වසරකට වරක් උදාවන ප්‍රබල සරස්වතී යෝග

සැප්තැම්බර් 20, 2024

ප්‍රබල සරස්වතී යෝග දෙකක් සැප්තැම්බර් මාසයේ සහ ඔක්තෝබර් මාසයේ යෙදීමට නියමිතය.

ඒ අනුව සැප්තැම්බර් මස 25 වැනි බුධ දින උදේ 06.06ට නැඟෙනහිර බලා අකුරු කියවීමට යහපත් සරස්වතී යෝගයක් යෙදේ.

උක්හකුරු, කිරිබත්, කැවිලි, පලතුරු, ගිතෙල්, මී පැණි, බෙලිකොළ, සමන්පිච්ච මල්, ගිතෙල් පහනක් ආදිය සරස්වතී දේවියට පුදා අකුරු කියවීම යහපති.

මේ මොහොතේ අද නැකැත, අටවක තිථිය, කන්‍යා ලග්නය උදාවී ඇත. තමාගේ අති උච්ච රාශිය වූ කන්‍යා රාශියට පැමිණි බුධගේ තත්කාල හෝරාවෙන් හා පංචම කාල හෝරාවෙන් මේ නැකත යෙදී ඇත. මෙවැනි සරස්වතී යෝග යෙදෙන ආකාරය මුහුර්ත චින්තාමණියේ මෙසේ කවියකින් සඳහන් වී ඇත.

සියතුඟු රැස් සිටියත් ග්‍රහයකුගේ
සියදින හෝරා ලත් කල ඔහුගේ
විය සරසවි මෙලෙසින් සත් යෝගේ
කියවිය අකුරුත් නුනුවණ නොනැඟේ

මේ නැකැතින් අකුරු කියවීම මහ උගතුන්, වෛද්‍ය, නීතිඥ, ග්‍රන්ථ කර්තෘවරුන්, කාව්‍ය විශාරදයන් බිහිවීමට හේතු වේ. මෙය කැති, උත්‍රපල්, උත්‍රසල, සිත, මුවසිරස, දෙනට, මුල, මා, අස්විද, පුනාවස, පුවපුටුප, විසා, අනුර, උත්‍රපුටුප, පුෂ යන නැකත් හිමියන්ට ඉතා සීහුම් වේ.

එසේම එළැඹෙන ඔක්තෝබර් මස 09 වැනි බුධ දින ද උදේ 06.04ට නැඟෙනහිර බලා ඉහත කී අන්දමට පූජාව පවත්වා අකුරු කියවීම යහපති.

ලිවීම, කියවීම, භාෂා හා සාහිත්‍යය විෂයයන්වලට පහළ පන්තිවල සිට දක්ෂතාවෙන් ඉගෙනීම කළ හැකි වේ.

මේ නැකැතින් වඩා සුබපල උදා කරන්නේ දෙට, රේවතී, අස්ලිස, පුනාවස,විසා, පුවපුටුප, සිත, මුවසිරස, දෙනට, කැති, උත්‍රපල්, උත්‍රසල, පුවපල්, බෙරණ, පුවසල යන නැකත් හිමි අයටය. මේ නැකැත් දින දෙකටම දින ශුද්ධිය නැත. එහෙත් මෙවැනි සරස්වතී යෝග උදාවන විට දින ශුද්ධිය නැති වුවත් සියලු අශුභපල මඟ හැරේ.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 18 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.