තෙල් බැදුම්, ලුණු හා අධික උෂ්ණාධික ආහාර වැඩිපුර ගැනීමෙන් ඇතිවන අර්ශස්

සැප්තැම්බර් 1, 2023

කායික මෙන්ම දැඩි මානසික වේදනාවක් ගෙන දෙන අර්ශස් රෝගය ආයුර්වේදයේ හඳුන්වා ඇත්තේ අර්ෂ යනුවෙනි. මෙම රෝගය මාරාන්තික රෝගයක් නුවූවත් රෝගය වැලඳුණු විට ප්‍රතිකාර නොගෙන සිටීමෙන් රෝගය උත්සන්න වී දරාගත නොහැකි වේදනාවකින් විඩාවට පත්වේ. නැතහොත් මලබද්ධය ඇති වූ විට ද එය නොසලකා සිටීමෙන් ඉන් වෙනත් රෝගාබාධ ඇතිවීමට හේතුවේ.

වෘත්තීය වශයෙන් ද අර්ශස් ඇතිවීමට බොහෝ හේතු බලපායි. එක තැන හිඳගෙන කරනු ලබන රැකියාවත් හිටගෙන කලක් තිස්සේ කරන රැකියාවත් මෙයට තදින්ම බලපානු ඇත. මෙවැනි තත්ත්වයකට හුරුවීම නිසා ශ්‍රෝණි ගුහාවේ රක්තාව පීඩනයට පත් වේ. තවද වාතයේ ප්‍රබලත්වය ද සෙම් සම්ප්‍රතිශ්‍යාවද ඇතිවීම නිසාත් ශ්ලේෂ්මකව අර්ශස් ඇතිවේ. ආයුර්වේදයේ පෙන්වා දීම අනුව ගුදය ස්ථර තුනකින් යුක්ත වේ. බාහිරයේ සිට අභ්‍යන්තරයට පිළිවෙළින් සිවුවරණ විහර්ජනී සහ ප්‍රවාහිනී යනුවෙන් නම් කර ඇත. මෙම ගුදමලය ආශි‍්‍රතව පවතින්නා වූ නෙරායාම අර්ශස් වශයෙන් ද නම් කර ඇත. අර්ශස් රෝගය කාටත් වැලඳෙන රෝගයක් වශයෙන් ගණන් නොගෙන සිටියත් ආයුර්වේදයේ එම රෝගය හඳුන්වන්නේ මහා රෝගයක් හැටියටයි.

 

මාධව නිදානය

 

අර්ශස්වලට නිසි ප්‍රතිකාර නොකළහොත් එය අසනීප තත්ත්වයට පත්වීම නිතැතින්ම සිදුවේ. ආයුර්වේදයේ රෝගාබාධවලට හේතු දක්වන ඉපැරැණි ආයුර්වේද ග්‍රන්ථයක් වන මාධව නිදානය අර්ශස් රෝගී තත්ත්වය මෙසේ දක්වා ඇත.

‘අරිවන් ප්‍රාණවත් ගෘණානී - හීනස්ති ඉති අර්ශඞ සතුරෙකු මෙන් පණ කෙළෙසුණුයේ අර්ශස් නම්වේ. ආයුර්වේදයේම තවත් පුරාණ ග්‍රන්ථයක් වන චරක සංහිතාව අර්ශස් රෝගී තත්ත්වය විස්තර කර ඇත්තේ මෙසේ ය.

තස්මාදර්ශං සිදාංඛාති - බහු ව්‍යාධිකාරංච

සර්වදේශෝථකාජීනී - ප්‍රයංකෘච්ජතමානිචඞ

අර්ශස් යනු දුක ගෙන දෙන්නකි. ඉන් බොහෝ ලෙඩ ගෙන දෙයි. පියලග පෙළෙයි. එම සේ දුකසේ සුවකළ හැකිය. මාධව නිධානයට අනුව විවිධ මත විෂමතා නම් කරගෙන අර්ශස් රෝගය වර්ග කර ඇත. එනම් බාහිර අභ්‍යන්තරව හා අර්ශස් සාව්හා වියළි අර්ශස් සහජ හා ජන්මාන්තර අර්ශස්, වාතජ පිත්තජ කඵජ වාතරක්තජ ත්‍රිදෝෂයද සහ සහජ අර්ශස් යනුවෙනි. අර්ශස් ඇති වීමට හේතු වර්තමාන සමාජය අනුව නම් දීර්ඝ කාලීනව පවතින මලබද්ධ වෘත්තීමය තත්ත්වය අන්නාමාන්ද්‍ය බඩගිනි මද බව අනිසි ආහාර සේවනය අති මෛථුනය ශරීර නොවෙහෙසවීම අධික මත්පැන් පානය ගුද ශිරාවන්හි තෙරපීම, උදරගත වේදනා තත්ත්වය පුරුද්දක් වශයෙන් එකතැන වාඩි වී කරන රැකියාවෙන් ද වැඩි වේලාවක් ජලයේ රැඳී සිටිමින් කරන රැකියාවන් නිසාද වැලිගොඩ දැමීම ආදී රැකියා නිසාද බෙහෙවින් අර්ශස් රෝගී තත්ත්වයට ගොදුරු වේ.

සමහර අයට අධික ශීතල බවක් වීම නිසා ද ගුද ශිරාවන් හැකිළීම නිසාත් රෝගය වැලඳේ. එමෙන්ම දුර ගමන් බිමන්වල නිතර යෙදෙන්නන්ට පවතී. ප්‍රවාහනයේ දිනපතා බස්රිය, දුම්රියවල රැකියාව සඳහා යන එන අයට ද අර්ශස් රෝගී තත්ත්වයට බෙහෙවින් මුහුණදීමට සිදුවේ. මේ කාරණය සමඟින්ම බඩගිනි මද බවද රෝගයට හේතුවකි. එදිනෙදා ගන්නා ආහාර නොපැසවා ගුද මාර්ගයට පිවිසීම නිසාද මළ එකතු වේ. එම මළ මළ පීඩනය නිසා තෙරපීමක්ද සිදුවේ. මේ තත්ත්වය නිසා අතීසාර ග්‍රහණි තත්ත්වයක් ඇතිවේ. ගනු ලබන ආහාරවල තත්ත්වයද අර්ශස්වලට තවත් හේතුවෙකි.

 

අර්ශස් වර්ග

මේ නිසා ඇතිවන උදරගත රෝග තත්ත්වයන් ද අර්ශස්වලට හේතුවකි. මේ තත්ත්වයන් නිසා සෞඛ්‍යයට හිතකර ආහාර ගැනීමෙන් නිරෝගීතාවය රැකගත හැකිය. ආහාර එකිනෙකට නොගැළපීම හා ආහාර නොදිරවීම රෝග රැසකටම හේතුවකි. වාතය, පිත සහ කඵ හෙවත් සෙම් දෝෂය විකෘති වීමට බලපාන වෙනත් ආහාරමය කරුණු ද අර්ශස්වලට හේතුකාරක වේ. අර්ශස් ආරයට යා හැකි අතර, ආයුර්වේදය ඒ ගැන දක්වා ඇත්තේ සහජ රෝග වශයෙනි. පිත අධික ආහාර ගැනීමේදී පිත් අර්ශසය ද සෙම අධික ආහාර ගැනීමේදී කඵජ අර්ශසය ද වැලඳේ. මෙතුන් අර්ශස්වල සංයෝගය නිසා ඇතිවනු ලබන්නේ සන්නිපාතජ අර්ශස්ය. අර්ශස් හටගැනීමෙන් පසු ලේ පිට කරනු ලබන්නේ රක්තජ අර්ශස් ඇතිවීමෙනි. ලේ පිට නොකොට පවතින අර්ශස් වන්නේ වියළි අර්ශස්ය. වියළි අර්ශස්වලදී මූලික වන්නේ උෂ්ණතීක්ෂණ ආහාර ගැනීමේ ප්‍රතිඵලයකි.

 

ප්‍රතිකාර ක්‍රම

සහජයෙන් ද අර්ශස් හටගැනීමට බොහෝදුරට ඉඩ ඇත. මේ සියලු අර්ශස්වලින් වැළකීමට නම් බඩ වේළීමේ තත්ත්වය පාලනය කරගත යුතුය. කොළ පලා වර්ග, එළවළු හා අලුත් පලතුරු වැඩි වැඩියෙන් ආහාරයට ගත යුතුය. වැඩි වේලාවක් වැසිකිළියේ රැඳී සිටීම හා මලපහ කිරීම වේගවත් කිරීම (තැටමීම) නොකළ යුතු ය. අර්ශස්වලදී කිරි මෝරු හා ගිතෙල් ආදිය ආහාරයට එක්කර ගැනීම සුවදායකය. කොහිල අල ඉතාම ගුණදායකය. කොහිල අලවල ඇති කෙඳි ගතියට අර්ශස් ගෙඩි අඩුරීමේ ශක්තියක් පවතී. අර්ශස්වලදී මළපිට කිරීමට නොහැකිව සිටින්නේ නම් තම්බා ගත් සියඹලා කොළ ඉස්ම පතයි, ගොකටු කිරි කලඳයි ගෙන කළ දෙනු අරළු, කලඳයි, සුදුලූනු කලඳයි වතුර අට එකට සිඳ පෙරා පානය කිරීම ගුණයි. පෙරුම්කායම් කලඳක් ද, සවිඳ ලුණු තුණු කළලක් ද දැත්ත නව කලඳක්ද, වදකහ දෙකලක් ද, තිරස්තවාළු අටකලඳක් ද ගෙන මේවා වියළා චූර්ණකොට උණු වතුරෙන් පානය කිරීම ගුණවේ.

මින් බඩේ හටගන්නා වායු අර්ශස් අජීර්ණ නසාලයි. කෝමාරිකා යුෂට කිතුල් හකුරු දමා උදේ සවස බීමත් සුවදායකය. කෑම අරුචිය ඇතිවිට රතු ලූනු, සුදු ලූනු, අමුමිරිස්, දියලුණු, ගම්මිරිස් අවශ්‍ය ප්‍රමාණයට ගෙන කරපිංචා කොළ ටිකක් කබලේ බැද සියල්ල දෙහි ඇඹුලෙන් අඹරා බත් සමඟ කෑමට ගැනීම ඉතාම ගුණය. බඩ වියළි ඇත්නම් මළබද්ධයට ඉදුණු අඹ, ගස්ලබු, බෙලි හා තල ආහාරයට එක්කර ගැනීම ගුණදායකය. ඉදුණු හෝ අමු බෙලි තම්බා පානය කිරීමත් සුදුසු ය. අරළු, රත්නෙටොල්, සිද්ධිගුරු යන මේවා කෂාය කර චූර්ණ කර හෝ දෙනු ගුණවේ.

 

එළවළු

උෂ්ණාධික ආහාරපාන නොගත යුතුය. පතෝල, වැටකොළු, තලනබටු, අළුකෙසල්, බෝංචි, කොහිල, ඇඹරැල්ලා, පොළොස්, කංකුං, පිපිඤ්ඤා, දියලබු, කුඩා මාළු, කෙසෙල්, සාරණ, කතුරුමුරුංගා, ගොටුකොළ ආහාරයට ගත යුතු ය. බේත් අනෝදා කොළ කැඳ, කොහිල අල කැඳ, ගොටුකොළ, කරපිංචා කැඳ ද වඩාත්ම ගුණදායකය. අධික වේදනා තත්ත්වයකදී තරමක් රස්නය ඇති වතුරට ලුණු ටිකක් දමා දියකර ලොකු භාජනයකට දමා ගුදය පෙඟෙන සේ වාඩිවී සිටීමට කටයුතු කිරීමෙන් වේදනාව අඩුවේ. කෙසේ වෙතත් මෙම රෝගී තත්ත්වය දුක්ඛිත තත්ත්වයක් ගෙනදෙන බැවින් වෛද්‍යවරයකු වෙත ගොස් ප්‍රතිකාර ගැනීම වඩාත්ම සුදුසු ය.

මොනරාගල සිරිගල

ආයුර්වේද වෛද්‍ය

මැණික් නේරංජනා හෙට්ටිආරච්චි

 

සටහන - එස්.එස්.එස්. ප්‍රනාන්දු

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.