අලුත උපන් බිලිඳාට වැලඳෙන රතගාය

සැප්තැම්බර් 15, 2023

 

අලුත උපන් දරුවන්ට රෝගාබාධ වැලඳීමට මූලික හේතුවක් වන්නේ මවගේ නොසැලකිලිමත් භාවයයි. දරුවා නීරෝගීව රැක ගැනීමට නම් මව කෑමෙන් බීමෙන් පරිස්සම් වනවා වගේම සෞඛ්‍යාරක්ෂිතව පිරිසුදුව සිටීමටත් වග බලා ගත යුතුයි. මේ දරුවාට වැලඳී ඇත්තේ රතගායයි. රතගාය කෞමාර හෘත්‍යය (හෘත්‍යය) හෙවත් බාලරෝග විශේෂයෙන් ප්‍රධාන රෝගයක් ලෙස හඳුන්වා තිබෙනවා.

මේ රතගාය විශේෂයෙන් වැලඳෙන්නේ සියුමැලි බිළිදුන්ටයි. උපතේ පටන් වැලඳෙන මේ රෝගය සමත් රක්තයත් ඇසුරු කරගෙනයි වැලඳෙන්නේ. සාමාන්‍යයෙන් රතගාය වැලදීමට ප්‍රධාන හේතු සාධක කීපයක්ම තිබෙන්නේ යැයි වෙදනෝනා කියා සිටියාය.

වෙද නෝනාට එසේ කීමට සිදුවූයේ රමණීගේ දරුවාගේ ඇඟ පුරා පලු කීපයක් මතුවී ඇඟ රතුවී තිබීම නිසා දරුවාට බෙහෙත් ගැනීමට වෙද මෝනා ළඟට ආ අවස්ථාවේදීය.

රමණී - පෙරේදා දරුවා නිදාගත්නෙ නැතිව හොඳටම ඇඬුවා. පස්සේ අපේ අම්මා ඇවිල්ල දරුවා නළවලා නිදි කෙරෙව්වා. පෙරේදා ඉඳලා මේ වන තුරුම මළපහ කෙරුවෙත් නැහැ. අද උදේ දරුවා අඬන කොට දරුවා වඩාගත් නංගි තමයි කීවේ දරුවගේ ඇඟ රස්නෙ වෙලා ඇඟත් රතුපාට වෙලා කියල. ඒ ගමන අම්ම දරුවා අරගෙන බලල තමයි කිවුවේ ඇගේ පලු දමල කියල ඒකයි දරුවා අරගෙන නෝනට පෙන්නන්න ආවේ.

වෙද නෝනා - මේ අම්ම දරුවා ගැන සොයා බලනව බොහොම අඩුයි වගේ.

රමණීගේ අම්මා - ඒක නම් ඇත්තයි නෝනා මේ දරුවට සත්කාර කරන්නෙ මමයි, මෙයාගේ නංගියි. මෙයාට ගණනක්වත් නැහැ.

වෙදනෝනා - සාමාන්‍යයෙන් රතගාය වැලදීමට ප්‍රධාන හේතු කාරණා කීපයක්ම තියෙනවා. දරුවා මව්කුස සිටින අවස්ථාවේදී හා කිරිදෙන අවස්ථාවේදී මව විසින් ගන්නා ලද උෂ්ණාධික අම්ලකර හා විසම ආහාර හේතුවෙන් උෂ්ණාධික ආහාර, අච්චාරු වර්ග, අන්නාසි, දෙහි, බිලින්, මී කිරි, ඌරුමස් ආදිය ගැනීම එකක්. ගැබ තුළ සිටින කාලයේදී මෙන්ම ප්‍රසූතියෙන් පසු හය මසකට නොඅඩු කාලයක් ගත වන තුරුත් දරුවාගේ ශාරිරික වර්ධනය සඳහා අධික ප්‍රමාණයෙන් රුධිරය අවශ්‍ය වෙනවා. එය සම්පූර්ණයෙන් ලැබිය යුත්තේ මවගෙන්.

එබැවින් නොගැබිනි කාලයට වඩා මේ කාලය තුළදී ලේ වඩන ආහාර අවශ්‍ය බැවින් සමහර ගැබිනි මවුවරු ප්‍රමාණය ඉක්මවා ලේ වඩන ආහාර ගැනීම හේතුවෙන් රක්ත වෘද්ධියට ගොදුරු වෙනවා. රතගාය යන ළමා රෝගය හටගනු ලබන්නේ ලේ දූෂ්‍ය ආහාර මව ගැනීමේ හේතුවෙන්. විශේෂයෙන් ගර්භණී සමයේදි හා දරුවාට කිරි දෙන කාලයේ දී මවගේ බාහිර පිරිසිදුකම වගේම මානසික පිරිසුදු බවත් වැදගත් වනවා.

රමණී - වෙදනෝනා මස්මාංශවලින් වැලකී එළවළුවලට පමණක් යොමුවීමෙන් කිරිදෙන විට අඩුවක් ඇති වෙන්නෙ නැද්ද?

වෙදනෝනා - මවගේ ලෙයින් පෝෂණය වන බිලිඳාට මවට ඇතිවන රක්ත දූෂණයේ බලපෑමෙන් රතගාය ඇති වෙනවා. එමෙන්ම මව්කිරි දෙන කාලය තුළදී ලේ හා පිත දූෂණය වන ආහාර ගැනීමෙන්ද මවුකිරි බොන දරුවාට මවගේ රක්ත දූෂණය ඇතිවීමෙන්ද රතගාය ඇතිවෙනවා. එළකිරි බීම, වැඩිපුර පළා වර්ග ආහාරයට ගැනීම, දිනපතා ඉදුණු ගස්ලබු ආහාරයට ගැනීම, ස්නානය කිරීම, අව්වේ ගමන් නොයෑම ආදිය පිළිබඳව සැලකිලිමත්ව කටයුතු කරන්නේ නම් දරුවා රතගායෙන් වළක්වා ගත හැකියි.

අධික ලෙස කුළුබඩු යෙදූ එළවළු වර්ග ඉඟුරු, අධික තෙල් සහිත ආහාර වර්ග, ඉස්සන්, බලමාළු, හුරුල්ලන්, දෙල්, විනාකිරි යෙදු ආහාර වර්ගද කෑමෙන් වැළකිය යුතුයි. කල්තබා ගැනීමට සකස් කරන ලද ආහාර හා පාන වර්ග නොගත යුතුයි. ගර්භණී සමයේදී මෙන්ම දරුවාට කිරිදෙන සමයේදී දැඩි කෝපයෙන් ඊර්ෂ්‍යාවෙන් අධික කල්පනාවෙන් හා නොසන්සුන්තාවයෙන් නොසිටිය යුතුයි.

රමණීගේ අම්මා – වෙද නෝනාට කියන්න පසුගිය සතියෙ දූට හෙම්බිරිස්සාව හැදිල බෙහෙත් ගත්ත. ඊට පස්සෙ වම් කකුලෙ දණහිසින් පහළ කුෂ්ඨයක් වගේ ආව ඒක ඉබේටම නැතිව ගියා.

රමණි - නෑ අම්මේ බෙහෙත් තෙල් වගයක් තිබිල ගෑව. ඒකෙන් පස්සෙ කුෂ්ඨ ගතිය සුව වුණා.

 

රෝග ලක්ෂණ

වෙද නෝනා - මවට ඇතිවන කුෂ්ඨ රෝග තත්ත්වයන් නිසාත් දරුවාට මේ රෝගය වැලඳීමට බොහෝ සෙයින් ඉඩ තිබෙනවා. මීට අමතරව රතගායේ මූලික ලක්ෂණ වශයෙන් දරුවාගේ සම රතු පැහැ ගැන්වී පලු මතුවීම එසේ මතුවන පලු ළදරුවා යේ ඉකිලි ,බෙල්ල, මුහුණ, තට්ටම, පපුව ආදි ප්‍රදේශවලද ඇතිවෙනවා. මේ ලක්ෂණ බාහිර වශයෙන් ඇතිවන අතර මළබද්ධය, මුත්‍රා ස්වල්පය බැගින් පිට වීම සාමාන්‍යයෙන් වැළදෙන උණගතිය මෙහි අභ්‍යන්තර රෝග ලක්ෂණ ලෙස මතුවෙනවා. එම රෝග ලක්ෂණ කීපය ගැන දැනුවත් සිටීමත් වැදගත් වෙනවා.

 

රත කල්කය

රමණී – වෙදනෝනා දරුවට රත කල්කය දෙන්න ඕන නෝනා කියු විදියට පලු මතු වුණාට පස්සෙද?

වෙදනෝනා – නැහැ. නැහැ. අතීතයේ මව්වරුන් ළදරුවන්ට මෙවැනි රෝග ලක්ෂණ මතුවුවත් නැතත් දරුවා ඉපදී සති ගණනක් ගිය පසු රත කල්කය දීමට පියවර ගත්තා. රතකල්කය දීමෙන් බොහෝ රෝග පීඩාවලින් දරුවා ආරක්ෂා වන අතරම දරුවාගේ ප්‍රතිශක්තිකරණයද වැඩිවෙනවා. සාමාන්‍යයෙන් රතගාය කොටස් කීපයකින්ම සමන්විත වෙනවා. ඒ අනුව රතවලිප්පුව, ලේ රත, දුවන පනින රතය, මෙය ඇතිවන්නේ සමේ පලු වශයෙන්. මේ රතය ඇල්ලූ විට නැතිව ගොස් නැවත මතු වෙනවා. ගල් රත කුඩා බිබිලි මෙන් හටගන්නවා. එකට එක ගැලී සාමානයෙන් දහඩිය දමන ස්ථානවලින් මතු වෙනවා. පණූු රත මෙහිදී ලේ කෝප ගතිය වැඩිවන අතර අතපයෙහි පලු මතුවෙනවා. රත වලිප්පුව හටගනු ලබන්නේ දෝෂාකෝපය සමඟ උණ හට ගැනීමෙන්.

දරුවාට ලේ දූෂ්‍ය වීම නිසා ඇතිවන රක්තජ රෝගවලින් බේරාගැනීම සඳහා ප්‍රතිශෝධනයක් ලෙසත් උණ ශ්වසන හා ව්‍යුහගත රෝග සහ ඇතැම් සමේ රෝග සඳහා ප්‍රතිකාරයක් ලෙසත් රතකල්කය දීමෙන් සුවය ලබාගත හැකියි. කෙසේ වෙතත් රතගායෙන් පීඩාවිඳින දරුවකු ඇතොත් වෛද්‍යවරුයකුට පෙන්වා ප්‍රතිකාර ගැනීම සුදුසුයි.

 

මොනරාගල සිරිගල

ආයුර්වේද වෛද්‍ය

මැණික් නේරංජනා හෙට්ටිආරච්චි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 15 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.