සුබසෙත සුවසෙත

සැප්තැම්බර් 27, 2024

මානෙල් කුමුදුනී - රත්තොට

ප්‍රශ්නය

වෛද්‍යතුමනි, මම විසිතුන් හැවිරිදි රැකියාවක් කරන අවිවාහක තරුණියකි. මෑතක සිට හිසකෙස් තැනින් තැන සුදුවී ඇති අතර පීරන විට පනාවට ද කැඩී ඇයි. බොහෝ විට පනාවට කැඩී එන්නේ සුදු වූ කෙස් නොව කළු කෙස් ය. මෙයට සුදුසු ප්‍රතිකාරයක් ලබාදෙන්න.

 

පිළිතුර -

අකලට හිසකෙස් සුදුවීම කෙස් කැඩීයාම රෝගී තත්ත්වයකි. පීනස් රෝගය නිසාත් සමහරුන්ගේ කෙස් සුදුවීම හා කැඩීයාම සිදුවේ. මන්ද පෝෂණය හිසකෙස්වලට ඔරොත්තු නොදෙන ආලේපන රසායන ද්‍රව්‍ය අඩංගු , ෂැම්පුවර්ග ආලේපන මේ තත්ත්වයට හේතුවකි. ශරීරගත ආබාධයක් කෙස් කැඩීයාමට හේතුවේ. හිස සෝදන විට දෙහි ඇඹුල් ස්වල්පයක් ජලයට මිශ්‍රකර හිස සෝදන්න. නෙල්ලි ඉස්ම ටිකක් ගෙන දෙහි ඇඹුල් ටිකක් දමා කළවම් කර කෙස්ගස් මුල්වලට වදින සේ ගා ඇඟිලි තුඩුවලින් පිරිමදින්න. නෙල්ලි, වෙරළු, පේර, මුද්දරප්පලම්, පෙයාස්, ඇපල් වැනි පලතුරු වර්ග කෑමට ගන්න. මළබද්ධය ඇතොත් එය නැතිකර ගැනීමට කෑමවලින් ප්‍රවේසම් වන්න. පිටි කෑම ක්ෂණික කෑම වර්ග ක්ෂණික බීම වර්ග ගැනීමෙන් වළකින්න. ශරීරගත රෝගවලට ප්‍රතිකාර ලබා දිය යුතු බැවින් ආයුර්වේද වෛද්‍යවරයකු වෙත ගොස් ප්‍රතිකාර ගන්න.

 

සිරියලතා - තිහගොඩ

ප්‍රශ්නය

වෛද්‍යතුමනි, මගේ මවගේ වයස අවුරුදු හැත්තෑ අටක්. හොඳට කතා බස් කරමින් ගෙදර දොර ඇවිදිමින් සිටියා. පසු ගියදා පෝයට පන්සල් ගිහින් ඇව්ල්ල කිව්වා, දකුණු අතේ මැදැඟිල්ල නැවීමට බැරිය, වේදනාවක් එනවා කියා. දැන් ඇවිදීමටත් අපහසු වගේ. වෙනදාට වැසිකිළියට යන මවට දැන් කවුරු හරි එක්ක යන්න වෙලා. වැසිකිළියේ ඉඳගන්නත් බැරිලු. වෙනදාට වේලාවට කන බොන අම්මාට දැන් කන්න බඩගිනි නැතිලු. මේ අසනීප තත්ත්වය සුවකරගන්න ප්‍රතිකාරයක් සඳහන් කරන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.

 

පිළිතුර -

මේ රෝගයට තෙල් බෙහෙත් වර්ග හා කෂාය වර්ග ලබාදිය යුතුයි. පළමුව බඩගින්න ඇතිවෙන්න බෙහෙත් ලබා දිය යුතුයි. දෙවනුව හන්දි තෙල් වේදනා ගෙනදෙන ස්ථානවල ගෑමෙන් වේදනාව අඩුවේ. තෙල් ගෑමට පෙර උණුවතුර කෝප්පයක් ගෙන ලුණු කැට ස්වල්පයක් දමා දියකර වේදනාව ඇති ස්ථානවල තවන්න. තෙල් ගා හොඳින් පිරිමැදිය යුතුය. කකුලක අතක හෝ තුණටියේ වේදනාවක් ඇත්නම් තෙල් ටිකක් අතට ගෙන පහළ සිට උඩට සිටින සේ තෙල්ගෑමෙන් සුවයක් ගෙන දෙයි. ඉදුණු කෙසෙල් ගෙඩි, ගස් ලබු, බෙලි වැනි පලතුරුත් උෂ්ණාධික ආහාරත් නොගත යුතුය. අන්නාසි තක්කාලි, අච්චාරු, ලුණු දෙහි, හරක් මස්, බලමාළු, හුරුල්ලන්, දෙල් වැනි ආහාර තාවකාලිකව නතර කළ යුතුය. ආයුර්වේද වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ගැනීම සුදුසු ය.

 

කේ.ඩී.එස්. පියවතී - වලාන

ප්‍රශ්නය

වෛද්‍යතුමනි, ඩෙංගු රෝගය වැලඳුණු රෝගීන්ට නිතර දියර ආහාර වර්ග දිය යුතු බව කියයි. එසේ දිය යුතු ආහාර පිළිබඳ යම් විස්තරයක් ලබාදෙන්නේ නම් කෘතඥවෙමි.

 

පිළිතුර -

ඩෙංගු රෝගය වැලඳී ඇති රෝගීන් සඳහා සුප් පානය කිරීම වඩාත් ගුණදායක බව කියයි. උණ රෝගය නිසා සිරුරේ සන්ධි හා මාංශ පේශීන්වල ඇතිවන අධික වේදනාව සුප් පානය කිරීම මඟින් සමනය කර ගත හැකිය. ඩෙංගු රෝගීන් සඳහා සුප් සෑදීමේ දී කුළුබඩු ඉතා අඩුවෙන් යෙයෙදිය යුතුය. ඒ ඩෙංගු රෝගය නිසා ඇතිවන උදරයේ වේදනාව සඳහා කළුබඩු එතරම් ගුණදායක නොවන බැවිනි. කෑම ගැනීමට අකමැත්තක් දරන රෝගීන් කැමැත්තක් දක්වන එළවළු ගෙන සුප් සාදා දීමේ වරදක් නැත. මේ රෝගීන් සඳහා දිය යුතු වන්නේ විටමින් සහ ඛනිජ ලවණ එළවළුය. විශේෂයෙන් කොළ පැහැති එළවළු කැරට්, සහ පිපිඤ්ඤා වැනි එළවළු යුෂ පානය කිරීම වඩාත්ම ගුණදායකය. තවද පලතුරු යුෂ, තැඹිලි, කැඳ, ජීවනී වැනි ලවණ සහිත දියර ලබා දීමත් වැදගත් ය. රෝගී තත්ත්වය සම්පූර්ණයෙන්ම අඩුවනතුරු හොඳ විවේකයක් ලබාදිය යුතු ය. ගමන් බිමන්වලින් තොරව නිවෙසට වී සිටීම නිරෝගීතාවයට හේතුවකි.

 

ගනේෂ් - වැල්ලම්පිටිය

ප්‍රශ්නය

තිස්හත් හැවිරිදි මම වෙළඳ සැලක සේවය කරන සේවකයෙක්. උදේට පටන් ගත්තම රාත්‍රී නමය දහය වනතුරුම අත් දෙක ක්‍රියාත්මක වෙන්නේ සෝදන කටයුතුවලටය. ඒ කියන්නේ අත් දෙක වතුරේම ය. මේ නිසාද දන්නේ නැහැ, මගේ දකුණු අතේ මැදැඟිල්ල හිරි වැටෙනවා. සමහර දාට ඇඟිල්ල නවන්නම බැහැ. මේකට ඔබතුමා මට කළ යුතු ප්‍රතිකර්මයක් සඳහන් කරන්න.

 

පිළිතුර -

ඇඟිල්ලකින් ආරම්භවන හිරිවැටීම ශරීරය පුරාම පැතිර යා හැකිය. දියවැඩියා රෝගය පවතින රෝගීන්ටත් ශරීරයට අවශ්‍ය විටමින් අඩුවීම නිසාත් මෙසේ ඇඟිලිතුඩුවලින් පටන්ගන්නා හිරිවැටිම පැතිර යා හැකිය. බොහෝ කාලයක් පුරා පවතින අධික රුධිර පීඩනය, කොලෙස්ටරෝල් වැඩිවීම, දුම්බීම, මත් පැන් භාවිතය, ව්‍යායාම් අඩුවීම, තරබාරුව, එකම කාර්යයක කාලයක් පුරා නිරතවීම ආදී කටයුතු නිසාත් හිරිවැටීම් සිදුවිය හැකිය. විවිධ රෝගාබාධවල හේතු වෙනුවෙනුත් හිරිවැටීම් ඇතිවනවා. එබැවින් මෙයට ප්‍රතිකාර ලබා දිය යුතු වන්නේ රෝගියාගේ පෙර තත්ත්වය දැන ගැනීමෙන් පසුවය. එබැවින් ආයුර්වේද වෛද්‍යවරයකු වෙත ගොස් රෝගී තත්ත්වය පවසා ප්‍රතිකාර ලබා ගැනීම වඩාත්ම සුදුසු ය.

 

එල්.යූ.එඩ්වඩ් - නාගස්හන්දිය

ප්‍රශ්නය

වෛද්‍යතුමනි, මම වෙළෙඳ සැලක සේවය කරන හැට එක් හැවිරිදි ලිපිකරුවෙකි. මට රුධිර පීඩනය ඇති බව පරීක්ෂණයකින් දැන ගන්නට ලැබිණ. එය ආහාර මඟින් පාලනය කර ගත හැකි බව අප ආයතනයේ ප්‍රධානියා විසින් කියන ලදී.එබැවින් රුධිර පීඩනය අඩු කර ගැනීමට ගත යුතු ආහාර ගැන උපදෙසක් ඉල්ලා සිටිමි. රුධීර පීඩනය ආහාර මඟින් පාලනය කරගත හැකි බව සැබෑවකි. එහෙත් වෛද්‍යවරයකු ද හමුවී තවදුරටත් ප්‍රතිකාර ගැනීම නම් සුදුසුය. ගත යුතු ආහාර සුදුලූණු භාවිතය රුධිර පීඩනයට විශාල සහනයක් ලබාදෙයි. සුදුලූනු ව්‍යාංජනවලට එක්කරගන්න. සුදුලූනු බික් දෙක තුනක් කෑමත් සුවදායකය. කැකිරිත් ඉතා හොඳ ඖෂධයකි. පැණි කොමඩු, ඉදුණු කෙසෙල් ගෙඩි, වම්බටු, එළබටු, සුප්, නෙළුම් දඬු, ව්‍යාංජන මෙන්ම ඇපල් වැනි පලතුරුද වඩාත්ම ගුණදායකය.

 

ඩී.කේ. එස්. තෙන්නකෝන් - මිද්දෙණිය

ප්‍රශ්නය

වෛද්‍යතුමනි, මගේ තුන්වැනි දරුවා අට හැවිරිදි ගැහැනු ළමයෙකි. දැනට සතියක දෙකක පමණ කාලයක සිට කන බොන දේවල්වල රස දැනෙන්නේ නැහැ කියනවා. ඇස් රිදෙනවාලු, නළලේ එක් පැත්තක් රිදෙනවා කියනවා. එක එක අමාරු එක එක වේලාවල්වලටයි කියන්නේ. සෙම් ගතියකුත් තියෙන බව පෙනෙනවා. උදේ වරුවට උගුරේ බැරැන්ඩිගතියක් පවතිනවා. එබැවින් කළයුතු වෛද්‍ය උපදෙසක් හෝ ප්‍රතිකාරයක් සඳහන් කරන මෙන් ඉල්ලමි.

 

පිළිතුර -

පහළවී ඇති රෝග ලක්ෂණ අනුව නම් පීනස් රෝගයයි වැළඳී ඇත්තේ. පීනස් රෝග කොටස් කීපයක්ම තියෙනවා. ඔබේ දියණියට වැළඳී ඇත්තේ කුමන පීනසක් ද කියා නිගමනය කළ හැක්කේ රෝගියා පරීක්ෂා කිරීමෙන් රෝග නිධානය දැන ගැනීමෙන් පසුවයි. එබැවින් සුදුසු ආයුර්වේද වෛද්‍යවරයකු වෙත ගොස් ප්‍රතිකාර ලබා ගන්න.

 

ශාන්ත හේවගේ - ගල්තුඩේ

ප්‍රශ්නය

වෛද්‍යතුමනි, තිස් හතර හැවිරිදි මා සුළු වෙළෙඳ ව්‍යාපාරයක් පවත්වා එහි ම සේවය කරමින් සිටිනවා. සමහර දිනවලදී සවස්වරුවේ දී හිසරදයක් එනවා. තරමක කැරකැවිල්ලක්ද පවතිනවා. අතපය හිරි ගතියක්ද දැනෙනවා. ඇසකින් කඳුළු එනබවක් ද පෙනෙනවා. මෙවැනි තත්ත්වයක් ඇති වී විනාඩි කීපයකින් අඩුවී යනවා. ඉඳහිට ඇතිවන මේ තත්ත්වය නිසා ප්‍රතිකාරයක් ගත්තේ නැහැ. කරුණා කර කළයුතු ප්‍රතිකාරයක් ගැන සඳහන් කරන්නේ නම් උදව්වකි.

 

පිළිතුර -

ඔබ පමණක් නොවේ, බොහෝ දෙනකු තමන් අධි රුධිර පීඩනයෙන් පෙළෙන බව දන්නේ නැහැ. මේ නිසා අවසානයේ දී විශාල කරදරයකට පත්වෙනවා. හැකි ඉක්මනින් රුධිර පීඩනය ගැන දැන ගැනීමට පරීක්ෂණයක් කරවාගන්න. එහි ප්‍රතිපල අනුවයි ප්‍රතිකාර කළ යුත්තේ. එතෙක් ඔබ ආහාරයට ගන්නා කෑමවල ලුණු හැකිතාක් අඩු කර කන්න. කිරි බිත්තර, මස් වැනි කොලෙස්ටරෝල් වැඩි ආහාර කෑමෙන් වළකින්න. හැකි තරම් එළවළු හා පලතුරු ආහාරයට එකතු කර ගන්න. දුම්පානය කරන්නේ නම් එය නතර කිරීමට පියවර ගන්න. මත් පැන් පානය කිරීමද නතර කරන්න. සාමාන්‍ය වශයෙන්වත් ව්‍යායාම්වල යෙදෙන්න. ඒ සඳහා ප්‍රතිකාර දෙනු ලබන වෛද්‍යවරයා ඔබට උපදෙස් ලබාදෙනු ඇති.

 

ටියුලින් සිල්වා - හොරණ

ප්‍රශ්නය

වෛද්‍යතුමනි මගේ දියණියකගේ කුඩා දරුවන් දෙදෙනකුට එකවර සතියකට වරක් දෙවරක් සෙම්ප්‍රතිශ්‍යාව වැලඳෙනවා. දින දෙක තුනකින් සෙම්ප්‍රතිශ්‍යාව සුව වන අතර තවත් දින දෙකක් උණ පවතිනවා ඒ නිසා වෙදමහතාගෙන් දැනගන්ට කැමැතියි මෙය නිවුමෝනියාව සෑදීමට ප්‍රථම ඇතිවන රෝග ලක්ෂණද කියා.

 

පිළිතුර -

දරුවන් හුස්මගන්නා වේගයට වඩා වැඩි වේගයකින් හුස්මගැනීම දරුවන් හුස්ම ගැනීමට වෙහෙසීම හා හුස්ම ගැනීමට දරන වෑයම වැඩිවීම හුස්ම ගන්නා විට පපුවේ පහළකොටස තෙරපී ඇතුළට ඇදී පිටතට එන බව පෙනීම උදරය උස් පහත් වන අයුරු පෙනීම මේ රෝග ලක්ෂණ තිබෙන්නේ නම් ඉක්මණින්ම දරුවා වෛද්‍යවරයකුට පෙන්නා ප්‍රතිකාර ගත යුතුය. තත්ත්වය භයානක වේනම් රෝහල් ගත කිරීමට පවා සිදුවේ.

බී.ඇල්. පේ‍්‍රමරත්න

ආයුර්වේද වෛද්‍ය සුමිත් රාජපුර

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.