වර්ෂ 2024 ක්වූ December 13 වැනිදා Friday
රක්තවාතය හඳුනාගනිමු
රක්තවාතය හෙවත් වාත රක්තය කියන්නේ ගැහැනු පිරිමි බාල මහලු බේදයකින් තොරව අද බොහෝ දෙනකුට තිබෙන බෝ නොවන ගණයේ රෝගී තත්වයක්. නමුත් මෙහි සැබෑ තත්ත්වය ගැන වැඩි දෙනෙකුට වැටහීමක් නම් නැහැ.
රක්තවාතය පිළිබඳව පොඩි හැඳීන්වීමක් කළොත් ?
ශරීරය තුළ හට ගන්නා විවිධ හේතු නිසා රුධිර නාළ තුළ පිරී තිබෙන රුධිරය දූෂණය වීමෙන් ඇතිවන, කුෂ්ඨ රෝගය හා සමානකම් පෙන්වන රෝගී තත්ත්වයක් රක්තවාතය ලෙස හඳුන්වනු ලබයි.
ඒ විතරක් නොවෙයි වර්තමානයේ බහුතරයකට තිබෙන ප්‍රබල ගැටලුවක් තමයි විලුඹ හා යටි පතුල පැලීම් හා ඉරි තැළීම් වැනි තත්ත්වයන්. ඊට හේතු වන්නේද මේ රක්තවාත තත්ත්වයමයි. මෙවැනි රෝගී තත්ත්වයක් වර්ධනය වීම තුළින් ඇවිදීමට පවා අපහසු විය හැකියි.
රක්තවාතය හා කුෂ්ඨ රෝගය වෙනස්කර හඳුනා ගන්නේ කෙසේද?
කුෂ්ඨ රෝගයේදී හම ආශි‍්‍රත තුවාලවලදී රෝගියාට කැසීමක් ඇතිවන අතර රක්තවාතයේදී තුවාල ආශි‍්‍රතව දැවිල්ලක් ඇතිවේ. කුෂ්ඨ රෝගය ශරීරයේ ඕනෑම ස්ථානයක ඇතිවිය හැකියි. රක්තවාතය බොහෝවිට ඇතිවන්නේ දණහිසෙන් පහළ කොටසේය.
රක්තවාතයේ ලක්ෂණ මොනවාද ?
පාදවල දණහිසට පහළ ප්‍රදේශයේ හම රතුවී, ඉදිමී, වේදනාකාරී රතු පැහැති තුවාල ඇතිවීම ප්‍රධාන වශයෙන් දැකිය හැකියි.
පාදයේ විලුඹ ආශි‍්‍රත හම ගැලවී යාම, එවැනි ස්ථාන කැසීම, විලුඹ බිම තැබීමට හෝ විලුඹ අතින් ඇල්ලීමටවත් නොහැකි වේදනාවක් ඇතිවිය හැකියි.
මෙම රෝග තත්වය සඳහා බලපාන හේතු මොනවාද?
විශේෂයෙන්ම ආහාර රටාවේ වැරැදි මේ තත්ත්වයට හේතුවේ. තෙල් සහිත ආහාර පාන හා ඇඹුල් සහිත ආහාර ගැනීම, මිරිස් අධික ආහාර නිතර ගැනීම, විශේෂයෙන් අඹ, අච්චාරු, බල මාළු, ඉස්සෝ, දැල්ලෝ, කකුළුවෝ, තක්කාලි, මද්‍යසාර, තිරිඟු පිටි නිෂ්පාදන හා කෘතී‍්‍රම රසකාරක වර්ග යෙදූ ආහාර නිතර ආහාරයට ගැනීම නොසුදුසුයි.
ඒ වගේම පිළුණු වූ ආහාර, දිරවීමට අපහසු ආහාර නිතර ගැනීම, රස කැවිලි, හකුරු, උක්පැණි, මී කිරි, මෝරු වගේ දේවල් වැඩිපුර කෑම බීමත් එතරම් සුදුසු නැත.
පුද්ගලයින්ගේ චර්යා රටාවත් මේ සඳහා බොහෝ සේ බලපානවා. දහවල් කාලයේ වැඩිපුර නිදා ගැනීමට හුරුවීමත්, කෑම කෑ ගමන් නිදා ගැනීමත්, නිතර ක්‍රෝධ සිතුවිලිවලින් පෙළීම හා පාරම්පරික හේතුත් රක්තවාත තත්ත්වය ඇතිවීමට බලපාන හේතු අතර වේ.
මේ රෝග තත්ත්වය ඇතිවීමට පෙර පෙන්නුම් කරන ලක්ෂණ තියෙනවද ?
ආහාර දිරවීම පමා වෙනවා නම්, මල මුත්‍රා පිටවීමට අපහසුතා ඇති වෙනවා නම් හා ඒවා හොඳීන් පිටවී යන්නෙ නැති නම් සහ ශරීරයට අධික විඩාබර ගතියක් දැනෙනවා නම් මේ රෝග තත්ත්වය ඇති වෙන්න බොහෝ ඉඩකඩ ඇත. ඒ වගේම මුත්‍රා පිට කළාම එය තද රතු පැහැයක් ගනී නම් ඒ පිළිබඳවද සැලකිලිමත් විය යුතුයි.
මේ තත්ත්වය වළක්වාගන්නේ කෙසේද ?
කකුල් පැලීම හා තුවාල ඇතිවීම පාදවල අලංකාරය සඳහා බාධාවක්. පාදයේ පැලුණු ස්ථානවල කුණු දුවිලි රැඳීම නිසා අප්‍රසන්න පෙනුමක් දිස් වීම මඟින් දැඩි අපහසුතාවයකට පත් විය හැකියි. කාන්තාවන්ට නම් නව විලාසිතා පාවහන් පැලඳීමටද හැකියාවක් ඇති වෙන්නේ නෑ.
පාදය හරිහැටි බිම තබා ඇවිදීමට නොහැකි වීම ස්වභාවික ගමන් ලාලිත්‍යයටත් ප්‍රබල ගැටලුවක් මෙන්ම පෞරුෂත්වයටද හානියක්. මෙවැනි තත්ත්වයකදී මානසික ආතතිය වර්ධනය වීමට ඇති ඉඩකඩද බහුල විය හැකියි.
මෙවැනි තත්ත්වයක් ඇති වෙන්නේ රුධිරය දුෂණය වීමේ තත්ත්වයක් මත නිසා එය තව දුරටත් වර්ධනය වීමට ඉඩ නොතැබීමත් පාලනය කිරීමත් කළ යුතුයි.
ඒ සඳහා ආයුර්වේද ක්‍රමයට නම් ලේ පිරිසුදු කිරීම තමයි මුලින්ම සිදු කරන්නේ. ඒ සඳහා නෙල්ලි, රසකිඳ, බැබිල තම්බා බීම, අස්වැන්න, පොල්පලා තම්බා බීම ඉතා ගුණයි. ඒ වගේම බාහිර ප්‍රතිකාර සමඟ විරේචන කර්ම, වස්ති කර්ම හෝ වමන කර්ම සිදු කරනු ලබයි.
මේ රෝගීන්ට නිතර නීරමුල්ලිය, සාරණ, දියහබරල දලු, තම්පලා, කිරි අඟුන, තෝර වැනි පළා වර්ගත් කැකිරි, පිපිඤ්ඤ, අළුකෙහෙල්, වැටකොලු, පතෝල, කරවිල, දියලබු, තුඹ, තිබ්බටු, නෙලුම් අල වැනි ස්වාභාවික එළවළු වර්ග හා ලේ පිරිසිදු කරන මුත්‍රාකාරක එළවළු, පලතුරුද ගුණදායකයි.
මෙම රෝගීන් විශේෂයෙන් ජලය ආශි‍්‍රත ස්ථානවල ගැවසීමෙන් වැළකිය යුතු අතර අධික ලෙස ඇවිදීම, කෘත්‍රිම ආහාර ගැනීමෙන් වැළකී සිටිය යුතුයි. හොඳින් ජලය පානය සිදුකළ යුතු අතර සෞඛ්‍යය සම්පන්න ආහාර පමණක් ලබාගත යුතුයි.
මෙවැනි රෝගී තත්ත්වයන් ඇතිවු විගසම ප්‍රතිකාර සඳහා යොමු වීම ඉතාමත් වැදගත්. කෙසේ නමුත් රජයේ ආයුර්වේද රෝහලකට පැමිණියහොත් හොත් මේ තත්ත්වයට නිසි ප්‍රතිකාර ගැනීම ඉතා පහසුයි.
එච්. ඒ. මධුශානි ප්‍රසංගිකා
හෙද නිලධාරිනී
ජාතික ආයුර්වේද රෝහල
කොළඹ