වයස 35ට වැඩිද? එහෙනම් කියවන්න

ජුනි 7, 2024

 

හෘදයාබාධයනට, ආඝාතයට විශේෂයෙන් ලක්වන කොලෙස්ටරෝල් රෝග ගණනාවකටම හේතුවන ප්‍රබල රෝගයකි. රුධිරගත මේදය, නහර ගත මේදය යනුවෙන් හඳුන්වනු ලබන කොලෙස්ටරෝල් රෝග ලක්ෂණ බොහොමයක් තම තමන්ට ද හඳුනාගත හැකිය.

වැඩක් කිරීමේ දී අධිකව දැනෙන වෙහෙස නැතහොත් මහන්සිය ඇඟපත වේදනාව අතේ පයේ හිරිගතිය, කටුවක් අනින්නාක් මෙන් දැනීම, තරප්පු පෙළක් හෝ උස් බිමක් නැගීමේ දී දැනෙන අපහසුතාවය, හති ගතිය, දණහිසේ වේදනාව, ඇස් වේදනාව, ශරීරගත වේදනාව, අධිරුධිර පීඩනය, නිදිමත ගතිය ආදී රෝග ලක්ෂණ දැක්වේ. දියවැඩියාව, කොලෙස්ටරෝල්, අධිරුධිර පීඩනය, හෘදය රෝග, අංශභාගය, ආඝාතය ආදී රෝග එකට සම්බන්ධ වූ රෝග ලෙස හැඳින්විය හැකිය.

පාන්වල සහ පිටිකෑමවල මේදය අධිකව පවතී. තෙලෙන් බදින ලද කට්ලස්, පැටිස්, රෝල්ස්වල මෙන්ම කැවිලිවලද කිරිවල සහ බිත්තරවලද මේදය අධිකව ඇත.

සංතෘප්ත මේදය සහ අසංතෘප්ත මේදය වශයෙන් මේදය සහිත ආහාර කොලෙස්ටරෝල් රෝගයට ප්‍රධාන වේ. සංතෘප්ත මේදය බහුල ආහාර වැඩි වශයෙන් ආහාරයට ගැනීම නිසා ශරීරයේ කොලෙස්ටරෝල් තත්ත්වය ඉහළ නැඟීමෙන් හෘදයේ ඇති ධමනි තුළ මේදය තට්ටු වශයෙන් තැන්පත් වී රුධිර ගමනාගමනය අපහසුවී හෘදයාබාධ හටගනී. එමෙන්ම මේදය කොලෙස්ටරෝල් මොළයේ තැන්පත්වීමෙන් අංශභාගය වැනි භයානක රෝග තත්ත්වයන්ට ද ලක්වීමටද හේතු වේ. ක්ලාන්තය, දාහය, පිපාසය, සිහි නැතිවීම, පපුවේ වේදනාව, බෙල්ලේ වේදනාව, උදරයේ වේදනාව, අධික ලෙස ඩාදිය දැමීම ආදී ලක්ෂණ පවතීනම්, රුධිර පරීක්ෂණයකට ලක්වීමෙන් රෝගී තත්ත්වය තේරුම්ගත හැකිය. එම රුධිර පරීක්ෂණය සඳහා පැය දාහතරක පමණ කාලයක් නිරාහාරව සිට පරීක්ෂණය කරවා ගත යුතුය.

සාමාන්‍යයෙන් වයස අවුරුදු තිස් පහකට වැඩි අය සෑම මාස හයකට වරක් හෝ අඩුම තරමින් වසරකට වරක් හෝ රුධිර පරීක්ෂණයක් කරවාගැනීම ශරීර සෞඛ්‍යයට සුවදායකය. විවිධ අහිතර ක්‍රියාකාරකම් නිසා ශරීරයේ ඉහළ යන කොලෙස්ටරෝල් මට්ටම අනුව ඇතිවන බලපෑම්වලින් මතුවන අපහසුතාවයන් ගැන බැලීමේ දී එල්.ඩී.එල් මට්ටම ඉහළ යෑමෙන් සිදුවන්නේ රුධිරය ගමන් කරන නාළවල බිත්ති අභ්‍යන්තරයෙන් කොලෙස්ටරෝල් බැඳීමයි. එය සිදුවන්නේ එක් වර නොව ටිකෙන් ටිකයි. එසේ එකතුවන කොලෙස්ටරෝල් නිසා මේ ධමනි බිත්ති මහත් වෙයි.

එසේ මහත්වීමෙන් ධමනි බිත්ති කුහරය පටුවීම නිසා රුධිරය පීඩනයද වැඩි වේ. මෙය අධීරුධිර පීඩනය නම්වේ. ධමනි බිත්ති කුහරවලින් රුධිරය ගමන් කරන විට රුධිරයේ පවතින ලේ කැටයක් නාළයක සිරවුවහොත් එය බොහෝ අවදානම් තත්ත්වයකට පත්වීමකි. එසේ යම් හෙයකින් ලේ කැටියක් සිරවීමෙන් සිදුවන්නේ රුධිරය සහපයන නාල සිරවීම නිසා අදාළ මාංශ පේශීන්ට හා ඉන්ද්‍රියන්ට රුධිරය සැපයීම අඩුවීමයි.

මේ නිසා එම ඉන්ද්‍රියවල ක්‍රියා කලාපයට බාධා සිදුවෙයි. ඉන් සිදුවන්නේ ඉන්ද්‍රියේ කටයුතු නතරවීමයි. මෙලෙස අක්‍රියවීමෙන් හෘදය වස්තුවට රුධිරය සපයන නාලයක් නම් ඇතිවන්නේ භයානක තත්ත්වයකි. එනම් හෘදයාබාධයක් ඇතිවීමයි. මෙලෙස රුධිරය සපයන නාළයක බාධාවක් ඇතිවුයේ මොළයට රුධිරය සපයන නාළයක් නම් මොළයේ සෛල අඩපණ වේ. ආඝාත තත්ත්වයක් පවා ඇතිවිය හැකිය. මේ නිසා කොලෙස්ටරෝල් තත්ත්වය, ඉහළයෑම ඉතා භයානකය. කොලෙස්ටරෝල් මට්ටම අඩුකරගතහොත් සැනසීමෙන් ජීවත්විය හැකිය. මේ සඳහා තම වගකීම අමතක නොකොට කටයුතු කළ යුතු ය. වයස අවුරුදු තිස්පහ පසුවීමත් සමඟ සියලුම සත්ත්ව ආහාර ගැනීම නතර කළ යුතුය. මස් මාළු ගැන සඳහන් කරන විට වඩාත්ම සුදුසු වන්නේ මාළු ආහාරයට ගැනීමයි. ඉන් වඩාත්ම සුදුසු වන්නේ හුරුල්ලා, සාලයා වැනි කුඩා මාළුය.

ඉස්සන්, පොකිරිස්සන් වැනි මාළු වර්ග ආහාරයට ගැනීමෙන් කොලෙස්ටරෝල් තත්ත්වය වර්ධනය වේ. කොලෙස්ටරෝල් සියයට හැටපහක පමණ ප්‍රමාණයක් ශරීරයේ වටිනා ඉන්ද්‍රියක්වන අක්මාව මඟින් නිපදවයි. ඉතිරි සියයට තිස්පහක පමණ ප්‍රමාණයක් ඇතිවන්නේ අප ගන්නා ආහාරවලිනි. එබැවින් ශරීරය තුළ කොපමණ ප්‍රමාණයක් කොලෙස්ටරෝල් ඇද්දැයි දැන ගැනීමට රුධිර පරීක්ෂණයක් කළ යුතුමය. නිරෝගී අයෙකුගේ එච්.ඩී.එල් අගය තිස් පහට වැඩි විය යුතු ය. රුධිර පරීක්ෂණයේදී එය කාණ්ඩ තුනකට පරීක්ෂා කෙරේ. ශරීරයට වඩා වැදගත් වන්නේ අධි ඝනත්ව වර්ග ලිතෝ ප්‍රෝටීන්ය. කොලෙස්ටරෝල් තත්ත්වය ඉහළ යෑම ඉතා භයානක තත්ත්වයකි. රුධිරයේ කොලෙස්ටරෝල් ඇතිවීම නිසා වැඩිහිටියන් වඩා සැලකිලිමත් විය යුතු ය. විශේෂයෙන් වයස තිහ හතළිහ වූ විට මස් වර්ග බිත්තර ආහාරයට ගැනීම ඉතා අඩුවෙන් කළ යුතුය.

මාළු ආහාරයට ගැනීමෙන් අහිතක් සිදු නොවේ. මස් අතරින් කුකුළු මස් එතරම් අගුණයක් නැත. මේද කොටස් වඩාත්ම ඇත්තේ මීකිරිවලය. මුදවාපු කිරි, යෝගට්, කේජු, බටර් යනාදිය මේදය වැඩියෙන් පවතී. බිත්තරවල මේදය ඇත්තේ කහමදයෙහිය. සුදු මදයේ එතරම් මේදය නොමැත. ප්‍රෝටීන් බහුලව ඇති බැවින් බිත්තර අධික ගුණයකින් යුක්ත වේ. තෙල් වර්ග යෙදූ ආහාරවලින් ද වැළකිය යුතුයි. පොල්තෙල් හා ෆාම්තෙල් එයට අයත්ය. මේ තෙල් සංතෘප්ත වේ. සංතෘප්ත තෙල් සීතලට මිදේ. එදිනෙදා පහසුවෙන් ලෙහෙසියටත් කෑමට ගන්නා පාන්වල සැළකිය යුතු ප්‍රමාණයක් මේදය ඇත. රසකාරක යොදන කෑම වර්ගවල මේදය අධිකය. කේක් සහ පුඩින්වලත් මේදය අධික වන්නේ ඒවාට බිත්තර, කිරි හා තෙල් එක්කොට ඇති බැවිනි. පලතුරු වර්ග සෑම එකක්ම අධික ගුණයෙන් යුක්තය. කෙඳි සහිත පලතුරු වඩාත්ම ගුණදායකය.

ආණමාළු කෙසෙල්වල මේදය අධිකව ඇත. මුං, කවුපි, සෝයා, පරිප්පු, මෑ, කඩල ඉතාම ගුණදායකය. පළා මැල්ලුම්, කොළ වර්ග ප්‍රබල ඖෂධයන් ය. කෝපි පානය නම් හෘදය වස්තුවට එතරම් ගුණ නැත. රුධිර පරීක්ෂණයක් කරවා කොලෙස්ටරෝල් ඇති බව සනාථ වී ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය.

ඒ අතර කරපිංචා කොළ කැඳ පානය කිරීම, කරපිංචා මැල්ලුමක් ආහාරයට ගැනීම, කොල්ලු තම්බා බීම, සත්ත්වතෙල් අඩංගු හරක් මස්, ඌරුමස්, එළුමස් ආහාරයට ගැනීම, තෙම්පරාදු කරන ලද ආහාර ගැනීම, ව්‍යායාම්වල නොයෙදීම, ශරීරය නොවෙහෙසන කටයුතුවල නිරතවීම ආදී කරුණු නිසාද මේදය ඉහළ යෑමක් සිදුවිය හැකිය.

අධික දුම්පානය, මානසික ආතතිය, අසහනය, සංතෘප්ත ආහාර වැඩියෙන් ගැනීමත් ජීවිතයට අහිතකරය. කැරට්, දඹල, තුඹ, ඇඹැරැල්ලා, අළු කෙසෙල් වැනි එළවළුත්, ගොටුකොළ, මුකුණු වැන්න, සාරණ, කතුරුමුරුංගා වැනි පලා වර්ගත් කුඩා මාළු වර්ගත්, පලතුරු වර්ගත් ආහාරයට ගැනීමෙන් නිරෝගිතාවය රැකගත හැකිය.

බත්තරමුල්ල පැළවත්ත

රාජපුර වෙද මැදුරේ

ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය

සුමිත් රාජපුර

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.