කස්තුරිවල ගුණයම දෙන කපුකිනිස්ස

මැයි 31, 2024

පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද

වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්‍ය

වෛද්‍ය මධුර පරණවිතාන

ඖෂධ නිෂ්පාදනාගාරයක් පවත්වා ගෙන යන සේනක මහතා ආයුර්වේද වෛද්‍යවරයකු සහ කථිකාචාර්යවරයකු වන පාලිත මහතා මුණගැසීමට පැමිණියේ ඔහුගේ ඖෂධ නිෂ්පාදන කටයුතු පිළිබඳ පැන නැඟුණු ගැටලුවක් නිරාකරණය කර ගැනීමටයි .

මොකද සේනක මහත්තයෝ උදෙන්ම? මෙහේටමද ආවෙ?

ඔව් පාලිත මහත්තයෝ අද නිවාඩු දවස නිසා ඔබතුමා ගෙදර ඇති කියල හිතුවා.මට ඔබතුමා එක්ක ටිකක් කතා කරන්න ඕන

ඇයි. සේනක මහත්තයෝ මොකද ප්‍රශ්නයක්ද?

මේකයි. පාලිත මහත්තයෝ. මම අපේ ඖෂධ නිෂ්පාදනාගාරයෙ දශමූලාරිෂ්ඨයත් හදනවා. ඒවායේ දි කස්තුරි මිශ්‍ර දශමූලාරිෂ්ඨය හදන කොට නියම කස්තුරි මිල අධික නිසා ඒ වෙනුවට කපුකිනිස්ස ඇට හොඳයි කියල කියන නිසා ඒ ගැන කරුණු ටිකක් දැන ගන්නත් එක්ක තමයි ආවෙ.

ඔබ කියන කාරණය නම් ඇත්ත සේනක මහත්තයෝ .නියම කස්තුරි මිල අධික වගේම දුර්ලභයි. ඒ නිසා ගොඩක් අය ඒ වෙනුවට වෙනත් ආදේශක හෝ කෘතීම කස්තුරි යොදා ගන්නවා.ඒ අතුරින් මේ කපුකිනිස්ස ඇට වඩාත් යෝග්‍යයි.විශේෂයෙන් කපුකිනිස්ස ඇට වල සහ ඒ ශාකයේ කස්තුරි වල සුවඳ ට සමාන සුවඳකිනුත් යුක්තයි

එතකොට පාලිත මහත්තයෝ කපුකිනිස්ස බහුලව තියෙන ශාකයක්ද?

ඔව්.අපේ රටේ බොහෝ ප්‍රදේශවල පාරවල් දෙපැත්තෙ අත් හැර දැමූ බිම්වල දකින්න පුළුවන් .

විදේශීය වශයෙන් ගත්තාම

ඉන්දියාවේ ඝර්ම කලාපීය ප්‍රදේශ ..නේපාලය ..ඉන්දු චීනය ...දකුණු චීනය ..මැලේසියාව ..අප්‍රිකාව .සහ දකුණු ඇමෙරිකාවේ තෙත් සහිත ප්‍රදේශ වලත් දකින්න පුලුවන්

ඒ වගේම තමයි සේනක මහත්තයෝ කපුකිනිස්ස ශාකය අතු බෙදී ගියපු වාර්ෂික ශාකයක්.මේ ශාකය අඩි.5.ක් 6ක් පමණ උසට වැවෙනවා.සාමාන්‍යයෙන් පෙනුම බණ්ඩක්කා ගහක් වගේ. ගහේ කඳේ දැඩි රෝම සහිතයි. පත්‍ර බණ්ඩක්කා පත්‍ර වගේ. දෙපැත්තේම බූව සහිතයි. මේ ශාකවල කහ පාට මල් තියෙනවා. මල් ඇතුළත දම් පැහැයක් ගනු ලබනවා. අඟල් 3 - 4 ක් විතර වෙන මලේ දණ්ඩ මඳක් වක්‍රයි. මෙහි අඟල් 3 ක් පමණ දිග බණ්ඩක්කා කරල් වගේ කරල් තියෙනවා ඒ තුල කළු පාට බීජ තියෙනවා. එක කරලක බිජ විශාල ප්‍රමාණයක් තියෙනවා. මේ බීජ කස්තුරි සුවඳ නිසා ලතා කස්තුරි නම යෙදෙනවා.

එතකොට පාලිත මහත්තයෝ කපුකිනිස්ස හදුන්වන නම් මොනවාද?

සිංහල භාෂාවෙන් කපුකිනිස්ස කියනවා.

සංස්කෘත භාෂාවෙන් ලතා කස්තුරිකා..කටුකා..කාල කස්‍තුරි.. ගන්ධපූර..කස්තුරි ලතිකා..සහ ලතික ආදි නම් යෙදෙනවා

හින්දි භාෂාවෙන් ලතා කස්තුරි සහ මුශ්කදානා යන නම් යෙදෙනවා

දෙමළ භාෂාවෙන් වෙත්තිලායින් කස්තුරි...වෙන්ඩයික්කායවිරාය් යන නම් යෙදෙනවා.

ඉංග්‍රීසි භාෂාවෙන් Mushk mallow සහ Ambrette seeds tree  යන නම් යෙදෙනවා

කපුකිනිස්සවල උද්භිද විද්‍යාත්මක නාමය Hibiscus abelmoschus Linn  වෙනවා

කුලය MALVACEAE හෙවත් කාර්පාස කුලයයි.

පාලිත මහත්තයෝ කපුකිනිස්ස ඇට විතරක් ද ඖෂධ සදහා යොදා ගන්නෙ?

කපුකිනිස්ස ඇට ප්‍රධාන වශයෙන් යොදා ගනු ලබනවා. ඊට අමතරව මුල් සහ කොළ ද යොදා ගනු ලබනවා.

කපුකිනිස්ස වල ඖෂධීය වටිනාකම කොහොමද?

කපුකිනිස්ස රසයෙන් තික්ත..මධුර සහ කටුක රසයි.

ගුණයෙන් ලඝු ...තීක්ෂ්ණ සහ රූක්ෂයි. වීර්‍යයෙන් ශීතයි. විපාකයෙන් කටුකයි. මේ නිසා සෙම් හා පිත් දෝෂ සමනය ඇති කරන නිසා සෙම් පිත් රෝග සඳහා යොදා ගනු ලබනවා.

මේවා ප්‍රයෝග කරන ආකාරයට සැලකුවාම

ස්නායු දුබලතා සඳහා උත්තේජනය බලාපොරොත්තුවෙන්‍ යොදනු ලබනවා

ඒ වගේම මුඛ රෝග ..ආහාර අරුචිය.බඩගිනි අඩුකම..උණ.. අතීසාර...පිපාසා ආදි රෝග තත්ත්වයනට ප්‍රයෝග කරනු ලබනවා හෘද දුබලතා සඳහාත් හොඳයි ඒ වගේම සෙම් නසන ගුණ සහිත නිසා කැස්ස ඇදුම ආදියට යොදනු ලබනවා එසේම මූත්‍රකාරක ගුණ මෙහි පවතින නිසා මූත්‍රාබාධ සදහා කපුකිනිස්ස ඇට, මුල් සහ කොළ යන වර්ග තුනම ප්‍රයෝග කරනවා

එසේම කපුකිනිස්සවල කාමෝද්දීපන ගුණ ඇති නිසා ලිංගික දුබලතා සඳහා විශේෂිත ගුණයක් සහිතයි. මේ ආකාරයට කපුකිනිස්ස කියන්නේ ඉතා වටිනා ඖෂධයක් විදියට හදුන්වන්න පුළුවන් සේනක මහත්තයෝ.

ඉතිං පාලිත මහත්තයෝ කපුකිනිස්ස අඩංගු ඖෂධ යෝග මොනවාද?

කට ගඳ ගසන විට කපුකිනිස්ස ඇට සැපීම ගුණයි.

ඇස් වල් ආබාධ වලදි කපුකිනිස්ස ඇට පිටිකර ඇසේ ගැල්වීම කරනු ලබනවා

ආහාර අරුචියට සහ බඩගිනි අඩුකමට පිරිසුදු හොඳින් වියලාගත් කපුකිනිස්ස ඇට විකා ගිලීම හෝ කුඩුකර කෝපි මෙන් සකස් කර පානය කිරීම යෝග්‍ය යි.

උණ සහ සෙම් කිපුණු ඇදුම තත්ත්වන්ට

කපුකිනිස්ස බීජ පාණ්ඨය යොදනු ලබනවා. එමගින් ශ්වාස නාළය සිනිඳු කොට ශ්වාස නාළිකාවල අවහිරතා දුරුකරන අතරම හදවත උත්තේජනය ඇති කරනු ලබනවා

මුඛයේ වියලි බව නැසීමට සහ කටහඬ පැහැදිලි වීමට කපුකිනිස්ස බීජ චූර්ණය යොදා සකස් කළ දුම්වැටි ගිනිදල්වා ඉරීම සුදුසුයි.

වාත ආබාධ ආදියට පිරිසුදු කපුකිනිස්ස බීජ අවුන්ස 3 ක් චූර්ණ කර මද්‍යසාර අවුන්ස 20 ක් මිශ්‍ර කර පිළියෙළ කර ගත් තරලසාරය ඩ්‍රෑම් 1-2 දක්වා ප්‍රයෝග කරනු ලබනවා

ප්‍රමේහ..ලිංගික දුබලතා..උදර ප්‍රදේශ සහ තුනටිය ප්‍රදේශ ආශ්‍රිත ආබාධයන්ට කපුකිනිස්ස කොළ හා මුල් තලා මිරිකාගත් යුෂය සීනි සමග පෙවීම ද කපුකිනිස්ස ඇට චූර්ණය මී පැණියෙන් ලේහ කිරීමද කරනු ලබනවා

කැසීම්වලදී කපුකිනිස්ස ඇට එළකිරෙන් අඹරා ආලේප කරනු ලබනවා.

සර්ප දෂ්ඨයේදී කපුකිනිස්ස ඇට මද්‍යසාරයෙන් අඹරා දෂ්ඨ කළ ස්ථානයේ ආලේපය සහ පෙවීම කරනු ලබනවා

ඉතිං සේනක මහත්තයෝ කපුකිනිස්ස අඩංගු මේ ආකාරයේ ඖෂධ යෝග රාශියක් විවිධ රෝගාබාධ රාශියකට යොදනු ලබනවා

ඒ වගේම සේනක මහත්තයෝ කපුකිනිස්සවල ඖෂධීය මාත්‍රාව සැලකුවාම

චූර්ණය රක්තිකා 4 යි

ක්වාථය අවුන්ස 1- 2 දක්වා

සුරාසවය බිංදු 60 -120 දක්වා

ඒ වගේම සංස්කාරික ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයේදි ක්වාථ..පාණ්ඨ. .සුරාසව..චූර්ණ. ප්‍රලේප ආදි වශයෙන් කපුකිනිස්ස යොදා ගනු ලබන අතරම මිශ්‍රිත යෝගවල එක් උපාදානයක් ලෙසත් ගනු ලබනවා.

විශේෂයෙන් දශමූලාරිෂ්ඨය නිෂ්පාදනයේදී ප්‍රක්ෂේප ද්‍රව්‍ය විදියට කපුකිනිස්ස ඇට ප්‍රධාන වශයෙන් යොදා ගනු ලබනවා. දැන් සේනක මහත්තයගේ ගැටලුව නිරාකරණය වෙන්න ඇති නේ? කස්තුරි වෙනුවට කපුකිනිස්ස ඇට යොදා ගන්න එකේ ගුණාගුණ ගැන.

ඔව් පාලිත මහත්තයෝ මට හොදින් ම අවබෝධ වුණා....

ඒ වගේම සේනක මහත්තයෝ වල්කපු ඇටවලත් කස්තුරිවල සුවඳට සමාන සුවඳක් තියෙන නිසා කල්කටාවේ සමහර වංචනික වෙළෙන්දන් වල්කපු ඇටත් ලතා කස්තුරි ඒ කියන්නේ කපුකිනිස්ස ඇට කියල විකුණන අවස්ථා තියෙනවා. ඒ නිසා ඒ ගැනත් හොඳ අවබෝධයකින් ඉන්න එක වැදගත්...

අනේ ඔව් පාලිත මහත්තයෝ මට ඒ ගැන අවබෝධයක් ලැබුණා. ඔබතුමා කියපු කරුණුවලින් මම හිතුවටත් වඩා දැනුමක් ලබාගත්තා. ඒ නිසා ඔබතුමාට ගොඩක් ස්තූතියි මට කළ උපකාරයට....

හරි සේනක මහත්තයෝ ආයෙත් අවශ්‍ය වුණොත් මට කතා කරන්න. එහෙනම් හොඳින් වැඩ ටික කරගන්න කියමින් පාලිත මහතා කතාව නිමා කළේය.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.