හිතට වද දෙන පීනස

ජුනි 23, 2023

ආ පුංචි මහත්තයා අරුමැක්කෙම මේ පැත්තට ආවෙ.

ඔව් වෙදමහත්තයෝ මට මේ රෝගයක් පිළිබඳව ටිකක් දැනුම්වත්වෙන්නයි ආවේ.

හෝ බොහොම හොඳයි. බොහොම හොඳයි. එහෙනම් කීවනම් බලන්න. මම ඊයේ රෑ තමයි ආවේ අක්කලයි ගෙදර රෑ තිස්සෙම අක්කගෙ පොඩි පුතාට කිවිසුම් යනව. නාසයෙන් සොටු දියර ගලනව. අඬන එකමයි වැඩේ. කිසි දෙයක් කන්නෙත් නැතිලු. සුමානෙකින් ඉස්කෝලෙට යවලත් නැහැ. දරුවට හෙම්බිරිස්සාවෙයි කියල ඉඟුරු කොත්තමල්ලි සමඟ වෙනිවැල්ගැට තම්බල බොන්න දීල. ඒකත් පෙව්වේ බොහොම අමාරුවෙන්ලු. ඒකටයි මම වෙදමහත්තයා හම්බවෙන්න ආවේ.

“දැන් ඒ දරුවගෙ වයස කීයද? අවුරුදු හතයි වෙදමහත්තයො. දඟකාර වයසනේ.

පීනස් රෝගයක් තමයි දරුවට වැලඳිලා තියෙන්නේ. නිතරම ශීත ජලය ස්නානය කිරීම, සීත ජලය පානය කිරීම, නිදි වැරීම, අධික තෙතමනයේ සිටීම හා පින්නට අසුවීම, නිතර නිතර සීත ස්ථානවල සිටිම සෙම්ප්‍රතිශ්‍යාව වැලඳී කාලයක් එලෙසම සිටීම, වැටීමකින්, හැප්පීමකින් හිස තුවාලවීම නාස්පුඩු තුළට දුම්, දූවිලි ඇතුළුවීම ආදී කරුණු රැසක්ම පීනස ඇති වීමට බලපානවා. පීනසේ විශේෂයක් වන්නේ නාසය පමණක් නොවෙයි උගුර, කන, උදරය, මුහුණ, දිව, හිස යන සෑම ස්ථානයකින්ම රෝග ලක්ෂණ ඇති වීමයි.

පීනසේ දී උදෑසන කාලයේ දී කිවිසුම්යාම පවතින අතර නින්දෙන් අවදි වූ සැණින් කිවිසුම්යාම ආරම්භ වී දහවල් කාලය වන තුරුම කිවිසුම්යාම පවතී නම් ඊට අමතරව දේශගුණික වෙනස්වීම් හා දූවිලි, දුම්, මකුළු දැල් කැඩීම ආදිය නිසාද දවස පුරාම කිවිසුම් යාම සිදුවේ නම් කිවිසුම් කීපයක් යෑම සමඟ නාසයෙන් ජලය මෙන් හෝ කහ පැහැයෙන් යුත් සොටු දියර ද ගැලීමට පටන් ගනී. මෙය දිගින් දිගටම සිදුවෙනවා නම්.

ආ වෙද මහත්තයො දරුව කෑමට අකමැති ඇයි? පීනසය පවතින විට ගඳ සුවඳ දැනෙන්නේ නැහැ. ගඳ සුවඳ සඳහා සංවේදී ස්නායු අක්‍රිය වීම සිදුවනවා. එමෙන්ම රස දැනීමත් අඩුවෙනවා. හිසේ බරගතිය හිසේ කැක්කුම, කන් කැසීම, උදේ පාන්දර හිසේ බර ගතිය දැනීම, උදේට සහ රාත්‍රී කාලයට උගුර කැසීම හා සෙම් ගතිය පැවතීම, විදුරු මස්වලින් ලේ ගැලීමද පවතින අතර දත් සෙලවීම, දත්මුල් දියවීම, මුඛයේ දුර්ගන්ධයද ඇති වන්නේ කාලයක් පුරා රෝගය පැවතීමෙන් නාසයේ මස්දලු ඒම, පීනස දීර්ඝ කාලයක් පැවතීමෙන් හිසකෙස් සුදු පැහැවෙයි. කෙස් ගැලවෙන අතර තට්ටය පෑදීමද සිදුවෙනවා. හිසකෙස් සුදුවීම පීනස් රෝගයේ දී පමණක් නොව වෙනත් රෝගවලදී ද සිදුවේ නම් නාස්කුහරයේ එක් පැත්තකින් හෝ දෙපැත්තෙන්ම හෝ අංකුර මර්දනය විය හැකියි. මේ නිසා හුස්ම ගැනීම අපහසු වේ. නාස් කුහරයේ වේදනාවක් ද ඇති වෙනවා. කටහඬ වෙනස් වේ. උගුරේ බැරැන්ඩි ගතිය, සෙම් පටලැවෙන ගතියක් ද ඇතිවෙනවා. පීනසේ දී පෙනීමේ දුර්වලතාවයක් ද ඇතිවේ. ඇස්වල දැවිල්ල හටගන්නා අතර ඇසේ දැලක් දැමූ ආකාරයට පෙනෙනවා. නාසයෙන් ලේ ගැලීම සිදුවෙනවා. එය පීනසේ දී පමණක් නොවේ වෙනත් රෝගවලදී ද සිදුවේ. එය සිදුවන්නේ පීනසේදී ද කියා නිගමනය කළ යුත්තේ වෛද්‍ය උපදෙස් වලින් පසුවයි.

වෙද මහත්තය මට සෑහෙන දැනුමක් ලබා දුන්නනේ, පීනසේ ගැන මම ගිහිල්ලා දරුවත් එක්ක එන්නම්.

හා හොඳයි හොඳයි. එහෙනම් මේ ටිකත් අහගෙනම යන්නකො. අපේ මේ වෙදකමේ ආයුර්වේදයට අනුව පීනස ප්‍රභේද දෙකක් තියෙනව. පාරම්පරික වෛද්‍ය ක්‍රමය අනුව ප්‍රභේද දහ අටක් තියෙනව. ආයුර්වේදයේදී වාතජ පීනස, පිත්තජ පීනස, ක්‍යජ පීනස, සන්නිපාතජ පීනස හා රත්තජ පීනස යනුවෙන් පහක් තියෙනවා. මෙයින් දරුවාට වැලඳී ඇත්තේ වාතජ පීනසයි. එම පීනසේ තමයි අධිකව කිවිසුම් යාම, සොටු දියර ගැලීම, හිසරදය, නාසය කැසීම ආදී රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇත්තේ.

එතකොට පුංචි මහත්තයෝ දේශීය හෙවත් පාරම්පරික වෙදකමේ දී පීනස ප්‍රභේද දහ අටක් බව කියා තිබෙනවා. ග්‍රහණ පීනස, ළය පීනස, මොළ ගන්ඩ පීනස, කන්ඩ මාල පීනස, ශ්ලේෂ්මා ජ්වර පීනස, පිත පීනස, සෙම් පීනස, පණු පීනස, සොටු පීනස, නාග පීනස, ගල් පීනස, සුළං කණ්ඩ පීනස, සන්නිපාත පීනස, කරුප්පුනත් නිල් පීනස, පාතඩු පීනස, ආමන පීනස, තිත්ති පීනස, අර්භද පීනස යනුවෙන්.

අපේ දේශීය වෙදකමේ පීනසට ගුණාත්මමක ප්‍රතිකර්මයක් තියෙනවා. පාරම්පරාවෙන් පරම්පරාවට එන ඉපැරණි පුස්කොළ වෙද පොත්වල කළ යුතු දිය යුතු උපදෙස් බොහෝයි. පීනස් රෝගියෙකුට ප්‍රතිකාර ලබාදීමේ දී නියමිත වේලාවට නියමිත බෙහෙත් වර්ග ලබා දිය යුතු යි. වෙදමහතා පවසන ආකාරයට ප්‍රතිකාර විධි නොනවත්වාම ඉටු කළ යුතුයි. ඒ ඒ නියමිත වේලාවට බෙහෙත් වර්ග රෝගියාට දෙනු ලබන අතර දිනපතාම ස්නානය කිරීම, තැඹිලි බීමට දීම, සව්, බාර්ලි, පිස ආහාරයට දීම පැණි දොඩම්, මිදිවැනි ශීත කළ බීම වර්ග හා කොළ කැඳ වර්ග ද සාදා රෝගියාට පානය කිරීමට දීම ද, මස් මාංශවලින් රෝගියා වැළැකී සිටීමද අවශ්‍යයි. විශේෂයෙන් ප්‍රතිකාර ලබා ගන්නා කාලසීමාවේ දී දෙන ලද උපදෙස් නිසි පරිදි පිළිපැදිය යුතු යි.

ඉතින් පුංචි මහත්තයෝ එක් පීනස් රෝගයක් අලළා තමයි මම ඔය විස්තර කළේ. හොඳ අවබෝධයක් ලැබෙන්න ඇතැයි සිතනව. එහෙම නම් බෙහෙත් ටිකක් දෙන්න දරුවත් එක්කරගෙන එන්නකො.

හරි මම එන්නම් වෙදමහත්තයට ගොඩක් පින්. තෙරුවන් සරණයි.

 

 

බත්තරමුල්ල

රාජපුර වෙද මැදුරේ

ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය

සුමිත් රාජපුර

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.