දෛව අංක 2න් උපන් ඔබ ගැනයි මේ

දෙසැම්බර් 27, 2024

අංක විද්‍යාව සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන බොහෝ අය තම දෛව අංකය පිළිබඳ වැඩි අවධානයක් යොමු කරනු දක්නට ලැබේ. සමාජයේ බොහෝ දෙනෙක් වාසනා අංකය නමින් ද මෙය හඳුන්වයි. පුද්ගලයකුගේ ජීවිතය හා සම්බන්ධ වැදගත් කාරණා සම්බන්ධයෙන් දෛව අංකය සුවිශේෂී තැනක් හිමිකර ගනියි. තමන්ගේ උපන්දිනය දන්නා ඕනෑම කෙනෙක්ට දෛව අංකය පහසුවෙන් සොයාගත හැකිය.

එය සොයාගනු ලබන්නේ උපන් අවුරුද්ද, මාසය, දිනය තනි අංකයක් වන ලෙස එකට එකතු කිරීමෙනි. මේ උදාහරණයේ ආකාරයට ඔබටත් ඔබගේ දෛව අංකය පහසුවෙන්ම සොයාගත හැකිය.

උදා - 1985.03.12

1+9+8+5+3+1+2 = 29

2+9 = 11

1+1 = 2

මේ අනුව මොහුගේ දෛව අංකය 2 ලෙස ලැබී ඇත. ඔබගේ උපන් දිනයට අනුවද මේ ආකාරයෙන් දෛව අංකය සොයා ගන්න. දැන් දෛව අංක 2 න් උපන් අයගේ ජීවන තොරතුරු විමසා බලමු.

චන්ද්‍රයා හෙවත් සඳු ග්‍රහයා දෛව අංක 2 ට බලපෑම් කරන ග්‍රහයා බවට පත්වෙයි. චන්ද්‍රයා යනු බොහොම සියුමැලි සංවේදී සිතට අධිපතිත්වය නියෝජනය කරන ග්‍රහයෙකි. සඳුගේ එළියට හැමෝම ආසා කරනවා වගේම සඳුගේ කිරණෙහි සිසිලස විඳීමට කවුරුත් ප්‍රිය කරති. චන්ද්‍රයා ස්ත්‍රී ග්‍රහයකු ලෙස හඳුන්වන හෙයින් එවැනි සෞම්‍ය ගති ලක්ෂණද මොවුන් කෙරෙහි පිහිටයි.

දෛව අංක දෙකෙන් උපන් අය කලබලකාරී අය නොවෙයි. රණ්ඩු සරුවල්වලට කැමති අය ද නොවෙයි. බොහොම සාමකාමී නිවුණු පරිසරයකට මොවුන් ආසා කරයි. ඒ වගේම හොඳ කල්පනා ශක්තියකින් ද යුක්ත වෙයි. එහෙත් බොහොම ඉක්මනින් ඔවුන්ගේ සිතිවිලි වෙනස් වන ස්වභාවයෙන් යුක්ත වෙයි. එක සිතිවිල්ලක බොහෝ කාලයක් රැඳී සිටීමට නොහැකිව ඉක්මන් වෙනසක් අපේක්ෂා කරයි. ඒ වගේම බොහොම තද සංවේදී හිතක් මොවුන්ට ඇත. මේ සංවේදී බව නිසාම බොහෝ ඉක්මනින් කම්පාවට පත් වන අවස්ථාද ඇත. ජීවිතයේ බැරෑරුම් අපහසු අවස්ථා දරා ගැනීමට තරමක් අපොහොසත් බවක් ඇති කරයි. එහෙත් මොවුන්ට හොඳ දාර්ශනික සිතුවිලි ඇත. අනෙක් අය සමග සහයෝගයෙන් එකමුතුව කටයුතු කිරීමට මොවුන් කැමැත්තක් දක්වයි. උපක්‍රමශීලීව තම කටයුතු කර ගැනීමටද මොවුන් දක්ෂ වෙයි. හොඳ සූක්ෂ්ම ඥානයක් මොවුන්ට සහජයෙන්ම උරුම වී ඇත.

කිසිම දිනෙක දෛව අංක දෙකෙන් උපන් අය වැරදි කරන්නට කැමති නැත. ඔවුන් වැරදිවලට බියක් දක්වයි.

සමාජ සාධාරණත්වය අගය කරන මොවුන් හැම විටම නීතිගරුකව ජීවත් වීමට උත්සාහ ගනී. අන් අයගේ අවධානය පහසුවෙන් දිනා ගත හැකි වචන හෙවත් කතා විලාසයක් මොවුන්ට සහජයෙන් ලැබී ඇත. මිනිසුන් සමඟ සහයෝගයෙන් වැඩ කිරීමේ දක්ෂතාවය මොවුන්ට ඇත. මොවුන් කාටත් ප්‍රියමනාප පුද්ගලයන් ලෙස සමාජය තුළ හැසිරෙයි.

මොවුන් බොහෝ විට සෑම දෙයක්ම පිළිවෙළට කිරීමට උත්සාහ ගනී. අන් අයගේ සිත් ඇදගන්නා ආකාරයට ප්‍රියමනාප ලෙස ලස්සනට අඳීන්න පලඳීන්නට කැමැති වෙයි. එමෙන්ම මොවුන් නිතරම සතුටින් සිටීමට උත්සාහ කරන අතර දුකෙන් කාලය ගත කිරීමට කැමැති නැත. මොවුන් බොහෝ විට තම විනෝදාංශයක් ලෙස ගීත ගායනය, කාව්‍ය සංගීතය චිත්‍ර ආදී සෞන්දර්ය අංශවලට වඩාත් ළැදියාවක් දක්වයි. එවැනි දේවලින් සතුටක් ද ලබයි. බොහෝවිට ලේඛන කලාවට ද මොවුන් දක්ෂතාවයක් දක්වයි.

ජීවිතය විඳවීමට වඩා විඳීන්නට කැමති මොවුන්ට හොඳ රසවින්දනයක් වගේම සාහිත්‍ය ළැදියාවක් ද ඇත. හොඳ කාල්පනික හැකියාවක් ඇති මොවුන් තම දක්ෂතාවයන් සහ හැකියාවන් කුඩා කල සිටම හදුනාගෙන ඒ පිළිබඳ වඩාත් උනන්දුවෙන් කටයුතු කළහොත් ජීවිතයේ ඉහළ සාර්ථකත්වයක් ලැබිය හැකි පුද්ගලයන් බවට පත්වෙයි. මොවුන්ට හොඳ මතක ශක්තියක් ද පිහිටා ඇති අතර බුද්ධිමත් මිනිසුන් බොහෝ දෙනකු දෛව අංක දෙකෙන් උපත ලබා ඇත.

අනවශ්‍ය ලෙස කම්පා වීම හා අධික සංවේදී බව මොවුන්ගේ දුර්වලතාවයක් ලෙස දැකිය හැකිය. මොවුන් උපදේශනයට බොහෝ හැකියාවක් මෙන්ම දක්ෂතාවයක් ඇති පුද්ගලයන් වෙයි. අන් අයගේ සිතුවිලි හොඳීන් තේරුම් ගැනීමේ හැකියාවක් මොවුනට ඇත. මුදල් ඉපැයීමට දක්ෂ සේම වියදම් ද යෙදෙයි. ආර්ථිකමය වශයෙන් ශක්තිමත් වීමට ද පුළුවන.

දෛව අංක දෙකෙන් උපන් ඔබ තීරණ ගැනීමේදී ඉක්මන් නොවිය යුතුය. කල්පනාකාරීව දුර දිග සිතා බලා තීන්දු තීරණ ගැනීම නුවණට හුරැ වෙයි. ආවේගශීලී භාවයද පාලනය කර ගැනීමට උනන්දු වන්න. මානසික වශයෙන් ඇති අලස භාවය හෙවත් උදාසීන භාවය ද ඔබගේ දියුණුව පහත හෙළන දුර්වලතාවයන් බව මතක තබා ගන්න. ඔබ නිසි සැලැස්මකට අනුව කටයුතු කිරීම තුළ ඉහළ සාර්ථකත්වයක් උදාකරගත හැකිය.

(දෛව අංක තුනෙන් උපන් අයගේ පලාපල ලබන කලාපයෙන් බලාපොරොත්තු වන්න.)

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.