ශාරිරික දුබලතා නසා ලිංගික ශක්තිය වඩන රට ඉඳි

ජුනි 14, 2024

“මොකද චතුර පුතා... මේ දවස්වල විශ්වවිද්‍යාල නිවාඩුද? මොකද මේ පැත්තෙ... මොනව හරි උවමනාවකටද?”

“ඔව් වෙද මාමෙ. මේ දවස්වල නිවාඩු. මම මාමව හමුවෙන්න ආවෙත් උවමනාවකට තමයි.”

“මොකක්ද චතුර පුතා උවමනාව?”

“වෙද මාමේ. මට ව්‍යාපෘති වාර්තාවකට කරුණු ටිකක් දැන ගන්න අවශ්‍ය වෙලා තියෙනවා. ඒකටයි මාමා හමුවෙන්න ආවෙ. මාමෙ රට ඉඳි කියන්නේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ නැතිවම බැරි ඖෂධාහාරයක් නෙ. ඒ ගැනයි කරුණු ටිකක් දැන ගන්න අවශ්‍ය.”

“හොඳයි පුතා අපි ඒ ගැන කතා කරමු. මිනිසාගේ ආහාරය යම් පමණකට වැදගත් වෙනවා සේම පෝෂණයත් ඔහුට ඒ පමණටම වැදගත් වෙනවා. මේ නිසා ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ වගේම දේශීය වෛද්‍ය ක්‍රමයේත් පෝෂණය පිළිබඳව බොහෝ සෙයින් අවධානය යොමුකර තියෙනවා. ආයුර්වේදයට අනුව රෝග ප්‍රතිකාර කිරීමේදී ලංඝන සහ වෘංහණ ක්‍රම යොදා ගනු ලබනවා. මේ අතුරින් වෘංහණය කියන්නේ රසායන හා වාජීකරණ ක්‍රමයි. මේ රසායන සහ වාජීකරණ ක්‍රම ය‍ටතේ යොදනු ලබන ඖෂධ යෝග සදහා නැතුවම, බැරි ඖෂධයක් ලෙසට රටඉඳි හඳුන්වන්න පුළුවන්.

ඒ වගේම පුතා ශරීරයට ශක්තිය, පෝෂණය සහ තර්පනය ලබා දෙන්න යොදනු ලබන ඖෂධ යෝගවල යෙදෙන ප්‍රධාන ද්‍රව්‍යයක් විදියට රට ඉඳි හඳුවන්න පුළුවන්. ආහාරමය වශයෙන් විවිධ ආකාරයෙන් ප්‍රයෝජනයට ගන්න රට ඉඳි ඖෂධීය වශයෙනුත් බොහෝ ඖෂධ යෝග සඳහා යොදා ගනු ලබනවා. ඒ වගේම තමයි පලතුරු වර්ග අතුරිනුත් අතිශය පෝෂ්‍යදායි පළතුරක් විදියටත් ගනු ලබන රට ඉඳි මුස්ලිම් භක්තිකයන් අතර වඩාත් ජනප්‍රිය වී තියෙන්නේ රාමසාන් උපවාස කාලයේදී ශරීරයට අවශ්‍ය ශක්තිය ලබා දෙන අතිශය ශක්තිජනක ආහාරයක් ලෙසයි.”

“වෙද මාමා රට ඉඳි ගැන හොඳ හැඳීන්වීමක් කලානෙ. එතකොට වෙද මාමේ. රට ඉඳි හැදෙන්නේ කොයි කොයි රටවල ද?”

“පුතා. රට ඉඳි ඊජිප්තුව, සිරියාව ඇතුළු අරාබි රටවල විතරක් නෙවෙයි උතුරු අප්‍රිකාව, සින්දු පංජාබ් වැනි රටවල සහ ප්‍රදේශවලත් වැවෙනවා.

ඒ වගේම ඉතා ඈත අතීතයේ ප්‍රධාන වශයෙන් යුප්‍රටීස් ටයිග්‍රීස් ආදී ගංගා නිම්න ආශ්‍රිතව හොඳින් වගා කර තිබෙන අතර වෙනත් ශාක නොවැවෙන වියළි කාන්තාර ප්‍රදේශවලත් දකින්න පුළුවන්.”

“එතකොට වෙද මාමෙ රට ඉඳි ගහ මොනවගේද?”

“රට ඉඳි ගහ සාමාන්‍යයෙන් පොල් ගසක හෝ තල් ගසක හැඩහුරුකමින් යුක්තයි. ඒ වුණාට රට ඉඳි ගස් පොල් ගස් හෝ තල් ගස් තරම් උසට වැඩෙන්නේ නැහැ .සාමාන්‍යයෙන් රට ඉදි ගසක් අඩි 30-40 ක් පමණ උසට තමයි වැවෙන්නෙ.”

“එතකොට වෙද මාමේ රට ඉඳි හඳුන්වන වෙනත් නම් තියෙනවා නේද?”

“ඔව්. සිංහල භාෂාවෙන් රට ඉඳි නම යෙදෙන විට සංස්කෘත භාෂාවෙන් අඛර්ජූර සහ ඛර්ජූරිකා යන නම් යෙදෙනවා. හින්දි භාෂාවෙන් ඛාජූර් සහ සෙද්ධි යන නම් යෙදෙනවා. දෙමළ භාෂාවෙන් ඉඩම්නාර් යනුවෙන් හඳුන්වනු ලබනවා ඉංග්‍රීසි භාෂාවෙන් Wild Date palm  සහ Arabian Date palm යනුවෙන් හඳුන්වනු ලබනවා. රට ඉඳිවල උද්භිද විද්‍යාත්මක නාමPhoenix zeylanica Tri  සහ Phoenix sylvestris Roxb වන අතර කුලය PALMACEAE හෙවත් නාරිකේල කුලයයි.”

“එතකොට මාමෙ රට ඉඳිවල ප්‍රභේදත් තියෙනවාද ?”

“ඔව් පුතා. ප්‍රභේද කීපයක්ම තියෙනවා

1පිණ්ඩ ඛර්ජූර

2ඛර්ජූර

3 ක්ෂුද්‍ර ඛර්ජූර

4භූමි ඛර්ජූර වශයෙන් ප්‍රභේද 4 ක්

දක්වලා තියෙනවා. මේ අතුරින් නියම අරාබි රට ඉඳි වන්නේ පිණ්ඩ ඛර්ජූර සහ ඛර්ජූරයි. එ් වගේම පුතා රට ඉඳිවල ආහාරමය වශයෙන් ගෙඩි යොදා ගනු ලබන අතර ඖෂධීය වශයෙන් ගෙඩි, ඇට සහ ගොබ යොදා ගනු ලබනවා.

ඒ වගේම තමයි රට ඉඳි හා සම්බන්ධ ආගමික විශ්වාසයන්ද බොහෝ තියෙනවා සමෘද්ධිය, ඉවසීම සහ ජයග්‍රහණයේ සංකේතයක් විදියට රට ඉඳි හදුන්වන්න පුළුවන්. රට ඉඳිවල ඇති පූජනීය බව සලකලා සතුරෙකුගේ ඉඩමක වැවෙන රට ඉඳි ගසක් වුවද විනාශ නොකළ යුතු යැයි ආගමික විශ්වාසයක් තියෙනවා. ඒ වගේම තවත් මතයක දැක්වෙන්නේ

රට ඉඳි කියන්නේ දෙවියන් වහන්සේ විසින් මවන ලද දෙයක් වන අතර දෙවියන් වහන්සේ විසින් මිනිසා මැවූ පසු ඉතිරිවූ අංශුවලින් රට ඉඳි මවන ලද බවයි.

එසේම රට ඉඳිවල ඉතිහාසය ඉතා පැරැණියි. මෙයට වසර පන්දහසකට පෙර සිටම රට ඉඳි ගැන මිනිසා දැනගෙන සිටි බව හඳුනාගෙන තිබෙනවා.”

“එතකොට වෙද මාමේ රට ඉඳිවල ආහාරමය වටිනාකම කොහොමද?”

“රට ඉඳි ආහාරමය වශයෙන් විවිධ ආකාරයෙන් ප්‍රයෝජනයට ගනු ලබනවා. විශේෂයෙන් ආහාරයට පසු ගනු ලබන පලතුරක් වශයෙන්ද රට ඉඳි ගනු ලබනවා ඒ වගේම විවිධ කේක් වර්ග සෑදීමේදීත් රට ඉඳි යොදා ගනු ලබනවා. එසේම හොඳ අතුරු පසක් ලෙසත් රට ඉඳි බාල තරුණ, මහලු සියලු දෙනාම ප්‍රිය කරනවා.

ඒ වගේම රට ඉඳි යොදා සකස් කළ පාන වර්ගත් විශේෂයෙන් මුස්ලිම් භක්තිකයන් රාමසාන් උපවාස කාලයේදී බොහෝ සෙයින් භාවිතයට ගනු ලබනවා. විවිධ උත්සව ප්‍රිය සම්භාෂණ ආදියේදි නැතිවම බැරි මැලේ අච්චාරු සෑදීමේදි රට ඉඳ අත්‍යවශ්‍යම දෙයක්

ඒ වගේම රට ඉඳිවල ඖෂධීය වටිනාකම සැලකුවාම රට ඉඳි ඖෂධීය වශයෙන් ඉතා අගනා ගුණ දෙන ද්‍රව්‍යයක්. විශේෂයෙන් ශරීරයට අවශ්‍ය ශක්තිය ලබාදෙන ඖෂධ යෝග සඳහා ගනු ලබනවා. ශරීරයට අවශ්‍ය රසායන සහ වාජීකරණ ගුණ ලබා දෙන ඖෂධ රාශියක් රට ඉඳි අඩංගුව සකස් කරනු ලබනවා . අශ්වගන්ධ, රසායනය, අශ්වගන්ධාරිඨය, ඛර්ජූරාසවය, ඛර්ජූරාදී චූර්ණය, ඛර්ජූරාදී ලේහය ආදිය රට ඉඳි අඩංගු ප්‍රධාන ඖෂධ යෝගයන්.

වැදගත්ම දේ පුතා, රට ඉඳි මදුලක ඇටය ඉවත් කර ගිතෙල් පුරවා මීපැණිවල බහා තබා දිනකට එක බැගින් කෑමෙන් ලිංගික දුබලතා නැසෙනවා.

එසේම රට ඉඳි, කිතුල් හකුරු, මුද්දරප්පලම්, කෝලිකුට්ටු යෝගයත් ලිංගික දුබලතා සැණෙකින් නසන අගනා යෝගයක්

ඉතින් පුතා මේ ආදි ඖෂධ යෝග රාශියක් රට ඉඳි අඩංගුව යොදනු ලබනවා.”

මෙමගින් ශාරීරික දුබලතා නසා ශරීරයේ ශක්තිය ඇති කරනු ලබනවා වගේම ලිංගික දුබලතා ද නසා තරුණ බවත් රැක දෙනවා. මේ නිසා පුතා රට ඉඳි කියන්නේ ඉතා අගනා වටිනා ඖෂධාහාරයක්”

යනුවෙන් වෙද මාමා රට ඉඳි ගැන හොඳ විස්තරයක් ඉදිරිපත් කළේය . “අනේ වෙද මාමේ මාමට ගොඩක් පින්. මම රට ඉඳි ගැන හොඳ කරුණු ටිකක් දැන ගත්තා.” යනුවෙන් පැවසූ චතුර වෙද මාමා සමඟ කළ සාකච්ඡාව නිමා කළේය.

 

පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද

වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්‍ය

වෛද්‍ය මධුර පරණවිතාන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.