නිවෙසේ ලෙඩෙක් නැති දවසක්

ජූලි 12, 2024

මේ ගෙදරට පුදුම දෙයක්නේ වෙලා තියෙන්නේ. ලෙඩෙක් නැති දවසක් නැහැනේ තාත්තා වැඩට යනවා ගෙදරට එනවා. අම්මේ... දතක් රිදෙනව. දවල්ට කෑවෙත් නැහැ කියල ඇඳන් හිටපු ඇඳුම් පිටින්ම ඇඳේ හාන්සිවෙනව. අම්ම එනව ගෙට ගොඩවෙන්නෙ අද නම් මුකුත් කරන්න බැහැ උදේ හිටන්ම හිසේ කැක්කුම ඒ මදිවටම තුනටිය රිදෙනවා කියාගෙන.

පොඩි පුතා ඉස්කෝලෙ ගිහින් එන්නෙ ආච්චි අම්මෙ මට වමනෙ ගියා පන්තියේ. ටීච ඒව අස්කරා. දවල්ට මුකුත් කන්න බැහැ. ආයෙත් වමනෙ එයිද දන්නෙ නැහැ. ලොකු දුව පාසල ඇරී එනවා ඉස්කොලෙදී බඩේ ඇම්ම හැදුණා. තවම තියෙනව කියාගෙන. ලොකු පුතා පාසල ඇරිල ආවගමන්ම සපත්තු පිටින්ම හාන්සිවෙලා කියනව ආච්චි අම්මේ උදේ කෑම නැහැ. යාළුවෙක් පැණි වළලු ගෙනාව. මටත් දුන්න මම කෑව දැන් බඩරිදෙනව. ආච්චිඅම්ම වෙච්ච මට තරුණ කාලෙදි ඔය එක ලෙඩක්වත් තිබුණෙ නැහැ. වයසට ගියාට පස්සෙයි මේ තුනටියේ කැක්කුමයි, දණහිසේ වේදනාවයි ආවෙ. සීයට මොන ලෙඩක්වත් තිබුණෙ නැහැ. උන්දැට තියෙන එකම ලෙඩේ තමයි එකක් නෑර එකක් බුලත්විට කන එක.

සීයා ඒ කාලෙ උදේට උදැල්ල කරේ තියාගෙන කුඹුරට ගියාම එන්නේ රෑ හතට අටට විතර. එහෙම ඇවිල්ල ගෙටගොඩ වුණ හැටියෙම දෙන්න, ඉඟුරු කොත්තමල්ලි, වෙනිවැල්ගැට තම්බපු වතුර එකක්. ඒක බීල ටික වෙලාවක් ඉඳලයි බත් කන්නෙ කවරදාකවත් රා අරක්කු, කසිප්පු බීවෙ නැහැ. සීයා ආසම කෑම තමයි කැකුළු සහල් බතයි, පොල්සම්බෝලෙයි, මඤ්ඤොක්කා හරි, බතලයි, කොස් දෙල්වලටත් ආසයි. සීය ඔය තවම හොඳට ඉන්නෙ. ඒකට දැන් හැදෙන ළමයි. බැදුමක් සුවඳක් පැණි රසක් ඇත් නම් තමන්ගෙ සෞඛ්‍යය ගැන හිතන්නෙ නැහැ. ළමයින්ට හොඳ ද නරක ද කියල හිතන්නෙ නැහැ. කිඹුල්ලු මැටි ගිලිනව වගේ කා දමන්නයි බලන්නෙ.

අද ජීවත්වන තරුණ පරපුර ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයම පුදුමාකාර ආසාවක් දක්වනව කෑමට රසිය් වර්ග, කොත්තු වර්ග, තෝසෙවලට, පිට්ටු, ඉඳිආප්පවලට සම්බෝල සමඟ උලුඳු වඩේවලට නොයෙක් රසකාරක යෙදූ ආහාරවලට ඒවා විතරක් නොවෙයි සවස් කාලයේ දී දූ දරුවන් සමඟ අවට සිරි නරඹන්නන් යනව. ඒ යන ගමන් මාර්ග අසළ ඇති පෙට්ටිකඩවලින් රටකජු, බැදපු අල පෙති, පැණි වලලු , බැදපු පරිප්පු ඇට වගේ ම වඩේත් අරගෙන දරුවන්ටත් දිදී ඇවිදින්නත් යනවා. මහමඟ දී ඒවා කකා යන දරුවන් සමඟ ඊළඟට යන්නේ චයිනිස් කෑම අලෙවිහල්වලටයි. ශරීරයට ගුණද, අගුණද කියා නොසිතා දරුවන් සමඟ රසකාරක යෙදූ තෙල්අධික ආහාරවලින් සප්පායම්ව ගෙදර එන්නේ නිදිමතෙන් සිටින දරුවන්ට ද බැණුම් දෙමින්. ආහාරවලද රසයට මුල්තැනදෙමින් දිව පිනවීමට උත්සාහ කරන වත්මන් පරපුර එයි විඳවන්නේ දින කීපයක් ගත වූ පසුවයි. අධික ලෙස රසකාරක තෙල් යෙදූ ආහාර සමහරවිට විෂ විය හැකියි. ඉන් නොයෙකුත් රෝගාබාධ හටගත හැකියි. එම කඩකෑම ගැනීමෙන් වන හානිය ගැනීමට පෙර සිතා බැලිය යුතු යි.

සිරුරට විස සහිත ආහාර ගැනීම නිසා ශරීර අභ්‍යන්තරයේ ඇති ඉන්ද්‍රියයන්ට හානි සිදුවිය හැකිය. මෙය ඉතා භයානක තත්ත්වයකි. තෙල් හා ප්‍රෝටීන් සහිත ආහාර වැඩිපුර ආහාරයට ගැනීමෙන් අක්මාව ඉතා ඉක්මනින් ලෙඩ වීමට පුළුවන්. ඒ සඳහා වයස් භේදයක් බලපාන්නේ නැහැ. අක්මාවේ තෙල් තට්ටු තැන්පත් වීම රෝගී වීමට එක් හේතුවක්. මෙයට ප්‍රධානතම සාධකය ශරීරයට ව්‍යායාම නොමැතිවීමයි. දවසකට විනාඩි හතළිස්පහක් පමණ ඇවිද යා යුතුයි. මෙසේ ඇවිදීමෙන් අක්මාවේ ඇති මේදය දහනය වෙයි. ඇවිදීම ඉතාමත්ම හොඳ ව්‍යායාමයකි. නිරෝගීතාවයට එක් හේතුවක් වන්නේ ඇවිදීමයි. ඇවිදිය යුත්තේ ශරීරයට දැඩිව දහඩිය දමන ලෙසයි. ශරීරගත ශක්තිය ගබඩා වී ඇත්තේ අක්මාවේ යි. යම් හෙයකින් කන බොන දෙයින් ශරීරයට ආහාර මඟින් විසක් ඇතුළුවුවහොත් අනෙක් අවයව කරා විෂ යා නොදී ශරීරය ආරක්ෂා කරන්නේ අක්මාවයි. ඒ නිසා අක්මාව ශරීරයට අත්‍යවශ්‍යයම ඉන්ද්‍රියක්. එබැවින් අක්මාව රැක ගැනීම අත්‍යවශ්‍යයයි.

අක්මාව ආශි‍්‍රත රෝග බහුලවීමට හේතුව අක්මාවේ තෙල් තැන්පත් වීම අධික ලෙස මද්‍යසාර බීම හා වැරැදි ජීවන රටාව ආදී කරුණු නිසයි. මිනිස් සිරුරේ විශාලතම ඉන්ද්‍රිය වශයෙන් සැලකෙන අක්මාව බරින්ද වැඩියි.

සිරුර ලෙඩකරන තවත් කෑමකි පාන් සහ පාන් පිටිවලින් සාදනු ලබන කෑම. ලෙහෙසියටත් පහසුවටත් වැඩිහිටියන් දරුවන්ට පාන් කෑමටත් පාන් පිටිවලින් සාදන් ලබන රෝල්ස්, පැටිස්, ඉඳිආප්ප, රොටි, පිට්ටු ඇතුළු පාන් පිටි තෙල් අඩංගු රස කැවිලිත් ලබාදීමට උනන්දුවෙනවා. පාන්වල අඩංගු පිෂ්ඨය ආහාර ජීර්ණ පද්ධතියේ දී ඉක්මනින් ග්ලුකෝස් බවට පත්වේ. මේ නිසා රුධිරයේ අඩංගු සීනි මට්ටම ඉහළ යයි. එය රෝගී රැසකම හේතුවකි. පාන් කෑමෙන් පසු වතුර පානය කළවිට කුස පිරුණු බවක් ක්ෂණිකව ඇතිවන්නේ පාන්වල ඇති සීනිවල බලපෑමෙනි.

දරුවන් වගේම වැඩිහිටි කොයිකවුරුත් බෙහෙවින් කෑමට පි‍්‍රය කරන මහත් ළැදිකමක් දක්වන තවත් ආහාරයක් ක්ෂණික ආහාර. ක්ෂණික ආහාර අවශ්‍ය ප්‍රමාණයට පෝෂ්‍ය පදාර්ථ නොලැබෙන ශරීරයට අහිතකර සංඝටක බහුලව ඇති ආහාරයකි. ඒ ආහාර අතර ඇති පේස්ට්‍රිස්, රෝල්ස්, ඩෝනට් වැනි ආහාරවල තෙල්, ලුණු, සීනි අධිකව ඇති අතර විටමින් ඛනිජ ලවන හා කෙඳි අඩුය. ඒ නිසා ක්ෂණික ආහාරවලින් ලැබෙන්නේ අසමතුලිත පෝෂණයකි. මේ නිසා සිදුවන්නේ සිරුරේ බර වැඩිවීමත් විවිධ රෝග තත්ත්වයන්ට ගොදුරුවීමත් ය. තෙල් ලුණු සීනි කෘත්‍රිම රසකාරක සිරුරට අහිතකරය. මේ ආහාර පාන නිසා දරුවන්ට ඇතිවන රෝගාබාධ බොහෝ ය. යකඩ, කැල්සියම්, සින්ක්, අයිඩින් වැනි ඛනිජ ලවන හා විටමින් ඒ ඌනතාවය නිසා ළමා වයසේ පසුවන්නන්ගේ මොළයේ වර්ධනය පවා හීන කරන අතර අධ්‍යාපන කටයුතු පවා අඩාල විය හැකියි. වැඩිහිටියන් මෙන්ම දරුවන් ලෙඩ වෙන්නේ නොසැලකිලිමත්කම නිසයි. සමහර දෙමාපියන් පාසල් යන වයසේ කුඩා දරුවන් ද වැඩිමහල් දරුවන්ද නාවන්නේ සවස හයට රාත්‍රී හතට අටට පමණය. සෙම්ප්‍රතිශ්‍යාව වැලඳුනාම ගණන් නොගෙන සිටියි. නැතහොත් නැවතත් නාවයි.

යෞවන යෞවනියන් වගේම සමහර වැඩිහිටියන්ද වේලාවක් අවේලාවක් නොබලා ස්නානය කරයි. අධික සීතල ආහාර පාන කෑමට බීමට ගනී. වැඩිහිටියන්ගේ අවවාද ද නොපිළිගනී. ඔවුන් පීනසෙන්, සෙම්රෝගවලින් හා සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝගවලින් මහත් සේ පීඩා විඳිවි. මෙවැනි හිතුවක්කාරකම් නිසා සිදුවන්නේ කුමක් ද දරුවන් වගේම වැඩිහිටියන් ද රෝගී වී හැමදාමත් පීඩාවට පත්වීමයි. නිවසේ ලෙඩෙක් නැති දවසක් නොමැතිවීමයි.

 

බත්තරමුල්ල රාජපුර වෙද මැදුරේ

ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය

සුමිත් රාජපුර

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.