ඔටුන්න ඩැහැගත් සිතිවිල්ල

ජනවාරි 31, 2025

සිත සිතුවිලි වලට පෙරටු වේ. සිතුවිලි උපදින්නේ සිතෙන්මය. යමෙක් කිලිටි සිතෙන් යම් දෙයක් කරයි නම් ගොනා පසුපස යන කරත්ත රෝදය මෙන් දුක ඔහු පසුපස ලුහුබඳී යනුවෙන් ධම්මපදයේ කියා ඇත්තේ සිත පුදුමාකාර ලෙස ක්ෂණයෙන් වෙනස්වන නිසාය.

ඡ්‍යොතිෂයේද සිත පිළිබඳ කතා කරයි. චන්ද්‍රයාගේ බලපෑම සිතට තදින් දැනෙන බව එහි පැවසෙයි.

කෙසේ වුවත් අප කෙසේ හෝ කළ යුත්තේ සිතුවිලි නිවැරැදිව හදුනා ගැනීමයි. තේරුම් ගැනීමයි. එයට හේතුව වන්නේ අපගේ සිතට යහපත් සිතුවිලි මෙන්ම අයහපත් සිතුවිලි ද පැමිණීමයි. සිතිවිලිවල යහපත් බව හා අයහපත් බව හඳුනාගත හැක්කේ සිතේ ඇතිවන, නැතිවෙන සිතුවිලි ගැන සිහියෙන් සිටියහොත් පමණි. බුදුරජාණන් වහන්සේ “විතක්කසණ්ඨාන” නම් සූත්‍රයේදී මේ සිතිවිලි පාලනය කර ගැනීමට හැකි ආකාර ලෙස අඤ්ඤ නිමිත්ත ක්‍රමය, ආදීනව ක්‍රමය, අසති ක්‍රමය, විතක්කමූලභේද ක්‍රම, අභිනිග්ගන්හණ ක්‍රමය පෙන්වා දී ඇත. සිතුවිල්ලක ඇති ගැඹුරු බව අවබෝධ කරගෙන අප සිතිවිලි සමඟ ගනුදෙනු කළ යුතුය. යහපත් සිතිවිල්ලක් මනසට එනවා නම්, ඔහු සැබැවින්ම වාසනාවන්තය. ඒ සඳහා උත්සාහ කළ යුතුය. පහත සෙන් කතාවෙන් කියැවෙන්නේ සිතිවිල්ලක් පුද්ගලයකුගේ ඉරණම තීරණය කිරීමට කෙතරම් බලපාන්නේ ද යන්නය.

“ බොහෝ කලකට පෙර ජපානයේ රාජධානියක දුප්පත් තරුණයෙකු සිටියේය. ඔහු රැකියාවක් සොයා දිනපතා ගමෙහි ඇවිද්දේය. දිනක් කිසිදු වැඩක් සොයාගත නොහැකිව බලාපොරොත්තු සුන් වූ සිතින් හිස් අතින් ඔහු ආපසු පැමිණෙන අතර පිටුපසින් වයසක මිනිසකුගේ කටහඬක් ඇසී එදෙස හැරී බැලුවේය. එවිට ඒ වයසක පුද්ගලයා ඇසුවේ මට මෙහෙන් වැඩට ගන්න හොඳ කෙනෙක් නැද්ද යනුවෙනි. තරුණයා අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් “මට පුළුවන් ඔබගේ වැඩට එන්න” යි කීවේය. මහල්ලා සතු විශාල මලු තුනක් පෙන්වා “මට එහා ගමට යන්න ඕනෑ. මට මේ මලු තුනම තනියම රැගෙන එතරම් දුරක් යෑමට අමාරුයි. ඔබට පුළුවන් ද මට මේ එක මල්ලක් රැගෙන යාමට උපකාර කිරීමට. මම එයට ඔබට රන්කාසි තුනක් ගෙවන්නම්” යැයි පැවසුවේය. තරුණයා එකඟ විය.

යන අතරතුරේ මහලු පුද්ගලයා “ඔබ රැගෙන යන බෑගයේ තිබෙන්නේ ලෝකඩ කාසි.” යැයි පවසමින් තරුණයා දිහා හොඳ අවධානයෙන් බැලීය.

තරුණයා සිතින් සිතුවේ “මේ මහලු මිනිසා මම පැනලා යයි කියල සිතනවා ඇති. ඒත් මම වංචාවක්, හොරකමක් කරන්නේ නැහැ. කාසි වලට මම ඔහුගේ විශ්වාසය බිඳීන්නේ නැහැ” යනුවෙනි.

බොහෝ දුරක් ගිය දෙදෙනාට ගඟක් තරණය කිරීමට සිදුවිය. එහිදී මහලු මිනිසා පැවසුවේ “මම මහලු වැඩී. මලු දෙකක් රැගෙන මේ ගඟ තරණය කරන්න අපහසුයි. මාව ගඟේ ගිලෙන්නටත් පුළුවන්. ඔබට පුළුවන්ද තව මල්ලක් රැගෙන යන්න. මම ඔබට තවත් රන් කාසි තුනක් දෙන්නම්” යනුවෙනි. තරුණයා එයට ද එකඟ වී තව මල්ලක් ඔහුගේ අතට ගත්තේය. එහිදී මහල්ලා තරුණයාගෙන් පොරොන්දුවක් ගත්තේ “ඔබ පැනලා යන්නේ නෑ නේද? මොකද මේ බෑගයේ තිබෙන්නේ රිදී කාසි” යැයි පවසමිනි. අයහපත් සිතිවිල්ලක සේයාවක්වත් නොතිබුණු තරුණයා “බයවෙන්නට එපා. මම නරක කෙනෙක් නෙවෙයි. මාව විශ්වාස කරන්න” යැයි පැවසීය. රිදී කාසි වලටත් තරුණයාගේ යහපත් සිතිවිලි යටපත් කිරීමට නොහැකි විය. දෙදෙනාම ගඟ තරණය කළහ.

තව ටික දුරක් යන විට මොවුන් ළඟා වූයේ කන්දක් වෙතය. තරුණයා හෙමින් හෙමින් කන්ද උඩට නගින්නට පටන් ගත් විට මහලු පුද්ගලයා මඟ නැවතී තරුණයාට පැවසුවේ “මට වයස වැඩියි. මට හරියට ඇවිද ගන්නත් බැහැ. මට හති. මං කොහොමද මේ කන්ද වේගයෙන් තරණය කරන්නේ මේ මල්ලත් රැගෙන?” යනුවෙනි. තරුණයා තුන්වැනි මල්ල ද දරාගෙන කන්ද තරණයට පොරොන්දු විය. මහලු මිනිසා දෙගඩියාවෙන් යුතුව මෙලෙස පැවසුවේය. “මේ මල්ලේ නම් තිබෙන්නේ රන් කාසි. ඔබ මෙය රැගෙන පලා ගියහොත් මට ඔබ පසුපස දුවගෙන එන්නටවත් බැහැනෙ.” එවිට තරුණයා “මම ඔබට කලිනුත් කිව්ව මං අවංකකම අගය කරනවා කියලා. මට ඔබගේ මේ කාසි වැඩක් නෑ” යි පැවසුවේය. මහලු මිනිසා රන්කාසි මල්ලද මේ තරුණයාට දී “ඔබ එහෙනම් හෙමින් එහා පැත්තට යන්න. මම ඔබ පසුපස එන්නම්” කීවේය. මලු තුනම කරට ගත් තරුණයා ඉතා අමාරුවෙන් ඉදිරියට ඇදුණේය. එවිට ඔහුට විවිධ සිතුවිලි ගලා එන්නට විය.

“මා මේ මලු තුනම රැගෙන පලා ගියහොත් ඒ මහල්ලාට මාව අල්ලා ගැනීමටවත් බැහැ. ඔහු නම් තව ටික දවසකින් මැරිලා යාවි. ඒත් මම තවම තරුණයි. මට කියලා ගෙයක් දොරක්, වාහනයක්, සියලු සැප සම්පත් මේ කාසිවලින් ලබාගෙන ලස්සන බිරිදක් එක්ක මුළු ජීවිත කාලෙම ගෙවන්න පුළුවන්. ධනය නිසා ගෞරවය, බලය, අවධානය සියල්ල නිකම්ම මා වෙත ළඟා වෙනවා.” මෙසේ ඔහුට නොදැනීම අයහපත් සිතිවිලිවලින් සිත පිරී ගිය මොහොතේ සිට තරුණයාගේ ගමන වේගවත් වී අවසන දුවන්නට විය. ඔහු නතර වූයේ තම නිවෙස වෙත ආ පසුය. ඔහු වහාම මලු තුනම විවෘත කළේය. ඔහු පුදුමයට පත් කරමින් ඒ මලුවල කාසි වෙනුවට පොඩි ගල් කැට රාශියක් තිබිණි. ඔහු මහත් කම්පා විය. ඒ අතර ලියුමක්ද සැඟවී තිබුණි. ඔහු එය අතට ගෙන කියවීමට පටන් ගත්තේය.

“මම මේ රාජධානියේ රජු. මම මහලු නිසා මාගේ අනුප්‍රාප්තිකයා විදියට රජ වීමට සුදුසු තරුණයෙකු සොයන්න යන ගමනේදී තමයි ඔබව හමුවුණේ. ඔබ මේ මලු තුන රැගෙන පලා නොගියා නම් මෙය කියවන ඔබට රජ කෙනෙකු වීමට තිබුණා.”

ජීවිත කාලයම අවංකව කටයුතු කළ මුත් එක් අවස්ථාවක මතු වූ අයහපත් සිතුවිල්ල නිසා ඉරණම වෙනස් විය.කම්පා වූ ඔහු මේ සියල්ල සෙන් ගුරුතුමෙකුට පැවසුවේය.

සෙන් ගුරුතුමා ඔහුට මෙලෙස පහදා දුන්නේය. “ඔබ ඔබගේ ක්ෂණික අයහපත් සිතිවිලි නොසලකා හැරියා නම් ඔබ අද සිටින තැන ඔබටත් සිතාගත නොහැකියි දරුවෝ. සිතිවිලිවල මොහොතක ප්‍රමාදය නිසා ජීවිතය පුරා තිබූ ඔබගේ වටිනාකම් නැති වී යා හැකියි. ඔබට නැවත කිසිදා නොලැබෙන අවස්ථාවක් මගහැරීමට තරම් ඒ සිතුවිල්ල ප්‍රබලයි. දරුවෝ, මෙය තමයි සිතිවිල්ලේ බලය” යැයි සෙන් ගුරුතුමා පැවසුවේය.

අපගේ සිතුවිලි අපගේ ඉරණම හැඩගස්වයි. අයහපත් සිතුවිල්ලකට අපගේ ජීවිතය කෙතරම් ඉක්මනින් වෙනස් කළ හැකිද? අප කරන හැම ක්‍රියාවක්ම සිතුවිල්ලකින් හටගන්නා බව බුදු දහමේ ‘මනෝ පුබ්බංගමා ධම්මා -මනෝ සෙට්ඨා මනෝමයා’ ආදි වශයෙන් දේශනා කර ඇත.දහසක් යහපත් සිතිවිලි අතර එක් අයහපත් සිතුවිල්ලක් නිවන් මඟ පවා දීර්ඝ කරගැනීමට හේතු විය හැකිය. එනිසා අපගේ අනාරක්ෂිත සිතුවිලි නැමැති හතුරා තරම් විශාල හානියක් සිදුකළ හැකි වෙනත් හතරෙකු අපට නැත.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.