වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
දරුවාට උණ වගේද?
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පීඨයේ මහාචාර්ය
ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය
මනෝරි ගමගේ
මේ දිනවල පවතින කාලගුණික තත්ත්වය හේතුකොට ලොකු කුඩා කාහටත් වෛරස් රෝග වැල¼දීමේ අවදානමක් පවතී. බොහෝ වෛරස් රෝගවල මූලික ලක්ෂණය වන්නේ උණ ඇතිවීමයි . උණ යනු රෝගයක් නොව රෝග ලක්ෂණයකි. විශේෂයෙන් කුඩා දරුවන් සිටින මවුවරු තම දරුවාට හිටි හැටියෙම උණ ඇති වූ විට බියට පත්වෙති. වැඩිහිටියන් මෙන් නොව කුඩා දරුවන්ට තම රෝගය පිළිබඳ හරියාකාරව පැවසීමට නොහැකි බැවින් දරුවකුට උණ වැලඳු සැණින් දරුවන්ට රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම පවා අපහසු හෙයින් මවුවරුන්ගේ එකම සහනය වෛද්‍යවරයකු මුණ ගැසීමය.
විශේෂයෙන්ම මේ දිනවල දරුවන්ට වැලඳෙන උණ රෝගය බොහෝ මවුවරුන්ට ගැටලුවක්ව පවතී. ඒ පිළිබඳ මවුවරුන්ට අවබෝධයක් ලබාදීම සඳහා අද සුබසෙත පුවත්පත මඟින් ඔබ දැනුවත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මනෝරි ගමගේ මහත්මියයි.
මේ දිනවල දරුවන්ට බහුල වශයෙන් වැලඳෙන උණ රෝගය පිළිබඳව කතා කරමු.?
මේ දිනවල දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ට වැලඳෙන උණ රෝගී තත්ත්වය වෛරස් වර්ග කිහිපයක් නිසා ඇතිවන තත්ත්වයක්. විශේෂයෙන් දරුවන් පිළිබඳ කතා කිරීමේදී උණ වැලඳුණු දරුවන් විශාල සංඛ්‍යාවක් මේ දිනවල රෝහල් කරා ඇදී එනවා. බොහෝ දරුවන්ගෙන් පෙන්නුම් කරන්නේ තද උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව සහ ඇඟපත රුදාව.
ඒ වගේම මේ දිනවල පවතින උණ රෝගයට හේතුව ප්‍රධාන වශයෙන් කාණ්ඩ හතරකට වෙන් කළ හැකියි . එනම් සෙම්ප්‍රතික්ෂාව නොමැතිව ඇඟපත වේදනාව සමඟ ඇතිවන උණ ,සෙම්ප්‍රතිශ්‍යා, කැස්ස පපුවේ සෙම සමඟ ඇතිවන උණ, ඩෙංගු උණ වගේම ළමයින් අතර බහුලව නැතත් මී උණ ආදිය ලෙස කියන්න පුළුවන්. මේ අතරින් මීඋණ හැරුණු කොට අනිත් සියලුම රෝගවලට හේතුව වන්නේ විවිධ වෛරස් වර්ගයි.
මෙම කාණ්ඩ 4 ප්‍රතිකාර කිරීම සඳහා අදාළ වෛරස් රෝග වෙන් වෙන් වශයෙන් හඳුනා ගන්නේ කෙලෙස ද?
සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස ,පපුවේ සෙම ආදිය ඇති රෝගී දරුවකුට ඇතැම් විට ඉන්ෆ්ලුවෙන්සා වෛරසය වැලඳී ඇත්දැයි සොයා බැලීමට නහයෙන් සෙම පරීක්ෂාව සිදු කරනවා . එයින් ලැබෙන ප්‍රතිඵල මත රෝග විනිශ්චය කළ හැකිය. ඇතැම් අවස්ථාවලදී මේ දරුවන් අතර covid රෝගීනුත් වාර්තා වෙනවා. එයට අමතරව හඳුනා නොගත් විවිධ වෛරස නිසාද ඇඟපත වේදනාව සහ තද උණ සමහර දරුවන්ට පවතිනවා. ඒ වගේම දරුවන් පෙන්නුම් කරන අනෙකුත් රෝග ලක්ෂණ වෛද්‍යවරයකුට දරුවාට ඩෙංගු රෝගය හෝ මී උණ වැනි රෝග ඇති වී ඇත්දැයි මූලික නිගමනයකට පැමිණීමේ හැකියාව තියෙනවා.
දරුවකුට උණක් ඇති වූ විට මවුපියන් විසින් කළ යුත්තේ කුමක්ද?
මවුවරුන් දරුවාට උණ ඇතිවූ වහාම රෝහලට පැමිණෙනවා. නමුත් උණ ඇතිවිට පළමු දවසේ මුලින්ම කළ යුත්තේ පැය 6 කට වරක් දරුවාගේ බරට සහ වයසට නියමිත පැරසිටමෝල් මාත්‍රාව ලබා දීම. දිනකට හතර වාරයකට වඩා පැරසිටමෝල් නොදිය යුතුයි. පැය 6 කට පෙර දරුවාට නැවත උණ තදින් ඇති වුවහොත් කළ යුත්තේ සාමාන්‍ය උෂ්ණත්වය ඇති ජලයෙන් (ටැප් වතුර) රෙදි කඩක් පොඟවා කිහිලි සහ ඉකිලි පිස දැමීමයි. දියර වර්ග දී සැහැල්ලු ඇඳුමක් අන්දවා හොඳීන් වාතාශ්‍රය ලැබෙන තැනක දරුවා තැබීම යි. නමුත් දරුවාගේ උණ තවදුරටත් පවතී නම් වෛද්‍යවරයෙකු හෝ රෝහලක් කරා යොමු වීම කළ යුතුයි. ඒ වගේම දරුවා උණ නැති අවස්ථාවේදී පවා නිදිමත ගතියක් හෝ අධික රෝගී බවක් පෙන්වනවා නම් පළමු දිනයේම රෝහලක් කරා යොමු වීම වැදගත්. ඒ වගේම දරුවා මාස 2 කට වඩා අඩු වයසක ළදරුවෙක් නම් එවිටද වෛද්‍යවරයෙකු කරා වහාම යොමු වීම වැදගත්. සමහර දරුවන්ට තද උණ සමඟ වලිප්පු තත්වය ඇතිවනවා එවැනි දරුවන් පිළිබඳව වැඩි අවධානයක් යොමුකළ යුතුයි.
ඇතැම් මවුවරු ඉවක් බවක් නොමැතිව උණ පාලනය කර ගැනීමට පැරසිටමෝල් දෙනවා. පැරසිටමෝල් මාත්‍රාව වැඩිවුවහොත් සිදුවන්නේ කුමක්ද?
කිසිම ඹෟෂධයක් මාත්‍රාවට වඩා දීම විෂ සහිතයි. විශේෂයෙන්ම පැරසිටමෝල් අක්මාවට බලපෑමක් ඇති කළ හැකියි. එය අප සිතන තරම් අහිංසක ඹෟෂධයක් නොවේ. වෛරස් රෝග වැලඳුණු විටත් එම වෛරස මඟින් අක්මාවට යම්කිසි බලපෑමක් ඇතිවෙනවා. ඒ සමඟම පැරසිටමෝල් මාත්‍රාව වැඩි වූ විට තත්ත්වය දරුණු වී අක්මාවට අධික ලෙස හානි සිදුවිය හැකියි. එම නිසා කිසි විටෙක පැය හයකට කලින් ඊළඟ පැරසිටමෝල් මාත්‍රාව ලබා නොදිය යුතුයි.
ඉන්ෆ්ලුවෙන්සා, වෛරස් උණ, ඩෙංගු වෙන වෙනම හඳුනා ගන්නේ කෙලෙසද?
ඉන්ෆ්ලුවෙන්සා තත්වයේදී දරුවා කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව ආදී රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා. ඩෙංගු රෝගයේදී එවැනි රෝග ලක්ෂණ ඇති වන්නේ නෑ. ඒ අනුව යම් හෙයකින් දරුවාට ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වයක් තිබේ දැයි සොයා බැලීම සඳහා නාසයෙන් ලබා ගන්නා ශ්ලේෂ්මල පටල පරීක්ෂණය සිදු කළ හැකියි. එවිට ඒ සඳහා නියමිත ප්‍රතිවෛරස් ඖෂධ ලබාදෙනවා . එකවරම සොයා ගැනීමට අපහසු වන්නේ ඩෙංගු උණ සහ ඇඟපත රිදීම පමණක් සහිත උණ වර්ග දෙකයි .මේ උණ වර්ග දෙක නිසියාකාරව වෙන් කර ගැනීමට දරුවාගේ යම් යම් රෝග ලක්ෂණ මෙන්ම රුධිර පරීක්ෂණත් අප යොදා ගන්නවා. එ අතරින් FBC (full blood count ) නමැති රුධිර පරීක්ෂණය සිදු කළ හැකියි. එමඟින් අපිට යම්කිසි මූලික අවබෝධයක් පමණක් ලබාගත හැකියි. ඒ නිසා ඩෙංගු රෝගය දැයි වඩාත් හොඳීන් සොයා ගැනීමට තවත් රුධිර පරීක්ෂණයක් තිබෙනවා. එය හඳුන්වන්නේ NS 1 antigen පරීක්ෂණ යනුවෙන්. මෙම පරීක්ෂණවලින් ලැබෙන දත්තයන් අනුව ඩෙංගු රෝගය වැලඳී ඇත්දැයි යම් නිශ්චිත නිගමනයකට එළඹිය හැකි . නමුත් මෙම NS1 antigen පරීක්ෂණය නෙගටිව් වූ පමණින් ඩෙංගු රෝගය 100% බැහැර කළ නොහැකි බවත් අප මතක තබා ගත යුතුයි. ඒ නිසා කිහිපවිටක් අපට දරුවාගේ full blood count පරීක්ෂණය සිදු කර යම් යම් නිගමනවලට එළඹීමට සිදුවෙනවා.
මෙවැනි FBC පරීක්ෂණය සඳහා යොමුවිය. යුත්තේ උණ වැල¼දී කුමන දිනයකදී ද ?
Full Blood Count නැමැති රුධිර පරීක්ෂණය සිදු කළ යුත්තේ දරුවාට උණ ඇතිවී අවම වශයෙන් දින දෙකක් හෝ පැය 48 කට පසුවයි. යම්කිසි වෛරසයක් ශරීරගත වූ විට සිරුර තුළ වෙනස්කම් සිදුවෙනවා. එවැනි වෙනස්කම් රුධිර පරීක්ෂාවකින් පෙනීම සඳහා පැය 48 පමණ කාලයක් ගතවනවා. ඒ නිසා රෝගය පිළිබඳ නිසි අවබෝධයක් ලබාගත හැකි වන්නේ පැය 48 කට පසුව සිදුකරන FBC පරීක්ෂාවෙන් පමණයි.
Ns1 antigen පරීක්ෂාවෙන් පමණක් ස්ථිර නිගමනයකට එළඹිය නොහැකි වන්නේ ඇයි?
මෙම පරීක්ෂණයෙන් සොයා බලන්නේ ඩෙංගු වෛරසයේ ප්‍රෝටීනය සිරුරට ඇතුළු වී තිබේද යන්නයි. දරුවාට උණ වැලඳී පැය 24 කට පසු මෙම පරීක්ෂණය සිදු කළ යුතු අතර, පැය විසි හතරකට පසු ප්‍රෝටීනය සිරුරේ තිබේදැයි ඒ වන විට දැන ගත හැකියි .ඩෙංගු වෛරසයට විරුද්ධව ප්‍රතිදේහ දිනෙන් දින සිරුර තුළ ගොඩනැඟෙනවා .දින ගණන පසු වීමේ දී මෙලෙස ගොඩනැගුණු ප්‍රතිදේහ නිසා antigen නැතිවී ගොස් දින තුන හතරකට පසු සිදුකරන antigen පරීක්ෂණයේදී ඩෙංගු නො වන බවට ප්‍රතිඵල ලැබිය හැකියි. සියයට සියයක්ම antigen පරීක්ෂණ මත යැපෙන්නට නොහැකි වන්නේ මේ හේතුව මතයි.ඒ අනුව FBC පරික්ෂණයක් කිරීම අත්‍යවශ්‍ය වනවා. FBC පරීක්ෂණයෙන් සුදු රුධිරානු , රුධිර පට්ටිකා පිළිබඳ පූර්ණ දත්තයන් ලබාගත හැකියි. දරුවාට වැල¼දී ඇත්තේ ඩෙංගු ද වෙනත් රෝගයක් ද යන්න පිළිබඳ වෛද්‍යවරයාට මේ පරීක්ෂණයෙන් හොඳ අවබෝධයක් ලබාගත හැකි වෙනවා.
දරුවකුට ඩෙංගු යයි ස්ථිරව දැනගත් මොහොතේම රෝහල්ගත කළ යුතුද?
නැහැ. ඩෙංගු මුල් අවස්ථාවේ දරුවා රෝහල්ගත කළ යුතු නැහැ. හේතුව සියලුම දරුවන්ට සංකූලතා සහ රක්තපාත තත්ත්වය ඇති වන්නේ නැහැ. මේ දරුවන්ට නිසි ප්‍රමාණයට දියර පානය කිරීම, විවේකය සහ රුධිර පරීක්ෂණය කරන්නටත් වෛද්‍යවරු නියම කරනවා. මුල් අවස්ථාවේ සිට පැය 12 කට වරක් රුධිර පරීක්ෂාව කළ යුතුයි. පෞද්ගලිකව කළ හැකි නම් දරුවාට නිවෙසේ තබා ගත හැකි අතර වෛද්‍යවරයා පවසන ආකාරයට සියලු දේ ඉෂ්ට කළ යුතුයි. Full Blood Count රුධිර පරීක්ෂාවෙන් විශාල වෙනසක් නැති නම් විශේෂයෙන් සුදු රුධිරාණු සහ ප්ලේට්ලට් අඩුවක් නොමැති නම් දරුවාගේ තත්ත්වය අවදානම් නැහැ. නමුත් ප්ලේට්ලට් සහ රුධිර පට්ටිකා අඩු වුවහොත් වහාම දරුවා රෝහල්ගත කළ යුතුයි. රෝහලේදී වෛද්‍යවරුන් විසින් නිරන්තරයෙන් පරීක්ෂා කරමින් අවශ්‍ය නම් සේලයින් ලබා දෙමින් සංකූලතා පිළිබඳ අවධානය යොමු කරමින් රක්තපාත තත්ත්වයන් දරුවා වළක්වා ගැනීමට කටයුතු කරනවා . මාස තුනකට අඩු බිළිඳු දරුවන් මෙවැනි අවස්ථාවකදී අනිවාර්යෙන්ම රෝහල්ගත කළ යුතුයි. විශේෂයෙන් වැඩිමහල් දරුවකු වුවත් හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් පෙළේ නම් හුස්ම ගැනීමේ වේගය වැඩි නම් තද උණ තිබේනම් එවැනි දරුවන් රෝහල් ගත කරනවා. ඇතැම් විට එවැනි දරුවන්ට නිව්මෝනියා තත්ත්වය ඇතිවිය හැකි බැවින් ප්‍රතිජීවක ලබා දී ඒ තත්ත්වය මඟ හරවා ගැනීමට කටයුතු කරනවා .එසේ නොමැතිව කැස්ස, හෙම්බිරිස්සාව ඇති වූ පමණින් ඩෙංගු තත්වයක් ඇතිවූ පමණින් රෝහල්ගත කිරීම අවශ්‍ය නෑ. නමුත් දියර වර්ග නිසි ආකාරයට පානය කිරීමට නොහැකි දරුවන් සහ ආර්ථික වශයෙන් රුධිර පරීක්ෂණ කිරීමට මුදලක් වැය කළ නොහැකි දරුවන් රෝහල්ගත කිරීම උචිතයි.
උණ තත්ත්වයක් ඇතිවූ විට ලබා නොදිය යුතු ඖෂධ වර්ග මොනවාද ?
ඇතැම් මවුවරුන් උණ ඉක්මනින් පාලනය කර ගැනීම සඳහා ඇස්ප්‍රීන් කාණ්ඩයේ ඖෂධ ලබාදෙනවා. විශේෂයෙන් bruffen සහ mefanamic acid වැනි ඖෂධ වර්ග කිසිසේත්ම ලබා නොදිය යුතුයි. දරුවාට වැල¼දී ඇත්තේ ඩෙංගු උණ නම් මෙම ඖෂධ වර්ග නිසා ඩෙංගු රක්තපාත තත්ත්වය දක්වා වර්ධනය විය හැකියි. ඒ බැවින් මවුවරුන් ඉතා කල්පනාකාරී විය යුතුයි. දරුවකුට උණ හෙම්බිරිස්සාවක් ඇති වූ විට පාසල් යැවීම day care යැවීම නොකළ යුතුයි. එවිට අනිත් දරුවන්ටත් මෙම වෛරසය බෝවීමට බෙහෙවින් ඉඩකඩ තිබෙනවා.
ඩෙංගු මදුරුවන්ගෙන් ආරක්ෂා වන්නේ කෙසේද ?
විශේෂයෙන් ඩෙංගු මදුරුවා දෂ්ට කරන්නේ දිවා කාලයේ. උදේ 10.00 සහ සවස 4 - 5 අතර කාල සීමාවේදී මේ කාලයේ බොහෝ දරුවන් පාසල් යනවා. එසේ නොමැති නම් නිවෙසේ සිටිනවා. හැකිතාක් තම ගෙවත්ත පිරිසුදු කිරීම පාසල් වත්ත පිරිසුදු කිරීම ආදියේ නිරත වී ඩෙංගු තවාන් තිබේ නම් ඒවා විනාශ කර දැමිය යුතුයි. දුමායනය මදුරුවන් විනාශයට වඩාත් යෝග්‍ය පියවරක් වන බැවින් ඒ සඳහා අනුබල ලබා දීම ඔබ විසින් කළ යුතුයි .