ලොවම පුබුදමින් හිරු-සඳුගේ භවනට එයි

මේෂ-කන්‍යා-තුලා-මකර ලග්න හිමියන්ට ප්‍රශස්ත කාලයක්
වසංගත රෝග බහුල වෙයි
ජූලි 5, 2024

 

මේෂ, කන්‍යා, තුලා, මකර, රාශි හිමියනට ප්‍රශස්ත ගමනකට කදිම කාල පරාසයක් බිහි කරමින් ග්‍රහ ලොව රජු ලෙස සලකන රවි, සඳුගේ රාශිය වන කටකයට සංක්‍රාන්ත වෙයි. අනෙක් ලග්නවලටද මෙයින් අත් වන්නේ සුබපලදායක තත්ත්වයකි. තම ජන්ම කේන්ද්‍රගත දෝෂ, පෞද්ගලිකව ගෙවන දශා, විදශා සහ අනෙකුත් ග්‍රහ යෝග ආදිය අනුව සුබපල අඩුවැඩි වශයෙන් එක් එක් පුද්ගලයා කෙරෙහි බලපානු ඇත.

දක්ෂිණායන වර්ෂා ඍතුවෙහි ඇසළ මස පුර දසවක තිථිය, කටක රාශිය, කටක නවාංශකය, පුනාවස 04 පාදය යෙදෙන ජුලි මස 16 වැනි කුජ දින පෙරවරු 11.18ට සිංහයට අධිපතියා කටකයට යාමෙන් සිදු වන මේ සංක්‍රාන්තියත් සමඟ දහසක් දෝෂ භංග කරමින් අපූර්ව ආශ්චර්යමත් බවක් ලොව පුරා ඇති වෙයි. තේජෝ, භූත, රවි, ආපෝ භූත චන්ද්‍ර භවනට සංක්‍රමණය සක්වළ සුබවාදී වෙනසකට තුඩු දීමෙකි. ජව බල සම්පන්න රවි චන්ද්‍ර සංකලනය සැප්තැම්බර් 16 තෙක් බලපානු ඇත.

දෙස් විදෙස් ආයෝජන, කර්මාන්ත, ව්‍යාපාර ආරම්භයකට හේතු වෙයි. සෞඛ්‍ය, අධිකරණ , අධ්‍යාපනය ක්ෂේත්‍රයන්හි සුබ සාධන නවීකරණය ක්‍රියාකාරී වෙයි.

චන්ද්‍රයා හිමි කටකයේ සිහසුන් අරා රාජ්‍ය ත්‍රාන්ත්‍රික රවි ගමන් කරලීම විශිෂ්ට වෙයි. රවිට උච්ච රාශිය මේෂය වෙයි. වෘෂභය චන්ද්‍රයාගේ උච්ච රාශියයි. මෙවන් රාජ්‍ය කාරක රවි සූසැටක් ශිල්ප ශාස්ත්‍රීය පැතිකඩ කෙරෙහි ශ්‍රී ලාංකේය ජනතා සිත් සතන් නැඹුරු කරවයි. ඥාති හිතෛෂී මිත්‍රශීලීබව වර්ධනය කෙරෙන විජයශ්‍රීය කාල පරාසයකි.

එසේ වුවද හෘදය වස්තුව ආශි‍්‍රත රෝග, ඇදුම, උමතු රෝග, ජලයෙන් බෝවන රෝග ඇතුළු වසංගත රෝග ජලභීතිකා, උණ සන්නිපාත, මැලේරියාව බහුල වී යාමක්ද නිර්මාණය විය හැකිය.

බුධ හිමි කන්‍යා උදා රාශියෙහි දී ධර්ම කර්මාධිපති යෝග බලයක් අයස්ථානය ගත වුවද එය බල රහිත බවට පත් වී ඇත. එනමුත් තාක්ෂණික සහ ජන සන්නිවේදන අංශවල නවතම සංශෝධන මතු කෙරෙනු ඇත.

කුජ හිමි මේෂ රාශියෙහි 11 වැන්න වූ අයස්ථානය ස්වක්ෂේත්‍ර මූල ත්‍රිකෝණ සෙනසුරුගෙන්ද 02 වැන්න වූ ධන ස්ථානය ද 04 වැන්න වූ කටකයෙහි රවිගෙන් ද 07 වැන්න චන්ද්‍රයාගෙන් ද සමස්ත විශ්වය පුරා ආශිර්වාදය පැතිරෙයි.

 

මේෂ ලග්නය

අඟහරු හිමි මේෂ රාශි ජන්මියාට 04 වැන්නෙහි ආලෝක ග්‍රහයෙකු ද ජීවයට ශක්තිය ලබාදෙන්නා වූද සූර්යයා මිත්‍රශීලිව යෙදී ඇත. චන්ද්‍රයාගේ චතුර්කෝණ දෘෂ්ටිය මෙන්ම අඟහරුගේ ෂඩ්කෝණ දෘෂ්ටියද ආලෝකමත් බවට පාත්‍ර වී ඇත. ධනය, රැකියා ආදායම් මාර්ග පවුලේ සමගි සමාදානය, සාර්ථක විජයග්‍රාහී බවට පාත්‍ර වී ඇත. සිතැඟියාවන් ඉතාමත් සුබවාදී බවට පරිවර්තනය වෙයි.

 

වෘෂභ ලග්නය

යම් යම් හේතු සාධක බිඳී තුන්වැන්න වූ වික්‍රමස්ථානගත වීම ප්‍රෞඪත්වය පෞරුෂත්වය වර්ධනය වෙමින් බාධක අවහිර දුෂ්කරතා මඟහැරෙයි. සොයුරු සොයුරියන්ගෙන් ආධාර උපකාර අනුග්‍රහය ද ලැබෙයි. නව ජීවන ගමන් මඟකට අවතීර්ණ විය හැකි මුදල් ආයෝජන සිදුවෙයි. සිතැඟියාවන් බොහෝ දුරට ඉටුවෙයි. උසස්වීම්, ප්‍රභූ ජනයා ඇසුරට තුඩුදීමද පවුලේ සාමකාමී බවද යෙදෙනු ඇත. 10 වැන්නේ සස යෝග බල ක්‍රියාත්මක වෙයි.

 

මිථුන ලග්නය

දෙවැන්න වූ ධනස්ථානගත රවි කුටුම්භ ස්ථානගත වීම පවුල් ජීවිතයෙහි සෞභාග්‍යය උදාවීමෙහි ප්‍රගතියකට වැදගත් අවස්ථාවකි. ජීවන ගමන් මඟෙහි අඩුලුහුඬුකම් රැසක් මඟහැරී සාර්ථක බවට නැඹුරු වෙයි. තුරඟ තරග විභාග විජයග්‍රහණ අත්වෙයි. අධ්‍යාපනික කාර්යභාරයන් ප්‍රමුඛතාවයනටද සමාජගත හිතමිත්‍ර සුහදතා වර්ධනය වෙමින් ඉදිරි නව ගමන් මඟකට තුඩු දෙයි.

 

කටක ලග්නය

දෙවැන්න වූ ධනස්ථානාධිපති රවි ලග්නයට පැමිණීමද චන්ද්‍රයාගෙන් පූර්ණ දෘෂ්ටිය ලැබීමද භාග්‍යමත් කාලපරාසයක උදා වීමක් මෙන්ම දීප්තිමත් සුවිශේෂී මානසික අවදිවීමට ආශීර්වාදයෙකි. මෙතෙක් ලද අපවාද උපහාස අපහාස දුරීභූත වෙයි. ස්වකීය ඉදිරි අනාගත අභිමතාර්ථයන් ක්‍රියාත්මක වන හිතවාදී බවක් නිර්මාණය වෙයි. පසුතැවිලි නොවී ඉදිරියටම යන්න.

 

සිංහ ලග්නය

ලග්නාධිපති 12 වැන්නට සංක්‍රමණයෙන් ජීවිතයෙහි ස්වර්ණමය කාලපරාසයකට පාත්‍ර වීමෙකි. යටි සිතෙහි දිගුකාලීනව පැවැති යම් යම් වැදගත් සිතිවිලි සමාජගත කරවමින් වාසනාවෙහි රුවන් දොරටුව විවරවන සරුසාර කාලසීමාවකි. ආධ්‍යාත්මික මානසික සහනයකට සිතැඟියාවන් ආශි‍්‍රත ජන සමාජගත අනුග්‍රහයන්ද හිතිකර වෙයි. මෙලොව දැඩි මානසික තෘප්තිමත් මෙහෙයුමකට 03, 10, 12, 11 ස්ථාන සක්‍රිය කෙරෙන කාලීන වූවෙකි.

 

කන්‍යා ලග්නය

හත් වැන්නෙහි සස යෝග බලය ක්‍රියාත්මක වෙයි. 11 වැන්න වූ අයස්ථානගත වෙන රාජ්‍ය කාරක රවි ජව බලසම්පන්න ආර්ථික මෙන්ම රවි උපචය ස්ථානගත වීම් බාහිර අවහිර බාධක උපද්‍රව දුරු වෙයි. අභිවෘද්ධිය වර්ධනය කෙරෙමින් ජීවිතයෙහි වර්තමානය මෙන්ම අනාගතය සුවිශේෂී ප්‍රගතියකට පාත්‍ර වෙයි. රැකී රක්ෂා ආදායම් මාර්ග සාර්ථක වෙයි. මෙලොව මානුෂික මානසක පෝෂණය උදාරතම උච්චබල අවස්ථාවකට ආරෝපණය වෙන්නෙකි. සොම්නස සැනසුම සතුට හදවත පුරාවට පිරී ඉතිරී යයි.

 

තුලා ලග්නය

වෘත්තීය විජයග්‍රහණ සූර්ය දිව්‍යරාජයාගේ 10 වැන්න වූ කර්මස්ථානගත වීම වැදගත් රවි සංක්‍රාන්තියක් බවට විද්‍යමාන කෙරෙයි. 10, 01, 08 ස්ථාන දිදුලන ආලෝකමත් ජීවන ගමන් මඟකට කිඩිනම් දැවැන්ත ශක්තියක් ධෛර්යයක් සමීප වන යුගයකි. පවුල් ජීවිතය, දෙස් විදෙස් සංචාරක ගමන් බිමන් මෙන්ම නිර්මාණශීලි ආලෝකමත් සිතැඟියාවන් අවදි වන ජීවන මිහිරියාවකට ප්‍රශස්ත ග්‍රහචාරයෙකි. වක්‍ර සෙනසුරුගේ පූර්ණ දෘෂ්ටිය ලැබෙයි.

 

වෘශ්චික ලග්නය

හතර වැන්නෙහි ස්වක්ෂේත්‍ර මූල ත්‍රිකෝණ වක්‍ර ශනිගෙන් සස යෝග බල ක්‍රියාත්මක වෙයි. ජවබල සම්පන්න කාලයකි. දෙස් විදෙස් සංචාර මෙන්ම ආනයන අපනයන ආර්ථික සරුසාර බවක් රවිගේ 9 වැන්න වූ භාග්‍යස්ථානගත වීමද, චන්ද්‍රයා 12 වැන්නේ ද, අඟහරු 07 වැන්නේ යෙදීමද ආලෝකමත් ජීවිතයකට මඟකි. මිහිරාවියගෙන් උපරිම වූ තෘප්තිමත් වීමක් සමඟ පවුල් ජීවිතයට ආශීර්වාදයක් වූ සූර්ය සංක්‍රාන්තිය දිගුකාලීනව ජීවන මිහිර ලබාදී ඥාති හිතෛෂී සැමගේ හිතවත්කම් තර වීමට හේතු වෙයි.

 

ධනු ලග්නය

සෞඛ්‍ය පැතිකඩ කෙරෙහි අසතුටුදායක බවක් උදාවිය හැකි බැවින් බුද්ධිමත්ව දූරදර්ශීව ක්‍රියා කරන්න. අඟහරු 6 වැන්නේ මෙන්ම චන්ද්‍රයා අයස්ථානය වූ 11 වැන්නේ ය. රවි 8 වැන්නට අවතීරණ වීම තරමක් දුරට අගුණ උදාවීයාමෙකි නිර්ණාමික නාමික සොර සතුරන්ගෙන් ද ආරක්ෂා වීම සුබවාදි වෙයි. පදිංචිය, රැකී රක්ෂා අතර වෙනස්කම් මතු කෙරෙයි. මෙකී කාලසීමාව අලුත්වැඩියාවනට හෝ නිවාසයක් ඉදි කිරීමට අවධානය යොමු කිරීම සුබවාදී වෙයි.

 

මකර ලග්නය

රවි 7 වැන්නට පැමිණීමත් සමඟ නිර්මාණශීලි පැතිකඩට යොමු වන බවක් පෛන්නුම් කෙරෙනු ඇත. ස්වකීය සුබාසුබ සිතැඟියාවන් ක්‍රියාකාරී බවට පත්කෙරෙනුයේ ද වෙතටම වෙයි. සෑම කළු වලාකුළක ම රිදී රේඛාවක් නිර්මාණය වෙන්නා සේ නිරායාසයෙන්ම මෙකී කාල සීමාව තුළ සුබවාදී පැතිකඩ විවර වී යාමක් ද දෘශ්‍යමාන කෙරෙයි. නවතාවයකින් නිර්මාණය කෙරෙන ජීවන පැතිකඩ ආශි‍්‍රතව යහපත සෙත ශාන්තිය ආශීර්වාද ලැබෙන යුගයකි.

 

කුම්භ ලග්නය

හය වැන්නෙහි ආලෝක ග්‍රහ ගමන් මඟට ද චන්ද්‍රයා නව වැන්නටද පූර්ණ දෘෂ්ටිය ලග්නගත වීයාම ද ප්‍රශස්ත වෙයි. ස්වක්ෂේත්‍ර මුල ත්‍රිකෝණව වක්‍ර සෙනසුරු ලග්නගත වීමෙන් සස යෝග බලය උදාවීමද හිතවාදී ගමන් මඟකට ප්‍රබල වෙයි. මන්දගාමී ජීවන ගමන ක්‍රියාකාරී බවට පාත්‍ර වීමෙන් අභියෝග අභිබවා සරුසාර ඉදිරි අනාගතයට හිතකර ගමන් මඟකි. නිද්‍රාශීලි බව දුරු වී ප්‍රබෝධමත් පවුල් ජීවිතයකට දොරටු හැරෙයි. . අවහිර බාධක මැඬගෙන ඉදිරියටම යා හැකිය.

 

මීන ලග්නය

විභාග, තුරඟ තරග මෙන්ම ගරු සම්මාන නිල තනතුරු ගලා එන කාලපරාසයකි. මතකය, ධාරණය, ස්මෘතිය වර්ධනය කරමින් සූර්යයා හය වැන්නට අවතීර්ණය වෙයි. දහ වැන්න වූ කර්මස්ථානය පෙර පින් මතු කෙරෙයි. ස්වක්ෂේත්‍ර මූල ත්‍රිකෝණ වක්‍ර සෙනසුරු 12 වැන්නේ ය. අඟහරු 3 වැන්නේද, රවි 5 වැන්නේද චන්ද්‍රයා 8 වැන්නේ ද ආලෝක කෙරෙමින් ආලෝක ග්‍රහයන්ගේ ප්‍රභාෂ්වර කාන්තිය ජීවිතය පුරා මානසික ශාරීරික ශක්තියට විශේෂී විජයග්‍රාහී මාවතක් උදාවෙමින් පවතිනු ඇත. ගුණාත්මක ධර්මචර්යාව දසත විහිදී පවතිනු ඇත.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 16 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.