය. පිටත පොත්ත පහසුවෙන් ඉවත් කළ හැකිය. හොඳින් වැඩුණු කඳේ පොත තද කොළ පාටය. පොත්තේ ඝනකම මි.මී.5 - සෙ.මී. 1ක් පමණ විය හැකිය.

කොතල හිඹුටු

ඖෂධවලට වඩාත් වැදගත් වන්නේ මුල් හා පොතුය. දියවැඩියා රෝගයේ දී ඉතා වැදගත් හා හොඳින් ක්‍රියා කරන ඖෂධයක් ලෙස ප්‍රකටය. ළා කහ දුඹුරු පැහැ කඳෙහි පොත්ත පහසුවෙන් නොගැලවේ.

බෝමි පොතු

උලුක්කු, තැළුම්, මස්පිඬු ඉරීමට සුලබව යොදා ගනී. පහතරට තෙත් කලාපීය ප්‍රදේශවල ව්‍යාප්ත වී ඇති ශාකයකි.

කොහොඹ පොතු

කොහොඹ පොතුවල තියන තිත්ත රස නිසා ලේ පිරිසුදු කරන අතර, කහට ගතිය නිසා තුවාල සුව වේ. කොහොඹ කොළ පොතු තම්බා ඇඟ සේදීමෙන් කුෂ්ඨ සහ ලොකු තුවාල සුව වේ. අරිෂ්ට සෑදීම සඳහා කොහොඹ පොතු භාවිත කරයි.

 

සුදීපා සමන්මලී

විද්‍යාඥ වනස්පතී

දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය, මහරගම - නාවින්නජයන්ති කුරේ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.