ඔබටත් බඩේ ගෑස්ද?

සැප්තැම්බර් 22, 2023

සිනහ මුසු මුහුණින් කඩිසර ගතියෙන් කාර්යාලය තුළට ඇතුළු වන ගයත්‍රී එදින ආවේ වේදනාකාරී තත්ත්වයකින් බව ඇයගේ මිතුරියන්ට තේරුම් ගියේ ඇගේ හැසිරීම අනුවය. “ඒයි ගයත්‍රී මොකද වුණේ”. කියමින් ගයත්‍රීගේ මේසය ළඟට ගියේ නිර්මලා හා නිසංසලාය.

ගයත්‍රී “උඹලා සිනාවෙන්න එපා මගේ බඩේ ගෑස්. ඊයේ රෑටත් කෑවේ නැහැ. පුදුම වේදනාවක් එනව ඉවසන්න බැරි තරමේ”

මුකුත් බෙහෙතක් ගත්තේ නැද්දැයි කියා ඇසුවේ නිසංසලාය. ගයත්‍රී කළා බං ගොඩ වෙදකම් ඒත් අඩු වුණේ නැහැ.

අපි මැඩම්ට කියා වෙදමහත්තයාගෙන් බෙහෙත් ටිකක් ගන්න යමුයි කියා යෝජනා කළේ නිර්මාලාය.

මේ කතාවට සවන්දීගෙන සිටි පියුමාල් එදෙසට ආවේ ගයත්‍රී මම ගෙදර ගිහිල්ල ඉක්මනට එන්නම් කියමිනි. ගෙදර යන්නෙ ඇයි කියා පුදුමයෙන් නිර්මලා ඇසීය.

පියුමාල් - අම්ම කීව ගෙදර ගෑස් ඉවරවෙලා කියල මම ගෑස් ටැංකිය අරන් එන්නම් ගයත්‍රීගෙන් ගෑස් ගන්නයි කීය. එයට එහි සිටි සියල්ලටම හිනාගිය අතර වේදනාවෙන් සිටි ගයත්‍රී ද සිනහ වුයේ වේදනාව ද අමතක කරමිනි. නිර්මලා ආ හරි ගයත්‍රී ආයෙත් බඩේ ගෑස් එන්න ඉස්සරවෙලා අපි යමු බෙහෙත් ගත්න. මැඩම් කිවුව ගන්න කියලා.

ඒ අනුව ගයත්‍රී සමඟ නිර්මලා වෙදමහතාගෙන් බෙහෙත් ගැනීම සඳහා ගියා ය.

ඉදිරියට ගිය ගයත්‍රීගේ අත අල්ලා නාඩී බැලූ වෙද මහතා ගැස්ට්‍රයිටිස් නේද කියා විමසිලිමත්ව ඇසුවේය. ගයත්‍රී ඔව් වෙදමහත්තයෝ ඉවසන්න බැරි වෙදනාවක් එනවා බඩේ ගෑස්.

වෙද මහතා, මොනවද තියෙන රෝග ලක්ෂණ ගයත්‍රී - බඩ රිදෙනවා. වරින් වර උගුරට එනවා, බඩගින්න දැනෙනවා මොනව හරි කෑවමත් බඩ දැවෙනවා, රාම තෙල් එනවා, ඇඹුල් රසයකුත් දැනෙනවා, උගුරත් රිදෙනවා වරින් වර ඔක්කාරෙටත් එනවා. මුළු ඇඟම තෙහෙට්ටු ගතියෙන් තියෙනවා කවුරු හරි කතා කරනවටවත් මම කැමති නැහැ.

වෙද මහතා - ගැස්ට්‍රයිටිස් හැදුණම අමාරු තමයි. ගන්නා ලද ආහාර නිසි ලෙස නොදිරවීම නිසා බඩ පුරවා දැමීමත් වන අතරම උදේ කාලයේදී කහ පාටට වමනය යෑමත් එක්කම තද හිසරදයකුත් ඇතිවෙනවා. එමෙන්ම ආමාශයේ තුවාල හටගනු ලබන අතර පපුවේ වේදනාවද ඇතිවෙනවා. ඒ අම්ලපිත්ත රෝගයෙන් හටගැනෙන රෝග කීපයකි. ගැස්ට්‍රයිටිස් අම්ලපිත්ත රෝගය ආමාශය ඇසුරු කරගෙන ඇතිවන ප්‍රධාන රෝගයක්. එය ආහාර ගැනීමේ දී හා අජීර්ණ ක්‍රියාවලියේ වෙනස්වීම හේතු කොට ඇතිවන රෝගයක්. රෝගය හටගෙන කල්ගතවීමත් සමඟම අන්තශ්‍රෝතය හෙවත් ගලනාළයත් ආමාශය යන ඉන්ද්‍රියන් පීඩාවට පත් වේ. දේශීය පාරම්පරික වෛද්‍යවරු අමාශයික ඇඹුල්කාරම් ලෙසින් හඳුන්වන අම්ලපිත්ත රෝගය ආයුර්වේදයෙහි අම්ලපිත්ත නමින් හැඳින්වේ. පිත නරක්වීම නිසා ඇඹුල් බවට පත්වන පිත්තය අම්ලපිත්ත නම් වනවා.

ගයත්‍රී - වෙදමහත්තයො බඩේ ගෑස් ඇති වෙන්නෙ කොහොමද? අපේ ඔෆිස් එකට එන හුඟ දෙනකුට අම්ලපිත්ත රෝගය තියෙනවා.

 

රෝගය ඇතිවීම

වෙදමහතා - නිසි වේලාවට ආහාර නොගැනීම අවශ්‍ය තරම් ජලය පානය නොකිරීම, පාන් පිටිවලින් සාදන ලද කෑම වර්ග නිතර නිතර ආහාරයට ගැනීම, මානසික ආතතිය, මත්පැන් පානය, සමහර ඖෂධ දිගු කාලයක් ගැනීම, ලුණු සහ මිරිස් අධිකව යෙදූ ආහාර ගැනීම, ඇඹුල් අධික ආහාර පාන ගැනීම, කෘත්‍රිම හා ක්ෂණික ආහාර පාන ගැනීම, තෙල් අධික ආහාර පාන ගැනීම ද රෝගයට හේතු වේ. ගැස්ට්‍රයිටිස් රෝගය ඇති වූ විට පෙන්නුම් කරන ප්‍රධානතම රෝග ලක්ෂණය වන්නේ ආහාර උගුරට ඒමයි. එසේ සිදුවන්නේ ආමාශයත් ගලනාළයත් අතර පවතින කපාට ලිහිල් වූ විටය. එම කපාටය තිබෙන්නේ ආහාර ඉහළට ඒම වැළැක්වීමටය. ආමාශය තුළ වැඩිදුර ඇසිඩ් ශ්‍රාවයවීම, චොක්ලට් වර්ග, මේද අධික ආහාර වැඩිපුර ගැනීමෙන් ගලනාළය සහ ආමාශය අතර තිබෙන කපාටය ලිහිල් වේ.

ග්‍රහණිය අම්ලපිත්ත රෝගයේ දී ග්‍රහණිය ආශි‍්‍රත වන රෝග තත්ත්වයේදී ආහාරගත් පසු වේදනාව අඩුවේ. ග්‍රහණියේ තුවාල ඇති රෝගීන් අනවශ්‍ය ලෙස ආහාර ගැනීම නිසා ඔවුන්ගේ ශරීරය ස්ථුල වේ. මෙවැනි ලක්ෂණ පෙන්නුම් කිරීමේ දී ද රෝගය හඳුනා ගත හැකියි.

මෙම රෝගය ඇති වූ විට බොහෝ සෙයින් කායිකව මෙන්ම මානසිකව ද මහත්සේ පීඩාවට පත්වේ. වර්තමාන සමාජයේ කාර්යබහුලත්වය නිසා ආහාර පානාදිය පවා නිසි පරිදි නිසිවේලාවට ගැනීමක් සිදු නොවේ. නිදි වර්ජිතව භාවය ඕනෑවට වඩා ව්‍යායාම්වල යෙදීම හා ව්‍යායාම්වල නොයෙදීම අවිවේකීත්වය නිසාම පිපාසය දරා සිටීම, බිය, සැක, ක්‍රෝධය, වෛරය, ඊර්ෂ්‍යාව ආදී සිත් ද වන්නාවූ සිතිවිලිවල නිරතවීම රෝගය බැරෑරුම් වීමට හේතුවකි. එබැවින් දූෂ්‍ය වූ සිතින් තොරව භාවනාවක නිරත වීම අතිශයින් වැදගත් වේ.

 

පිළිවෙත්

අම්ලපිත්ත රෝගය ඇති අය හිස්බඩට ඇල්වතුර බීම මෙන්ම කැකිරි මෝරු, යෝගට් මෙන්ම බෙලිගැට තැම්බූ වතුර බෙලිමල් මී පැණි සමඟ ආහාරයට ගැනීම, බෙලිදියකර මී පැණි දමා බීම, බෙලි දළු පවනේ වියළා කුඩුකර සීනි සමඟ හිස්බඩට බීම, පැණි දොඩම් ඉස්ම මී පැණි සමඟ බීම, කුරුම්බා, තැඹිලි වතුර ලොඳ සමඟ දවසට දෙතුන්වරක් බීම, වැටකෙයියා බඩ කැඳ සාදා පානය කිරීම, උදේ හිස් බඩට බීම, හීං උඳුපියලිය කැඳ පානය කිරීම, කීකිරිඳිය ඉස්ම එළකිරි සමඟ මිශ්‍රකොට උදේ, සවස බීම, නෙල්ලි යුෂ මී පැණි සමඟ මේස හැඳි හතරක් දමා බීම, හාතාවාරිය කුඩු මී පැණි සමඟ ගැනීම කරපිංචා කොළ කැඳ, අළුකෙසෙල් මුව, මැල්ලුම දිනපතා ගන්නේ නම් වඩාත්ම ගුණදායකය.

සැවැන්න මුල්, බෙලිමුල්, පත්පාඩගම් සමව ගෙන වියළා කුඩුකර උණු වතුරින් දියකර උක් සකුරු සමඟ බීමත් වඩාත්ම ගුණදායකය. අමු ඉඟුරු ඉස්ම මේස හැන්දකට මී පැණි මේස හැඳි හතරක් දමා දිවා රෑ ආහාරයට පෙර ගැනීමත් ගුණදායක බව ආයුර්වේදය පෙන්වාදී ඇත.

 

ආහාර වර්ගවලින් වැළකීම

අම්ලපිත්ත රෝගයෙන් පෙළෙන රෝගීන් ආම්ලික ස්වභාවය අධික අන්නාසි අච්චාරු, තක්කාලි වැනි ආහාරවලින් වැළකී සිටීම වැදගත්ය. සමහරුන්ට ඉස්සන්, කකුළුවන්, දැල්ලන් අසාත්මික වේ. ගන්නා ආහාර හොඳින් විකා ගිලීමත් පලතුරු කෑම මෙන්ම නිතර ජලය පානය කිරීමත් රෝගය වළක්වාගැනීමට හේතුවකි. එබැවින් කොතෙක් අවිවේකී වුවත් වේලාවට කෑම බීම ගැනීම මෙන්ම ක්ෂණික ආහාර පාන ගැනීමෙන් වැළකීමත් ගුණදායකය.

 

බත්තරමුල්ල, පැලවත්ත

රාජපුර වෙද මැදුරේ

ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය

සුමිත් රාජපුර

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 15 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.