සියලු යහපත අත් කර දෙන පහසු මඟ

ඔක්තෝබර් 18, 2024

දිනක් බුදු හිමියන් වෙත පැමිණි රාජ කුමාරයකු මෙසේ විමසීය.

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස ජීවිතය මහත් දුෂ්කරය. මේ සියලු දුක් ගැහැට තනිවම විඳ දරා ගැනීම අපහසුය. ජීවිතයට යහපත පමණක් ළඟා කර දෙන මඟක් ඔබ වහන්සේගේ සර්වඥතා ඥානයෙන් දැන වදාරනු මැනවි“

මඳ මඳ සිනහ පහළ කළ බුදු හිමියන් මෙසේ පිළිවදන් දුන් සෙක. “පින්වත් කුමාරය, සියලු යහපත ළඟා කර ගැනීමේ පහසුම මඟට එළෑඹීමට නම් පළමුව ඔබ කළ යුත්තේ ඔබ සිතන ආකාරය වෙනස් කර ගැනීමයි.“

විස්මයට පත් කුමරා “ස්වාමීනී, සිතන ආකාරය වෙනස් කර ගන්නේ කෙසේද? බොහෝ විට අප සිතනවාට වඩා සිදුවන්නේ අපට සිතුවිලි ගලා ඒමයි. එය අපට සිතෙන ආකාරය මිස සිතන ආකාරය නොවේ?“

බුදුන්වහන්සේ එවිට වංශවත් කුමරා හට මෙසේ දැන වදාළ සේක. “ තරුණ කුමාරය, ඔබේ ජීවිතයේ මඟ තීරණය කරන්නේ ඔබේ සිතයි. සිත සියල්ලට මුල් වේ. ඔබට නිරන්තර කනගාටුදායක දේම සිතෙන්නේ නම්, එයට හේතුව ඔබේ සිත පුරුදුව ඇත්තේ කනගාටුදායක දේ සිතීමටය. ඍණාත්මක දේ සිතන්නා වෙත නිරතුරුවම අසුබ දේ ළඟවන අතර, ධනාත්මකව සිතන්නා වෙත නිරන්තර සුබ සිද්ධියම ළඟා වනු ඇත.“

මොහොතක් කල්පනා කළ කුමාරයා යළිත් බුදු හිමියන් විචාළේය. “භාග්‍යවතුන් වහන්ස, සුබ සිද්ධිය පමණක් ඇති කරන ධනාත්මක සිතිවිලි පමණක් ඇතිකරවීමට මඟක් තිබේද?“

“කුමරුණි, ඔබ යම් බීජයක් රෝපණය කර එයට රැක බලා ගන්නා ආකාරයෙන්ම එහි වර්ධනය තීරණය කෙරෙනු ඇත. ඔබ එම බීජයට නිසි රැකවරණය, ජලය, පොහොර යොදන්නේ නම් එය ක්‍රමයෙන් වර්ධනය වී මහ විශාල වෘක්ෂයක් බවට පත්ව මල්පල ලබා දෙනු ඇත. එසේම ඔබ එයට සාත්තු නොකර අතහැර දමයි නම්, කනාටු වී යනු ඇත. සිතත් බීජයක් මෙන්ම රැකවරණය, නිසි සාත්තුව, පෝෂණය බලාපොරොත්තු වෙයි. හොඳීන් රැක බලා ගන්නා සිත ක්‍රමයෙන් වැඩී මහා වෘක්ෂයක් මෙන් ඔබට රසවත් අස්වැන්නක් ලබා දෙන්නේ කෙසේද, යහපත් සිතිවිලිවලින් පෝෂණය වූ සිත සියලු සුබ දෑ ඔබවෙත ළඟා කරන්නේ එසේමය.“ බුදු රජාණන් වහන්සේ පිළිතුරු පවසා වදාළ සේක.

“ස්වාමිනී, භාග්‍යවතුන්වහන්ස, සිතිවිලි බීජ පෝෂණය කිරීමට කළ යුත්තේ කුමක්ද?“

“තරුණ කුමාරය, ඒ සඳහා ඔබ කරුණු තුනක් කෙරෙහි අවධානය යොමු කළ යුතුය. ඉන් පළමුවැන්න වන්නේ ඔබේ සිතිවිලි පිරිසුදු කර ගැනීමයි. දෙවැන්න වන්නේ ඔබේ ක්‍රියාවන් යහපත් කරගැනීමයි. තෙවැන්න ඔබ ඔබේ වචන පාලනය කරගත යුතුයි. සිත, කය, වචනය ධනාත්මකව හසුරුවන පුද්ගලයා වෙත කිසි විටෙකත් ඍණාත්මක දේ ළඟා වන්නේ නැත“ යනුවෙන් අනුදැන වදාළහ.

අපේ සිත සියල්ලට මුල් වෙයි. සිත පිරිසුදු වන විට අපේ මුළු ජීවිතයම පවිත්‍ර වී මහත් සැනසිලිදායක්බවක් දැනෙන්නට ගනු ඇත. වචන අපේ ජීවිතයට විශාල බලපෑමක් කරයි. යහපත් දේ කතා බහ කරන, යහපත් වචන භාවිත කරන පුද්ගලයකු වෙත අයහපත් දේ කතා බහ කිරීමට කිසිවකු පැමිණෙන්නේ නැත. අප නිරන්තර ඍණාත්මක දේ පවසන්නේ නම්, නැති බැරිකම්, නොහැකියාවන්, දෝෂයන් ගැන පමණක් කතා කරන්නේ නම්, අපේ ජීවිතයට ළඟා වන්නේ ද ඒ ඍණාත්මක දේවල්මය. එවිට අපේ හැසිරීමෙන් මෙන්ම මුහුණෙන්, සිරුරෙන්, ඇඳුමින් පැලඳුමෙන් මෙන්ම මුළු කල් ක්‍රියාවෙන්ම පසුබෑ ස්වරූපයක් ගෙන එනු ඇත. එසේම නිරන්තර යහපත් වචන භාවිත කරන මෙන්ම ධනාත්මක දේ පවසන පුද්ගලයාගේ මුහුණෙන් පවා උද්යෝගයක් පෙන්නුම් කෙරෙනු ඇත. සිනාවෙන් යුතුව සියලු කටයුතු සතුටින් ඉටු කරන විට ඒ සියල්ල සාර්ථකත්වය වෙත ළඟාවනු ඇත. අපහසු දෙයක් වුව ධනාත්මකව සිතා ආරම්භ කළ හොත් එය ජය ගැනීමට මාර්ගයක් විශ්වයෙන් පෙන්නුම් කෙරෙනු ඇත. ඔබ අන් අයද උද්යෝගයට පත් කරන අයුරින් කතාබහ කරන්නෙකු නම් නිරන්තර ඔවුන්ගෙන් උදවු උපකාර සහ යහපත් ප්‍රතිචාර ඔබ වෙත ගලා එනු ඇත.

එසේ යහපත් සහ උද්යෝගීමත් දේ කතා බහ කරන අතරම අප අපේ ක්‍රියාවන් ද යහපත් කරගත යුතුය. තවත් අයකු දෙස වෛරයෙන්, ක්‍රෝධයෙන්, ඊර්ෂ්‍යාවෙන් බලා කටයුතු කරන විට පිරිහෙන්නේ තමන්ගේ ශරීර සෞඛ්‍යමය. අන් අයගේ දියුණුව හෝ යහපත සිතන පුද්ගලයාගේ මුහුණ මෙන්ම ශරීරය කාන්තිමත් වේ. පැහැපත් වේ. දෑස්වලින් කරුණාවන්ත සහ ආදරණීය ස්වභාවය දිස්වේ. යමෙකු අප දෙස බලන ආකාරයෙන් ඒ බැල්ම හෙළන්නේ කුමන චේතනාවකින් ද යන්න වටහා ගැනීමේ ඉවක් බොහෝ දෙනකුට ඇත. වචනයෙන් අප කුමක් කීවත් අපේ දෑස අපේ හදවත පිළිබිඹු කරන කැඩපතක් බඳුය. ඊර්ෂ්‍යාව, වෛරය, තරගකාරීත්වය අප සිත වෙලා ගන්නා විට අපට නොදැනීම වයසට වඩා වයස පෙනුමක්, වැහැරුණු සිරුරක් මෙන්ම කෙතරම් සිනහ වුවත් හෘදයාංගම නොවන ව්‍යාජ ගතියක් පෙන්නුම් කරනු ඇත. එනිසා අවංකවම ඔබ තමන්ගේ මෙන්ම අන් අයගේ යහපත ප්‍රාර්ථනා කරන්නේ නම් ඔබේ පෙනුම ආකර්ෂණීය වන්නේය.

එයට හේතුව අප වටා ඇති ශක්ති ශරීරය හෙවත් ඕරාව ප්‍රබල වීමයි. දූෂිත සිතිවිලිවලින් මෙන්ම ඍණාත්මක සංකල්පවලින් පිරි පුද්ගලයන්ගේ ඕරාව අඳුරු පැහැයක් ගන්නේය. එය පුද්ගලයා දෙස බලන්නකු හකුලා පෙන්වීමට හේතු වන්නේය. යහපත් සිතිවිලිවලින් පිරුණු, ධනාත්මක පුද්ගලයකු හඳුනාගත හැකි හොඳම ලක්ෂණය පිරිසක් මැද සිටින විට ඒ පුද්ගලයා අන් අය අතර කැපී පෙනීමයි. එහි තේරුම ඔහු හෝ ඇයගේ ඕරාව ප්‍රබල සහ වැඩි දුරක් පැතිරුණු එකක් බවට පත් වී තිබීමයි.

හොඳම උදාහරණය දේශපාලන ජයග්‍රහණ ලබන කාලය වන විට අදාළ දේශපාලනඥයාගේ දක්නට ලැබෙන දිලිසෙන්නාක් මෙන් පෙනුමයි. ජනතා ආකර්ෂණය ලබන පුද්ගලයාගේ ඕරාවේ ප්‍රබලත්වය වැඩි වනු ඇත. එවිට මහජනයා අතර සිටියද ඒ සුවිශේෂී පුද්ගලයා කැපී පෙනෙන චරිතයක් බවට පත්වනු ඇත.

දේශපාලනය පමණක් නොව ආයතනයක ප්‍රධානියකු, පාසල් ශිෂ්‍ය නායකයකු, රංගන ශිල්පියකු වැනි අන් අයට වඩා සමාජයේ කැපී පෙනෙන ඕනෑම අයකුගේ ඕරාව එතැන සිටින පිරිසට වඩා වැඩියෙන් විහිදී ඇති විට ඔහු හෝ ඇය අන් අය අතරින් විශේෂයෙන් හඳුනා ගැනීමට හැකි වනු ඇත.

ලෞකිකව බලවත් වන විට ලැබෙන ඒ පෙනුමම අධ්‍යාත්මිකව බලවත් වීමේදී ඊටත් වඩා වැඩියෙන් ලැබෙන නිසාය අප බුදු හිමියන් වටා රැස් වළල්ලක් ඇඳ පෙන්වන්නේ. එසේම ක්‍රිස්තුන් වහන්සේ ඇතුළු අනෙකුත් ශාස්තෘවරුන් මෙන්ම දෙවි දේවතාවන් වටා ද රැස් විහිදෙන ආකාරයකින් චිත්‍ර ශිල්පියා පෙන්වන්නේ ඒ සුවිශේෂී ඕරාවේ ගුණය දැක්වීමටයි.

වචනය මෙන්ම ක්‍රියාව යහපත් වීමට බලපාන්නේ පිරිසුදු වූ සිතය. සිත පිරිසුදු කරගැනීමේ පහසුම සහ හොඳම ක්‍රමය දිනකට සුළු වේලාවක් හෝ භාවනා කිරීමයි. තැන්පත් වූ සිතකින් කිසි විටෙකත් අයහපත් සිතිවිලි, ඍණාත්මක අදහස් පහළ වන්නේ නැත. එවිට නිරන්තර අප වෙත ගලා එන්නේද යහපත් දේ හා ධනාත්මක අදහස්ය. උද්යෝගයෙන් කටයුතු කිරීමට එය මහත් පිටිවහලක් වන්නේය.

බුදු හිමියන් වෙත පැමිණි තරුණ වංශවත් කුමරා කරුණු අවබෝධ කරගෙන දිනපතා භාවනාවේ යෙදෙන්නටත්, යහපත් මෙන්ම ධනාත්මක වචන කතා කිරීමටත්, යහපත් කටයුතුවල පමණක් නිරත වෙමින් ඍණාත්මක ප්‍රතිපල ගෙනෙන අයහපත් ක්‍රියාවලින් අත්මිදෙන්නටත් වූ විට වෙනදාට වඩා විශාල වෙනසක් ක්‍රමයෙන් ඔහුගේ ජීවිතයේ ඇති වන්නට විය. පියරජතුමා මෙන්ම අග මෙහෙසිය වූ මෑණියන් කුමරාගේ මේ වෙනස අත්දකින්නට විය. ජනතාව කුමරා වෙත මහත් ආදරය දක්වන්නට වූයේය. තම විරුද්ධවාදීන් පවා කුමරාගේ මේ වෙනස පිළිබඳ කතාබහ කරන්නට විය. පුරෝහිත ඇතුළු රාජ සභාවේ අන් සියලු දෙනා ද භාවනාවෙන් දවස අරඹන, යහපත් සිහියෙන් සිය කටයුතු කරන, උද්යෝගීමත් ලෙස දවස ගෙවන, ප්‍රිය වචන කතා කරන, කුරා කුහුඹුවකුටවත් වරදක් නොකරන, කාටත් ප්‍රියමනාප වූ කුමරා මීළඟ රාජ්‍යත්වයට සුදුස්සා බව ඒකමතිකව පිළිගත්හ.

අප සියලු දෙනාට වංශවත් කුමාරවරු හෝ කුමරියන් විය නොහැකි වුවත්, සාමාන්‍ය ජනයා අතර කැපී පෙනෙන ඕරාවක් සහිත, කාගේත් අවධානය දිනාගෙන කටයුතු කළ හැකි, උද්යෝගීමත් චරිතයක් බවට පත් විය හැකිය. ඒ සඳහා අප කළ යුත්තේ දිනකට විනාඩි කීපයක් හෝ අපේ මනස පිරිසුදු කිරීමේ අභ්‍යාසයක හෙවත් භාවනාවක නිරත වීමෙන් දවස ඇරඹීමය. එවිට යහපත් මානසිකත්වයෙන් අපේ දෛනික කටයුතු කරගෙන යෑමට හැකිවන අතර උද්යෝගීමත්ව, ධනාත්මකව, මනා සිහිබුද්ධියෙන් යුතුව අප වෙත පැවරෙන පෞද්ගලික හෝ වෘත්තීයමය රාජකාරී ඉටු කරගත හැකි වනු ඇත. කාටත් ප්‍රිය උපදනවන කතා බහ, සියලු දෙනා අගයන ක්‍රියාවන් අප අතින් ඉබේ සිදු වන්නේ එවැනි ධනාත්මක සිතිවිලි බීජ අප සිත තුළ නිසි පෝෂණයකින් වැඩෙන විටය. සෑම අභියෝගයක්ම අප වෙත එන්නේ ජීවිතයට යම් පාඩමක් පන්නරයක් එක් කිරීමටය. එනිසා වැරැදීම්, අභියෝගවලදී ඒ මත අපේ ගමන නතර කිරීම නොව එයින් ලබන අත්දැකීමෙන් තවත් අභියෝගයකට සාර්ථකව මුහුණ දීමට හැකියාව ලබා ගෙන නොකඩවා ගමන් කිරීමට අදිටන් කර ගැනීමට සාර්ථක පුද්ගලයකුගේ හැකියාව වන්නේ. එවැනි පෝෂිත ගසක් ලෙස වැඩෙන අපේ සිත මහා වෘක්ෂයක් වූ විට එහි මල්පල සතුටින් නෙළා ගෙන අපේ අරමුණු ජය ගැනීමත්, ජීවිතය දිනාගැනීමත්, සියලු යහපත පහසුවෙන් ළඟාකර ගැනීමත් පමණි අපට එවිට කිරීමට ඉතිරි වන්නේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.