වර්ෂ 2025 ක්වූ January 17 වැනිදා Friday
ඔබ ඉපදුණේ ඕනෑම මාසයක 5-14-23 දිනයක නම් ආකර්ෂණීය රූපයකට හිමිකම් ඇත
ජන්ම අංක 5 බුධ ග්‍රහයාගේ කම්පන බලවේගයට යටත් වෙයි. මොවුන් නවීන අදහස් ඇති ක්‍රියාශීලී මනසක් ඇති ප්‍රායෝගික පුද්ගලයන් වෙයි. ඕනෑම දෙයක් පිළිබඳව ගැඹුරින් විනිවිද සිතීමේ ශක්තියක් ඇත. ඥානයට අධිපති බුධ නියෝජනය කරන බැවින් ඉතාමත් තීක්ෂණ බුද්ධියක් ඥානයක් මොවුන් සහජයෙන්ම උරුම කරගනී.
නිතරම කල්පනාකාරීව කටයුතු කරන මොවුන් ඉතාමත් විශිෂ්ට ලෙස සැලසුම් සහගතව කටයුතු කරයි. ඉතා සරල සිතුම් පැතුම් ඇති මොවුන් සැහැල්ලු ජීවිතයක් ගතකරයි. ඉතා ක්‍රියාශීලී මෙන්ම උද්වේගකාරී ගති මොවුන් තුළින් දැකිය හැකි අතර ක්ෂණික තීරණවලට එළඹීමේ ලක්ෂණද පවතී. මොවුන් ආවට ගියාට කිසිවෙකුට යටත් වන්නේ නැත. කරුණු හරිහැටි තේරුම් ගෙන අවබෝධයෙන් යටත් වෙයි. එමෙන්ම තමාගේ යටතේ පවතින සියලු දේ තමාට අවශ්‍ය විදිහට තිබිය යුතු යැයි සිතයි. එමෙන්ම තමාට අවශ්‍ය ආකාරයට අන්‍යයන් මෙහෙයවා ගැනීම කරයි. කාලයේ වටිනාකම තේරුම් ගෙන කාලයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට මොවුන් කටයුතු කරන අතර කාලය නාස්ති කිරීම අපරාධයක් ලෙස සිතයි. නිතර සතුටින් සිටීමට කැමති මොවුන් තමන්ගේ විනෝදය සහ සතුට වෙනුවෙන් ද කාලය කැප කරන අතර අන් අයටද විනෝදය සහ හාස්‍යය සැපයීම මොවුන් තුළ දක්නට ලැබෙන ලක්ෂණයකි.
වෙළෙඳාම් කිරීමෙහි සහ මුදල් ඉපයීමෙහි සහජ දක්ෂතා මෙන්ම හැකියාවත් කැමැත්තත් මොවුන්ට උපතින් ලැබී තිබේ. සමාජයේ ඕනෑම තරාතිරමක පුද්ගලයකු සමඟ කටයුතු කිරීමේ දක්ෂතාවය මොවුන් තුළ පවතින අතර තරමක් කපටි ස්වභාවයද මොවුන් තුළ ඇත. වැඩක් පටන් ගත් පසු එය ඉවර වනතුරු මොවුන්ට ඉස්පාසුවක් නැත. වැඩේ අත ගගා කාලය කන්නට කැමති නැත. ලෝකයේ ඉතා ධනවත් ව්‍යාපාරිකයන් මෙන්ම ජනප්‍රිය පුද්ගලයන් ජන්ම අංක පහෙන් ඉපදී ඇත. මොවුන් ඉතාමත් සුහදශීලී පුද්ගලයන් වන අතර මිත්‍රත්වය විශ්වාසය උපරිමයෙන් ආරක්ෂා කිරීම සිරිත වේ.
කිසිදාක ජීවිතයේ් තනි නොවන මොවුන් කොතැනට ගියත් මොවුන් වටා යම් පිරිසක් එකතුවීම සාමාන්‍ය දෙයකි. එමෙන්ම ඇවිදීමට සංචාරයට සහ එමඟින් විනෝදවීමට බොහෝ ප්‍රිය කරයි. ඕනෑම ප්‍රශ්නයක් ගැටලුවක් පැන නැගුණ අවස්ථාවක ඉතාම විචක්ෂණශීලීව එයට පිළිතුරු සොයා ගැනීමට දක්ෂ වෙයි. කලබල නොවී අවශ්‍ය තැනදී ක්ෂණික තීරණවලට එළඹීමේ හැකියාව පවතී. ඕනෑම තැනකට ගැළපෙන ලෙස වෙනස්වීමේ හැකියාව ඇති මොවුන් තැනේ හැටියට ඇණේ ගැසීමේ දක්ෂයන් වෙයි.
ඉතාමත් ආකර්ෂණීය රූප විලාසයකට උරුමකම් කියන මොවුන් කාගේත් සිත් ඇද බැඳ ගන්නා ලෙස අඳීන්නට පලඳීන්නට කැමතිවෙයි. මොවුන්ට කුඩා කාලයේ දී නිසි මඟ පෙන්වීමක් ලැබීම ඉතා වැදගත් වන අතර වැරැදි මිනිසුන් සමඟ වැරැදි පාරක වැටුණහොත් පාතාල නායකයන් වීම ද සිදුවිය හැකිය. මොවුන් එක තැනක වැඩි වේලා ගත කිරීමට කැමැති නොවේ. ඔවුන් නිතරම ඉක්මන් වෙනසක් බලාපොරොත්තු වෙයි. තරමක් කලබලකාරී ගති ද පවතී. එමෙන්ම මුරණ්ඩු හිතුවක්කාර ගති ද මොවුන් තුළ දැකිය හැකි වෙයි. එය හරියට කුඩා ළමයෙකුගේ දඩබ්බර හිතුවක්කාර ගතිය මෙනි. මොවුන් ඉක්මනින් කේන්ති ගන්නවා සේම ඉක්මනින් කේන්තිය නිවා ගනියි.
පින සහ පව කර්මය සහ කර්ම පලය පිළිබඳ විශ්වාස කරන මොවුන් දෙයක් කිරිමට පෙර බොහෝ සිතයි. යම් වැඩක නිරත වීමේදී සිත සහ ගත දෙකම ඒ වෙනුවෙන් උපරිම කැප කරන මොවුන් වෙහෙස ගැන නොසිතයි. ජීවිතයේ ඕනෑම අභියෝගයකට අවදානමකට මුහුණ දීමේ ශක්තිය ඇත. ජීවිතයේ අවස්ථා කීපයකදීම විශාල වාසි ලබන අතර අලාභවලදී දරා ගැනීමට ද පුළුවන. අන් අයට වඩා තියුණු උකුසු ඇස් දෙකක් මොවුන්ට තිබෙන අතර මොවුන්ට රහස් හැංඟීමට පහසු නැත. එමෙන්ම අන් අයගේ අඩුපාඩු දුර්වලතා හොඳීන් පෙනෙන අතර අන් අයට උපදෙස් දීමට ඉතා දක්ෂ වෙයි. ඔවුන්ට හොඳ ශරීර ශක්තියක් පවතින අතර ක්‍රීඩා කටයුතු ආදියට මෙන්ම විවිධ කලා හැකියාවන්ට ද මොවුන් දක්ෂ වෙයි.
ජන්ම අංක 5 හිමියන් ආර්ථික වශයෙන් ඉතාමත් දියුණු වීමට දක්ෂ වෙයි. විවිධ මාර්ගවලින් මුදල් ඉපයීමට දක්ෂතා ඇත. මොවුන්ගේ වියදම්කාරී බව තරමක් වැඩි වුවත් මුදල් පාලනයටද දක්ෂ වෙයි. තමන්ගේම වෙළෙඳාමකින් හෝ ව්‍යාපාරයකින් ඉතා දියුණුවට පත් විය හැකිය. විවිධ රැකියාවන් කිරීමේ හැකියාවන් තිබුණත් ඊට වඩා මොවුන්ට සාර්ථක වන්නේ වෙළෙඳ ව්‍යාපාරය. වාසනාවන්ත රැකියා සහ ව්‍යාපාර වශයෙන් පරිගණක ක්ෂේත්රය, මුද්‍රණ සහ ජනමාධ්‍ය ක්ෂේත්රය, තැපැල් සේවා, ප්‍රවාහන සේවා, පොත් අලෙවිසැල්, කොමියුනිකේෂන්, පාසැල් උපකරණ වෙළෙඳාම, රක්ෂණ කටයුතු සහ බැංකු කටයුතු, රෙදිපිළි වෙළෙඳාම, ළමා උපකරණ සහ සෙල්ලම් බඩු, විවිධ ප්ලාස්ටික් බඩු, මල් සහ කෘත්‍රිම ආභරණ, ආදි වෙළෙඳාම් සහ රැකියාවන් තුළින් සාර්ථකත්වය ලැබිය හැකිය. එමෙන්ම වෘත්තීන් වශයෙන් කථිකත්වය සහ උපදේශනය, ගුරු වෘත්තිය, ලිපිකරු වෘත්තිය, කාර්යාල කටයුතු, ඉංජිනේරු සහ තාක්ෂණ මෙන්ම නීති අංශයන් ද යහපත් වේ. වයස අවුරුදු 23 දී පමණ බොහෝවිට වෘත්තීය ජීවිතයකට පිවිසීමේ හැකියාව පවතින අතර වයස අවුරුදු 34 න් පසුව ජීවිතය ස්ථාවර වීමට පටන් ගනී.
මොවුන් ප්‍රමාණවත් තරම් විවේකයක් ගැනීම වැදගත් වන අතර අනවශ්‍ය ලෙස මනස වෙහෙසවීම සහ නිදි මැරීම පිළිබඳ වඩා සැලකිලිමත් විය යුතුය. කණගාටුව ඇතිකරන කාරණාවන්ගෙන් ඈත් වන්න. මනස සැහැල්ලුවෙන් තබාගන්න. පහසුවෙන් ස්නායු රෝග ඇති කළ හැකි අතර මානසික ආතතිය ද ඇති කළ හැකිය. එමෙන්ම දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි රෝග තත්ත්ව පිළිබඳව ද වඩා සැලකිලිමත් වන්න. තවද සෙම, පපුවේ හතිය, හුස්ම ගැනීමේ අපහසුතා, සමේ රෝග, උගුර ආශ්රිත ආබාධ, හිසේ අමාරු, උණ රෝග, රුධිරගත රෝග පහසුවෙන් ඇති කළ හැකිය. නිසි වෛද්‍ය උපදෙස් කලින් ලබාගෙන මනා සෞඛ්‍යයක් පවත්වාගෙන යෑමට කටයුතු කළ යුතුයි. එමෙන්ම දවසේ උදේ හෝ හවස පැය භාගයක් හෝ පැයක් පමණ ඇවිදීම ඉතා යහපත් වන අතර සතියට දිනක් ආහාර ගැනීමෙන් වැළකීම ද හොඳයි.
(ජන්ම අංක හයෙන් උපන් ඔබ පිළිබඳ තොරතුරු ලබන කලාපයෙන් බලාපොරොත්තු වන්න.)