පාරම්පාරික වෙදකම කියා අමුතු දෙයක් නෑ

- ආයුර්වේද වෛද්‍ය ඩැනිස්ටර් පෙරේරා
ජුනි 7, 2024

 

ආයුර්වේදය හා පාරම්පරික වෙදකම අතර විශාල වෙනස්කම් ඇති බවට මතයක් ජනතාව තුළ පවතී. එහෙත් සැබැවින්ම මෙහි වෙනසක් තිබේද? අප ආයුර්වේද වෛද්‍ය ඩැනිස්ටර් පෙරේරාගෙන් විමසුවෙමු.

පාරම්පරික වෙදකම යන්න ඔබ අර්ථ දක්වන්නේ කොයි විදියටද?

මෙය අනිත් දේශීය වෛද්‍ය ක්‍රමවලින් වෙන් කරන දෙයක් නොවෙයි. එය වෙදකම උගන්වන ක්‍රමයක්. පාරම්පාරික යනුවෙන් හැඳීන්වෙන්නේ වෙදකම ආරක්ෂාවෙන ආකෘතියක්. එසේ නැතිව මෙය වෙනමම වෛද්‍ය ක්‍රමයකට කියන තවත් නමක් නෙවෙයි. මෙය වෙදකම උගන්වන ක්‍රමයක් ලෙස හැඳීන්වීම වඩා නිවැරැදියි.

ඒ අනුව ආයුර්වේදය යන්න අර්ථ දැක්වෙන්නේ කොයි විදියටද?

වෛද්‍ය ක්‍රමයකට දිය හැකි ඉතාම පුළුල්, පැහැදිළි සහ සාධාරණ නිර්වචනය තිබෙන්නේ ආයූර්වේදය තුළ. “ආයුෂය දීර්ඝ කරන විශිෂ්ට දැනුම” යන තේරුම සහිතව මිනිසුන්ගේ ජීවිතය සුඛායු, දුක්ඛායු, හිතායු, අහිතායු කියල ප්‍රභේද හතරකට බෙදෙනවා. ඒ සියුම් බෙදීම හරහා අපට තේරුම් ගන්න පුළුවන්, කෙනෙකුට තමන්ගේ ජීවිතය ගොඩනඟා ගන්න පුළුවන් හොඳම ආකෘතිය, සුඛායු, හිතායු, කියල. තමන්ට සුවය දෙන, අනුන්ට යහපත දෙන ජීවිතය යන්න තමයි එහි අන්තර්ගතය. ඒක තියෙන්නෙ ආයුර්වේද පත පොතේ යයි කියා ඒකට පයින් ගහන මිනිහා උපන් ගෙයි මෝඩයෙක්.

නමුත් පාරම්පරික වෙදකම ඉගෙන ගන්නා ශිෂ්‍යයන් ආයූර්වේද පොතපත කියවීම අනවශ්‍ය බව සමහර වෛද්‍යවරුන් කියා තිබෙනවා?

සමහරු ආයූර්වේදය ගැන හිතාගෙන ඉන්නේ එය ඉන්දියාවේ වෙදකමක් කියල. අයුර්වේදය යන්නෙහි අදහස “ආයුෂය හෙවත් ජීවිතය පිළිබඳ විද්‍යාව” යන්නයි. මේ වචනයේ“වේදය” යන්නෙන් ඉස්මතු වන්නේ විශිෂ්ට දැනුම යන අදහසයි. විද්‍යාව යන වචනයට වඩා වේදය යන වචනය පැරණියි. එම වචනයට හොඳ ශාස්ත්‍රීය සහ සාහිත්‍යමය පදනමක් තිබෙනවා. “වේදය” කියා තිබූ පමණින් එය ඉන්දියාවට අයිති වෙන්නේ නැහැ.

පාරම්පරිකව පැවත එන වෙදකම සඳහා නිශ්චිත අර්ථ කථනයක් නැතිද?

මුලින් ආයුර්වේදයත් පාරම්පරිකව තමයි පැවැතුණේ. එය මුලින්ම ආවේ ගුරු ශිෂ්‍ය පරම්පරාවෙන්. පසුව දෙමව්පිය දරු පරම්පරාවෙන් සහ ඥාති පරම්පරාවෙන් ගමන් කරමින් පැවතුණා.

පාරම්පරික වෙන්න නම් පරම්පරාව අඛණ්ඩව පැවතගෙන එන්න ඕනෑ. සීයා වෙද මහත්තයා වෙලා, තාත්තා තැපැල් මහත්තයා වෙලා සිටියදී, පුතා පුංචි කාලෙදීම සීයා මලා නම් ඒ පරම්පරාව එතැනින් ඉවරයි. අඩුගානෙ සීයාගෙන් ඉගෙන ගත් මාමා කෙනෙක් හරි බාප්පා කෙනෙක් හරි හිටිය නම් පුතාට ලොකු මහත් වෙලා වෙද පරම්පරාව ගෙනියන්න පුළුවන්. එසේ නැතිව සීයාගේ පුස්කොළ පොත් ටික ළඟ තියාගත් පමණින් පරම්පරාව ගෙනියන්න බැහැ.

අපේ දේශිය වෛද්‍ය ක්‍රමය තුළට ඉන්දියානු බලපෑමක්ද ඇති වී තිබෙන්නේ කොයි ආකාරයෙන්ද?

මීට අවුරුදු 8000කට එපිටින් වූ කාලයක් දක්වාම ලංකාව කියන්නේ ඉන්දියානු භූමියට බැඳුණු කොටසක්. ඒ අනුව අපි ඉන්දියානු ශිෂ්ටාචාරයේ බලපෑමෙන් නිදහස් වූ රටක් ලෙස පැවතුණේ නැහැ. ඉන්දියාවේ පමණක් නොවෙයි. දිවයිනක් වීමෙන් පසු ලෝකයේ බොහෝ රටවල සංස්කෘතින් අපේ චින්තන සම්ප්‍රදායට බලපෑවා. අපේ වෙදකමේ දී භාවිත වන දෙමළ, මළයාලම්, සංස්කෘත, තෙළිඟු වචන එයට එක් උදාහරණයක්. එහෙත් ඒවාට පමණක් නොවෙයි සන්නි, කෝල, වලිප්පු ආදියටවත් තවම සිංහල වචන හොයා ගන්න අපට බැරි වෙලා තියෙනවා.

ආයුර්වේදය ඉන්දියාවෙන් ආපු නිසා ඒ මූලධර්ම ඉගෙන ගෙනවැඩක් නැහැ කියල ශිෂ්‍යයන් නොමඟ යවන්න හොඳ නැහැ. ඒක අපි එකතුවෙලා යන්න ඕනෑ ගමනක් මිස ඇනකොටා ගන්න තියෙන හේතුවක් නොවෙයි.

අපේ වෙද පොත්වල තියෙනවා “ත්රිංශත් භිෂජාංගය” යනුවෙන් සඳහන් කොටසක්. එයින් කියවෙන්නේ අංග සම්පූර්ණ වෛද්‍යවරයකු විසින් දැනගත යුතු අංග 30 ක් ගැනයි. එය අධ්‍යයනය කළ නියම වෛද්‍යවරුන් ආයුර්වේදය ඉන්දියාවේ කියලා හිතුවෙ නැහැ.

රටේ ඒ ඒ පරම්පාරාවලට ආවේණික නොයෙක් ප්‍රතිකාර ක්‍රම ,බෙහෙත් වට්ටෝරු, චිකිත්සා විධි තියෙනවා. ඒවා සියල්ලම අවසානයේ පදනම් වෙන්නේ ආයුර්වේදයේ මූලධර්ම මත. එහෙත් ඒවායේ ප්‍රායෝගික බව රැඳීලා තියෙන්නේ කාලානුරූපව සහ දේශානුරූපව අනන්‍ය ලක්ෂණවලට අනුගත ආකෘති තුළ. මෙන්න මේ කාරණය නිවැරදිව අවබෝධකර ගන්න බැරිවුණු අය යූ ටියුබ් කතා ඇත්ත කියල හිතනවා.

වෛද්‍යවරුන්ගේ අත් ගුණය පිහිටන්නේ මොන හේතුන් මුල්කර ගනිමින්ද?

පාරම්පරික වෙදකම ඉගෙන ගත්ත, හොඳ ගුරු ඇසුරක් තිබ්බ වෙද මහත්තයෙක් දන්නවා කොහොමද තමන්ගේ කුසලතා, නිපුණතා, දැනුම සහ ආකල්ප වැඩි කරගන්න ඕනෑ කියලා. “පියුෂපාණී” කියන්නේ “අමෘත හස්තය” කියන එකයි. ඒ තමයි “අත් ගුණය” එය අපේ වෙදකමේ වැදගත්ම සංකල්පයක්.

වෙද මහත්මයෙකුට අත් ගුණය එන්නේ ඉබේටම නොවෙයි. තාත්තා සීයා වෙද මහත්තයෙක් වුණා කියල අත් ගුණය එන්නේ නැහැ. ඒක එන්නේ “සතතාභ්‍යයාසය” හෙවත් දිගින් දිගටම කර්මාභ්‍යාසයේ යෙදීමෙන්. දැන පුරුද්ද, දැක පුරුද්ද, කළ පුරුද්ද හා පළපුරුද්ද සම්පූර්ණ කළාට පස්සේ තමයි කෘතහස්ත කියන්නේ.

ඒ කාලයේ වෙදකම ඉගෙන ගන්න ශිෂ්‍යයා ගුරුවරයා සමීපයේ අවුරුදු 12 ක් පමණ ගත කළා. දැන් වගෙ සීයා මළාට පස්සේ පොත් ටික පෙන්නලා වෛද්‍යවරුන් වෙන්න තැත් කළේ නැහැ.

බ්‍රිතාන්‍යය පාලනය කළ මැල්කම් ආණ්ඩුකාරවරයා 1909 බ්‍රිතාන්‍ය යටත් විජිතභාර ලේකම්ට ලියුම්ක් යවනවා. “මේ රටේ අඩුම වශයෙන් හැම ගමකටම වෙදරාළ කෙනෙක් ඉන්නවා” කියල.

බුද්ධදාස රජතුමා සෑම ගම් 10 කටම එක වෛද්‍යවරයෙක් බැගින් පත් කරපු ජාතික සෞඛ්‍ය සැලසුම 20 වැනි සියවසේ මුල් භාගයේ වෙන තෙක්ම පැවතුණ බව එයින් පැහැදිලි වෙනවා. බ්‍රිතාන්‍ය පාලකයින් මේ රටේ බටහිර වෙදකම බෞතීස්ම කළේ ක්‍රිස්තියානි ආගමත් එක්ක. එසේ යටපත් වුණු ආයුර්වේද වෙදකම ගොඩගන්න තමයි දේශීය වෛද්‍යවරු “ආයුර්වේද” කියන ධජය යටතේ සංවිධානය වුණේ ඔවුන් එදා “ආයුර්වේදය” යන්නට ඉන්දියානු අනන්‍යතාවයක් දුන්නේ නෑ. ඔවුන් ආයුර්වේදයේ ශාස්ත්‍රීය පදනම මත ශක්තිමත් දේශීය වෙදකමක් ගොඩ නඟල ඒකට ජාතිය අනන්‍යතාවයක් ලබා දුන්නා.

සංස්කෘතික ශ්ලෝකවලින් ලියපු ආයුර්වේද පොතපොතේ තියෙන කරුණු සිංහල කවියෙන් ලිව්වා. දක්ෂ වෙදමහතුන් තමන්ගේ අත්දැකීම් එක් කරලා අපේම වෙදකමක් ලෝකෙට දායාද කළා. ඒක තමයි “ලංකායුර්වේදය’

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.