සාර්ථකත්වය අහම්බයක්ම නොවේ

ජනවාරි 3, 2025

අලුත් වසරකට පිය නඟන අපට අලුත් බලාපොරොත්තු, අලුත් අරමුණු සාක්ෂාත් කර ගැනීමට ඇති වැදගත්ම කාරණාවක් වන්නේ සාර්ථකත්වයේ මාර්ගයයි. සාර්ථකත්වය තිබෙන තැන සතුට රඳා පවතින බව අපි විශ්වාස කරමු. ඇත්තෙන්ම මිනිසකු ලෙස ඉපිද අසාර්ථක පුද්ගලයකු ලෙසින් මෙලොවින් සමුගන්නවාද නැතිනම් සාර්ථක මිනිසකු ලෙස සමුගන්නවාද යන්න තීරණය කළ යුත්තේ ඒ පුද්ගලයාම විසිනි.

සැවොම කැමති සාර්ථකත්වයේ හිනි පෙත්තට යාමටය. එයට උත්සාහය, කැපවීම, අධිෂ්ඨානය මෙන්ම මනා සිහිය ඉතා වැදගත් වෙයි. ඇත්තෙන්ම සාර්ථකත්වය යනු භෞතිකව හා අධ්‍යාත්මිකව තම තමන්ට අපේක්ෂිත අරමුණු සාක්ෂාත් කර ගැනීම ඔස්සේ ලබන ජයග්‍රහණයකි. ලොව සාර්ථකත්වයේ හිනිපෙත්තට ගිය පුද්ගලයන් බොහෝ විට පියවරෙන් පියවර සාර්ථකවූවන්ය. සිද්ධාර්ථ කුමාරයාගේ සිට ඒ සඳහා අපට නිදසුන් සැපයිය හැකිය. සාර්ථකත්වය යනු ක්ෂණිකව ලබාගත හැක්කක් නොවේ. එය උත්සාහයෙන් කාලයක් පුරා කරන ලද කැපකිරීම්වල එකතුවකි. එහිදී විවිධ අභියෝගවලට මුහුණ දීමට සිදුවේ. සම්මා සම්බුදු රජාණන්වහන්සේ දේශනා කර ඇති පරිදි අටලෝ දහමින් කම්පා නොවීම ද මෙහිදී බෙහෙවින් වැදගත්ය. සාර්ථකත්වයට යන ගමනේදී මේ කිසිවක් බාධා ලෙස ගෙන කම්පා නොවී ඉදිරියට යෑම ගිහි අපට අමාරුවෙන් වුවත් පුහුණු කළ යුත්තකි.

පහත සඳහන් සෙන් කතාවෙන් අප සාර්ථකත්වය ළඟා කරගත යුත්තේ කෙසේද යන්න පැහැදිලි වේ.

“ජපානයේ විසූ එක්තරා තරුණයෙකුට සාර්ථකත්වයට පත්වන්නේ කෙසේද යන්න ප්‍රශ්නයක් විය. ඔහු සමාජය තුළ සිටින සාර්ථක පිරිස නිරීක්ෂණය කළේය. සාර්ථකත්වයට ළං වන්නේ කෙසේද යන්න පිළිබඳව කල්පනා කළේය. අවසන මේ පිළිබඳ දැන උගත් පුද්ගලයකුගෙන් අසා දැනගත යුතු යන්න කල්පනා කර සෙන් භික්ෂූවක් වෙත ගියේය. මේ තරුණයා එම භික්‍ෂුවගෙන් සාර්ථක වන්නේ කෙසේද යන්න විමසුවේය.

“දරුව, එය කියා දීම පහසු කටයුත්තක් නොවේ. එහෙත් ඔබට එය දැන ගැනීමට අත්‍යවශ්‍ය නම් හෙට උදේ හිරු නැඟීමට පෙර මේ ආරාමය අසල ඇති ගං ඉවුරට පැමිණෙන්න“ සෙන් භික්ෂූන්වහන්සේ පැවසූහ.

තරුණයා පසුවදා උදෑසනම ඉතා උද්යෝගයෙන් ගඟ අසලට පැමිණියේ බලාපොරොත්තු රාශියක් සිතේ පොදි බැදගෙනය. ඒ වනවිට සෙන් භික්ෂුව ද ඒ ගඟ අසල සිටිනු දුටු තරුණයා වහා එතැනට ගියේය.

“අප දැන් ගඟට බැසිය යුතුයි. ඔබට මතු වී ඇති පැනයට එහිදී පිළිතුරු ලබාගත හැකියි.“ උන්වහන්සේ පැවසූහ.

තරුණයා සෙන් භික්ෂුව සමඟ ගඟට බැස කරවටක් ගැඹුර දක්වාම ගියේය. එහිදී සෙන් භික්‍ෂුව විසින් මේ තරුණයාට පවසන ලද්දේ හුස්මක් ගෙන දිය යටට ගොස් කිමිදෙන ලෙසය. තරුණයා එසේ කරද්දීම සෙන් භික්ෂුව විසින් තරුණයාගේ හිස තදින් අල්ලාගෙන ජලයෙන් උඩට ගැනීමට අපහසු වන සේ තබා ගන්නා ලදී. එවිට හුස්ම ගැනීමට අපහසු වූ තරුණයා දැඩි පරිශ්‍රමයක් යොදා දඟලා හිස උඩට ගැනීමට උත්සාහ කළේය. කෙසේ හෝ හිස ජලයෙන් මතුපිටට ගත් ඔහු එක්වරම ගෙන කෑ ගැසීය.

“ඔබ කුමක්ද ඒ කළේ? මාව මරන්නද හැදුවේ?“

එවිට සෙන් භික්ෂුව විසින් පෙරළා තරුණයාගෙන් මෙලෙස විමසන ලදී. “ඔබ ජලය තුළ සිටින විට ඔබට අත්‍යවශ්‍යම වුණේ මොනවද? ඔබ මොනවා වෙනුවෙන්ද දැඟලුවේ?“

තරුණයා පැවසුවේ “හුස්ම, හුස්ම. හුස්ම ගැනීමටයි මම මහන්සි වුණේ“ යනුවෙනි.

එවිට සෙන් භික්ෂුව විසින් පවසන ලද්දේ “අන්න එයයි සාර්ථකත්වයේ රහස. ඔබට එය තේරුණාද දරුවා. ඔබට යමක සාර්ථකත්වය ලබා ගැනීමට අවශ්‍ය නම් ඔබ හුස්ම ගැනීමට දැඟලුවා සේම ඒ අවශ්‍ය දෙයට මහන්සි වන්න. එනම් ඔබ හුස්ම ගැනීමට ගත් උත්සාහය නිසා ඔබ ජීවිතය බේරගත්තා. ඔබට සාර්ථකත්වය අවශ්‍ය නම් ඒ කාරණාව උදෙසා හොඳීන් මහන්සි වන්න. විවිධ ආකාරයේ පැතිකඩ සොයාගෙන ගොස් උත්සාහ ගන්න. ඒ තමයි සාර්ථකත්වයේ රහස. ඔබට මා මේ ප්‍රයෝගිකව කර පෙන්නුවේ ඔබට එහි අදහස හොඳීන් පැහැදිලිව වටහා ගැනීමටයි. ඕනෑම දෙයකට ඇති දැඩි අවශ්‍යතාවය දැඩි ආශාව සාර්ථකත්වයේ ආරම්භයයි.“

ඇත්තෙන්ම සාර්ථකත්වය යනු අප යම්කිසි දෙයක් ලබා ගැනීමට දරන උත්සාහයේ ප්‍රමාණය මඟින් නිර්මාණය වන්නකි. එහිදී අපට වරදින තරමටම වැඩි වන්නේ සාර්ථකත්වයේ මාර්ගයයි. පරාජය වූවා කියා සාර්ථකත්වයට යන මාර්ගය නතර නොකරන්න. එයට හේතුව එකී පරාජය වීම කිසිදා නොවැටෙන ශක්තිමත් පදනමක් නිර්මාණය කරන නිසාවෙනි. ඔබ පරාජය වූ කෙනෙකු නම් එය පන්නරයක් කරගන්න. එවිට දිනෙක ඔබගේ පන්නරයම ඔබට ආලෝකයක් වනු ඇත. මේ නව වසරට පා තබන ඔබ, අලුත් බලාපොරොත්තු, අරමුණු හඹා යෑමට සිටින ඔබ, නිතැතින් ඔබවම විශ්වාස කරන්න. කෙතරම් තෙහෙට්ටු වුවද මහන්සි වුව ද, කෙතරම් අතරමඟ කඩා වැටුණද තමාගේ සාර්ථකත්වයට යන මාර්ගය අවහිර නොකර ගන්න. සාර්ථකත්වයට එනතුරුම උත්සාහය අත් නොහරින්න. ඔබට සිනාසුණු, නින්දා අපහාස සිත් රිදවීම් කළ අය ඔබට ප්‍රශංසා කරන දවසක් නිතැතින්ම පැමිණෙනු ඇත.

ඔබ 2025 සඳහා බලාපොරොත්තුවක් තබා නොගත් කෙනෙක් නම් දැන්ම මනස අවදි කරන්න. අරමුණු ඉටු කරගන්නා තෙක් ශක්තිමත්ව ජීවිතයට මුහුණ දෙන්න. ඔබ විසින් ඔබවම දිනෙක ජයග්‍රහණය කරා ගෙන යනු ඇත. උත්සාහය ඔබට බාරය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.