බුද්ධිය ප්‍රඥාව ආරක්ෂාව දෙන මහා බලගතු අභිසම්භිධාන පිරිත

දෙසැම්බර් 6, 2024

 

මෙලොවදී යම් සත්ත්වයෙකුට ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව “ආරෝග්‍යා පරමා ලාභා” යනුවෙන් බුද්ධ දේශනාවේ සඳහන් වේ. ආනන්ද, සැරියුත්, මුගලන්, මහා කාශ්‍යප, සීවලී හා අංගුලිමාල ආදී මහ තෙරුන් වහන්සේ ලැබූ තනතුරු දක්වමින්, සත්‍යක්‍රියාවක ආකාරයෙන් ථෙරවාදී බුද්ධාගමේ පාලි භාෂාවෙන් සකස් වූ පෞරාණික පිරිතක් වශයෙන් මහානුභාව සම්පන්න අභිසම්භිධාන පිරිත දැක්විය හැකි ය.

මේ පිරිත “අබිසම්භිදාන, අභිසම්භිදාන” යන අක්ෂර වින්‍යාසයේ වෙනස්වීම් සහිතව භාවිත වන අතර “අභිසම්භිධාන” යන්නේ අර්ථය වන්නේ, මහා තීක්ෂණ බුද්ධිය, ගැඹුරු ප්‍රඥාව සහ සිව්දෙසින්ම ආරක්‍ෂාව යන්නය.

සාමාන්‍යයෙන් මහානුභාව සම්පන්න පිරිතකින් සිදු කෙරෙනුයේ උත්තරීතර සම්බුද්ධ ශාසනය තුළ පවතින්නා වූ අනන්ත ගුණ බලයෙන් ආරක්ෂාව හා දියුණුව ප්‍රාර්ථනා කිරීමයි. අප හට වැලඳී තිබෙන යම් රෝගයක්, ග්‍රහ දෝෂයක් මෙන්ම යක්‍ෂ දෝෂ පවා දුරු කිරීමේ බලයක් මේ බලගතු අභිසම්භිධාන පිරිත තුළ ගැබ් වී පවතී. මෙය සජ්ඣායනයේ යෙදෙන වාර ගණන අනුව මෙහි ආනිසංස වැඩි වැඩියෙන් ලබාගත හැකිය.

එසේම මේ පූජනීය බලගතු සූත්‍රය කියන වාර ගණන අනුව ආශිර්වාදය ලැබෙන ආකාරයට වජ්‍රායන ධරණී මන්ත්‍ර ගණයෙන් නිර්මිත වූවකි. මේ සූත්‍රය තුළ අංගුලිමාල තෙරුන්වහන්සේ ගැන සඳහන් වන බැවින් ගැබිනි මව්වරුන් අතර ද ජනප්‍රිය වී ඇති පිරිතකි. සංඝයාවහන්සේ යම් රෝගියෙකු සඳහා ආශිර්වාද කිරීමට ද අභිසම්භිධාන පිරිත බොහෝ අවස්ථාවල යොදාගනු ලබයි.

අභිසම්භිධාන පිරිත මගින් අන්‍යාගමිකයන්ට ද පිහිට පැතිය හැකි අතර මේ පිරිත සජ්ඣායනා කිරීම තුළින් ආකර්ෂණ ශක්තිය ලැබෙන බවට ද විශ්වාසයක් පවතී. රෝගී තත්ත්වවලින් ඉක්මන් සුවය ලැබීමට මෙන් ම සතුට සෞභාග්‍යය උදාකර ගැනීමට ද මේ මහානුභාව සම්පන්න පිරිත පිටිවහලක් වේ.

යුත්තේ යුත්තේ පජ්ජලති පජ්ජලති තීහුං තීහුං ලුහු ලුහු පරමේස්වාහඞ” යනුවෙන් 07 වතාවක් සජ්ඣායනා කරන මේ සූත්‍රය භාවිත කරන ආකාරය හා එහි අර්ථය මෙසේ ය.

1.නමෝ අභිසම්භිධානේ යුත්තේ යුත්තේ පප්ජලති පප්ජලති තීහුම් තීහුම් ලුහු ලුහු පරමෙස්වාහඞ

2.නමෝ සම්මා සම්බුද්ධේ යුත්තේ යුත්තේ පප්ජලති පප්ජලති තීහුම් තීහුම් ලුහු ලුහු පරමෙස්වාහඞ

3.නමෝ පච්චේක බුද්ධේ යුත්තේ යුත්තේ පප්ජලති පප්ජලති තීහුම් තීහුම් ලුහු ලුහු පරමෙස්වාහඞ

4.නමෝ අට්ඨ පුග්ගල සාවක සංඝේ යුත්තේ යුත්තේ පප්ජලති පප්ජලති තීහුම් තීහුම් ලුහු ලුහු පරමෙස්වාහඞ

5.නමෝ බක්කුල මහාථෙරෝ මහා කායෝ මහා බලෝ යුත්තේ යුත්තේ පප්ජලති පප්ජලති තීහුම් තීහුම් ලුහු ලුහු පරමෙස්වාහඞ

6.නමෝ සීවලී මහාථෙරෝ මහා සීලෝ මහා ගුණෝ යුත්තේ යුත්තේ පප්ජලති පප්ජලති තීහුම් තීහුම් ලුහු ලුහු පරමෙස්වාහඞ

7.නමෝ සත්තසිංස බෝධි පක්ඛිය ධම්මා චත්තාරෝ සතිපට්ටනා, චත්තාරෝ ඉද්ධිපා, චත්තාරෝසම්මප්පධානා, පංචඉන්ද්‍රියානි, පංචබලානි, සත්ත බොජ්ඣංගාණි, අරියෝ අට්ඨංගිකෝමග්ගෝ , බුද්ධමන්තං මන්තා ච, ධම්ම මන්තං මන්තා ච, සංඝ මන්තං මන්තා ච, (මයිහං හෝ තුයිහං) සබ්බරෝග, සබ්බදොස, සබ්බංතරාය, විනස්සන්තු යුත්තේ යුත්තේ පප්ජලති පප්ජලති තිහුම් තීහුම් ලුහු ලුහු පරමෙස්වාහඞ

මෙය තමන්ට කියන විට,”මයිහං” ලෙස ද ,අනුන්ට කියන විට, “තුයිහං” ලෙස ද යොදා සජ්ඣායනා කරයි. පිරිමි අයෙකුට නම්, “නාමස්ස” ලෙස ද ස්ත්‍රියකට නම්, “නාමිකාය” ලෙස ද යොදා ගනී. යම් අයකු සඳහා අශීර්වාද ලබාගැනීමට නම යොදාගන්නා ආකාරයය මෙසේය. නිදසුනක් වශයෙන්, නම යෙදීමේ දී අමාලි නාමස්ස හෝ කමල් නාමස්ස ලෙස යොදා ගත යුතු ය.

මෙහි සිංහල අර්ථය නම්,

අභිසම්භිධානයට හෙවත් ගැඹුරු විචක්ෂයණයට නමස්කාර වේවා, සම්බුද්ධත්වයට නමස්කාර වේවා, පසේ බුද්ධත්වයට නමස්කාර වේවා, ආනන්ද මහතෙරුන්ට නමස්කාර වේවා, මහා කාෂ්‍යප මහතෙරුන්ට නමස්කාර වේවා, සීවලී මහතෙරුන්ට නමස්කාර වේවා, සැරියුත් මුගලන් දෙනමට නමස්කාර වේවා.

මහා වීර වූත්, මහා බල වූත් අංගුලිමාල මහතෙරුන්ට නමස්කාර වේවා, සත්තිස් බෝධිපාක්ෂික ධර්මවලට, සතර සෘද්ධිපාදවලට, සතර සම්ප්‍රදානවලට, ඉන්ද්‍රිය ධර්ම 05ට (සද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා) , පංච බලවලට (එම පහම බල වශයෙන් ගැනේ), සප්ත බෝධ්‍යංගවලට, ආර්ය අෂ්ටාංගික මාර්ගයට, බුද්ධ මන්ත්‍රය ද මතුරා ඇත, ධර්ම මන්ත්‍රය ද මතුරා ඇත, සංඝ මන්ත්‍රය ද මතුරා ඇත. (රෝගියාගේ නම) යන නම ඇති අයගේ සියලු රෝග, දෝස, අන්ත්‍රා විනාශ වේවා. යන්න ය.

ඒ අනුව, මේ මහානුභාව සම්පන්න පිරිත ජීවිතයට එක් කරගනිමින් නිරෝගී සුව ලබාගනු මැනවි.

 

රාජකීය පණ්ඩිත,

දර්ශනපති,

බෙන්ගමුවේ

ඉන්දරතන හිමි

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.