දෑස රකින ඔසු

ජුනි 14, 2024

සියලු සත්ත්වයින් හට ස්වභාවධර්මයෙන් පිහිටියා වූ නේත්‍ර සඟල ලෝකයේ පවතින සෑම දෙයක්ම දැකීමට උපකාරී වන්නේය. අතීතයේ සිට පැවැත එන සංකල්පනා අනුව ගත හොත් මහා බ්‍රහ්මයා විසින් පළමුව ලෝකය මවා පසුව වෘක්ෂලතා, ගංගා, පාෂාණ වර්ග, වාළුකා (වැලි) ඛනිජ සම්පත් මවාලන ලදි. ඉන් පසුකාලීනව ප්‍රජාව (මනුෂ්‍යයන්) සහ සත්ත්වයන් මවන ලදී.

එලෙස ප්‍රජාව පසුව මවන්නට සරිලන සාධාරණ හේතුවක් තිබෙන බව අප හට සිතා ගැනීමට සිදු වේ. සත්ත්ව ශරීරයක් නිර්මාණය වන පරිදි ඔවුනොවුන් හට යම් වශයෙන් ඇතිවන ආබාධිත තත්ත්වයන් හමුවේ එම රෝගයන්වලට අනුකූලව ඖෂධවල පිහිට පැතීමට සිදුවනු ඇත. එනම් සත්ත්ව ශරීර සහ ඖෂධවල ඇතුළත් වන පරිදි ඒවායේ ඇති සංඝටකවල පවතින පංච මහා භූතාත්මක ශරීර ඖෂධවල ආපෝ, තේජෝ, වායෝ, පඨවි, ආකාශ නිසාවෙන් එම ගුණ පවතින ඔසු යෙදීමෙන් පංච මහා භූත ශරීරවලට ඒ හා සමාන ඔසු යෙදිය යුතු වේ.

එබැවින් නේත්‍ර රෝග සඳහා ගනු ලබන ඖෂධ රාශියක් තිබේ. ඒවායේ අඩංගු ගුණාත්මකභාවය නිසා අක්ෂි රෝග මර්දනය කිරීමේ හැකියාව පුළුල් ලෙස පැතිරී යාමට පුළුවන. පුරාණාචාර ඍෂීන් ප්‍රකාශ කළ අන්දමට අක්ෂි රෝග 320ක් තිබේ. එහෙත් වර්තමාන කාලයේ දිවයින පුරා පැතිරී ගිය කොරෝනා, ඩෙංගු, මී උණ ආදී වසංගත රෝග නිසා ඇතිවන තත්ත්වය ගැන විමර්ශනය කරද්දී එම විෂබීජ අංශු තුළත් අක්ෂි රෝග පමණක් නොව පුරුෂයින්ගේ ලිංගික අප්‍රාණිකත්වය සහ ශාරීරික අප්‍රාණී තත්ත්වයද පැකිළීමකින් තොරව කිව හැකි වේ. ඒ සෑම රෝගයකටම අත්හදා බැලීමකින් යුතුව ඖෂධ ප්‍රතිකාර යෙදිය හැකි බව ප්‍රකාශ කළ හැකිය.

අක්ෂි රෝගීන් සමබන්ධ විමසීමේ දී හිසරදය ඇස් තුළ උල්වලින් අනින්නාක් බඳු වේදනාව, දෑස්වලින් කඳුළු ගැලීම, දෑස් කෙවීම ආදී රෝග ලක්ෂණ පහළ වේ. මෙවැනි ආබාධයන් ඇති වූ විට ඒ සඳහා ඔසු සංයෝගවලට ගනු ලබන ඖෂධයන් ගැන විමර්ශනය කිරීමේ දී ප්‍රථමයෙන් තිපල නොහොත් අරළු, බුළු, නෙල්ලි ප්‍රධාන වශයෙන් ගත හැකිය.

එමෙන්ම දේශීය ඖෂධ වර්ග යොදන විට අප පරිසරයෙහි හටගන්නා ඔසු බොහෝ වර්ග ඇත. එනම්, දුම්මෑල්ල, නික, කලාඳුරු අල, සුදු හඳුන්, රත් හඳුන්, මානෙල් අල, නෙළුම් දඬු, අති විඩයන්, ඉඟිණි ඇට, වෙනිවැල්ගැට, කොහොඹ, දොඹ, සියඹලා, දෙළුම්, පොල්පලා, අබ, තල, කොට්ටපොල්, බෙහෙත් අනෝදා, කහ, අරං කහ, මුරුංගා, මී පැණි, මව්කිරි, එළකිරි, එළු කිරි, ඔලිඳ, මංචාඩි, වැල්මදට, දඬුවැල් බෑ පැණි, තල තෙල්, එළඟි තෙල මෙන්ම මහ පස්මුල් ලෙස ගත්විට, බෙලිමුල්, පළොල් මුල්, මිදි මුල්, තොටිල මුල්, ඇත් දෙමට මුල් ගනු ලබයි.

අක්ෂි රෝග සඳහා විශේෂයෙන් යොදා ගනු ලබන ඖෂධ -

අරළු - වර්ග සතකි

ජීවන්තී - මෙම වර්ගය රත් පැහැයෙන් සුදිලේ. මේ අරළු කසට රසයෙන් යුක්ත වේ. මධුර හා ලවණ රසින්ද යුතු වේ. දීපනයද පැසවීමද අතිශයින් වයස්ගත ස්ථාපනයද කෙරේ. ලඝුද මේදයටද හිත වේ. ආයුෂ වැඩි වීමක්ද බුද්ධිය දීමද හිත වේ. චක්ෂු ආදී (ඇසට) ඉන්ද්‍රියන්ට ගුණ දේ. කුෂ්ඨ ද නපුරු ශබ්ද ද පරණ උණ හා විෂම උණ ද ශීර්ෂ රෝග ද පාණ්ඩු රෝග, ළයෙහි රෝගද, කාමලා ග්‍රහණි, ඉදිමුම් සහිත ශ්වාස රෝගද අතීසාර, ප්‍රමේහ, මුළා වීම (මෝහය) නැඟීම්ද කෘමීන්ද දුරු කරනු ඇත.

ස්වාශ කාශ ප්‍රතිශ්‍යා උණ පීලං, ආනාග, භගන්ධර ශ්‍රොතසුන් බැදීම, ගුල්ම ස්තම්භ මුත්‍ර ස්තම්භ අරුචි, වාතයෙන් සෙමෙන් එන රෝග දුරු කරයි. ප්‍රබෝධවත් කරනු ඇත. භුකත මාත්‍රයේ අනුභව කරන ලද අරළු පසිඳුරන් පොබ කරයි. වා, පිත්, සෙම් හකුළුවයි. මුත්‍ර මලාශ ශුද්ධ කරයි.

විජයා - මේ වර්ගයට අයත් අරළු වටකුරු වේ.

දාර පහක් ඇති අරළු අභයා නම් වේ.

අමෘතා නම් අරළු බොහෝ මස් ඇත.

පුතනා නම් අරළු ඇටය මහත් වේ. මස් ස්වල්පව ඇත්තේ ය.

කාලිකා රේඛා තුනක් ඇති අරළු වර්ගයකි.

සියලු තෛල පාකයට ජීවන්තිද ක්ෂය රෝගයට රෝහිණීද වාජීකරණයට විජයන්තීද ප්‍රශස්ත වේ.

ආලේපයට පුතනාද විරේකයට අමෘතාද නේත්‍ර රෝගයට අභයා ද සුගන්ධ යෙදීමට කාලිකාද යනුවෙන් අරළු වර්ග ප්‍රභේදමත් යුතු වේ.

අරළු මනුෂ්‍යයින්ට මවක් මෙන් හිතකර වේ. මව කිසි කලෙක කිපුණා වුවත් කුක්ෂිගත වූ අරළු කිසි කලෙක නො කිපෙයි.

බුළු -

මල බිඳියි උෂ්ණද තියුණුද වෙයි. ඇසට හිතයි. පැසීමෙහි මධුර ද වෙයි. කසට ද වෙයි. සෙම්, පිත්, ස්වර භේද, පණුවන් නසනු ලැබේ.

නෙල්ලි-

විශේෂයෙන් ධාතු පෝෂණය කරනු ලැබේ. ශීත බැවින් වීර්යයද ඇඹුල් ද වේ. වාත නාශකද මිහිරි ද වේ. ශීත වීර්යය යුත් හෙයින් පිත් නැසීමද කසට හා රළු බව නිසා සෙම නැසීමද මේ ඵලයන් ගෙන් අධික ගුණ ඇති නිසා ආහාර අනුභව කාලයෙහි පසස්නා වේ. එනම්, පෙරද මැදද පසුවද එම පසස්නාවද වන්නේය. නොකඩවා දෝෂ පහ කරන්නේ වෙයි.

නෙල්ලි ඵලය සියලු දෝෂයන් ජය ගනී. නේත්‍රයට හිතය. ඇඹුල් හෙයින් වාතයද මධුර බව නිසා පිතද ක්ෂාය රූක්ෂ බැවින් කඵයද දුරු කෙරෙයි. ඵලයන් අතර උතුම් යයි කියන ලදි.

නෙල්ලි අරළු හා සම වේ. විශේෂයෙන් රත්පිත හා ප්‍රමේහ රෝග නසන්නේය. ධාතු පෝෂණය අතිශයින් කරනු ලැබේ. රසායනය වේ. ඇඹුල් බව නිසා වාතය නැසීමද මධුර බව හා ශීත බව නිසා පිත නැසීමද රළු කහට බව නිසා සෙම් නැසීමද කෙරේ. වා, පිත්, සෙම් යන තුන් දොස් දිනනු ලැබේ. නෙල්ලි සඳහා යෙදෙන පසැඹුල, පංචාම්ල පර්යාය වේ.

එමෙන්ම ඉන්දියාවේ හිමාල අඩවියෙන් සොයාගත හැකි මහඟු ඖෂධයක් වන කස්තුරි නමැති ඖෂධය කස්තුරි මුවන්ගෙන් ලබා ගන්නා ඖෂධයකි. හිමාල වනයේ සැරිසරන මේ සතුන්ගේ ශරීරයෙන් මනා සුවඳක් වහනය වන බව සැල වේ. මේ ඔසු එම මුවන්ගේ නාභියෙහි තැන්පත්ව තිබෙනු ඇත. එනම් ඔවුන්ගේ ශුක්‍ර ධාතුව ලාටු සේ තැන්පත් වූ පසු එය රැඳී ඇති තැන කැසීමට පටන් ගනු ඇත. එම ක්‍රියාව හේතුවෙන් ඔවුන් එම ශරීරස්ථානය ගල්වල ඇතිල්ලීමක් සිදු කරනු ලැබේ.

එම ක්‍රියාවෙන් පසුව ඒවා පිඬක් ලෙස එම ස්ථානවල වැටී පවතිනු ඇත. මේ කස්තුරි ලබා ගන්නට පැමිණෙන වෙළෙන්දුන් මෙම අහිංසක සත්ත්වයින් ජීවිතක්ෂයට පත්කර වැඩියෙන් කස්තුරි ලබා ගැනීමට උත්සුක වේ. එනමුත් එසේ ජීවිතක්ෂයට පත් කරන මුවන්ගෙන් එකී ඖෂධ ලබා ගැනීමට නොහැකි බව දන්වනු කැමැත්තෙමි. මෙසේ දක්වන ලද සෑම ඔසුවක්ම අක්ෂි රෝග සඳහා යොදා ගනු ලැබේ.

 

පාරම්පරික අක්ෂි රෝග විශේෂඥ

සුසිලා නාලිනී ගොඩලියද්ද

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.