කර්තෘට ලියුම්

පසුගිය සතියේ කර්තෘට ලියූ ලියුමට පිළිතුර
සැප්තැම්බර් 27, 2024

ශනි මංගල දෝෂය

විවාහය අවාසනාවන්ත කරන ග්‍රහ සංයෝගයක් ලෙස ශනි කුජ යෝගය හඳුන්වා දිය හැකිය. සමාජ ව්‍යවහාරයේ මෙය ශනි මංගල යෝගය හෙවත් කුජ-සෙනසුරු යෝගය ලෙසත් හැඳීන්වේ.

විවාහ ජීවිතයට පිවිසීමට බලාපොරොත්තුවෙන් සිටින බොහෝ දෙනකු මේ දෝෂය නිසා අනිසි බියක්ද ඇති කරගෙන තිබේ. මේ පිළිබඳ සුබසෙතට සමීප පාඨක චතුරිකා කර්තෘට ලියුම් මගින් පැනයක් යොමු කර තිබුණි.

එබැවින් ඇයගේ මෙන්ම සුබසෙත පාඨක සියලු දෙනාගේ ගෞරවණීය සුහදත්වයටත්, විවාහ අපේක්ෂිත සියලු දෙනාගේ සුබසෙත උදෙසාත් ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී රද්දොළුගම ලෙස්ලි ජයසිංහ මහතා ශනි මංගල දෝෂය පිළිබඳව ලබා දුන් පිළිතුර ඔහුගේම වචනයෙන් මෙසේ සටහන් කරමු. ශනි මංගල යෝගය යනුවෙන් අදහස් කරන්නේ , යම් ජන්ම පත්‍රයක ශනි සහ කුජ යන ග්‍රහයන් දෙදෙනා සංයෝගව එකම රාශියේ තැන්පත් වීමයි. එසේත් නැතහොත් සම සප්තමව පීඩා විඳීමයි. එනම් කුජ ශනි ග්‍රහයන් දෙදෙනා 1-7, 2-8, 3-9, 4-10, 5-11, 6-12 යන ස්ථානවල පිහිටා තිබීමයි. භාව කේන්දර පරීක්ෂාවේදී ශනි මංගල යෝගය තිබේදැයි නියත වශයෙන් ප්‍රකාශ කරන්න පුළුවන්. ශනි මංගල යෝගය යෙදීමෙන් අසාර්ථක විවාහයක්, දරුඵල නොලැබීම, දික්කසාද වීම යනාදී විවාහ දෝෂයන් ලෙස වැරදි මතයක් සමාජ ගත වී තිබෙනවා. ඒ වගේම ශනි මංගල යෝගය මූලික ඡ්‍යොතිෂ ග්‍රන්ථයක සටහන් වී නොමැති බවට 1999 පෙබරවාරි මස 19 වැනිදා බැංග්ලෝර්හි පැවති ඡ්‍යොතිෂ සම්මේලනයකදී රාම ක්‍රිෂ්ණන් පඬිවරයා ද පවසා තිබෙනවා.

ඇත්ත වශයෙන්ම මේ යෝගය හේතුකොට ගෙනම විවාහය අසාර්ථක වෙනවා යැයි සඳහන් කිරීමට නොහැකියි.

මන්දයත් ජන්මියාගේ ජන්ම පත්‍රයේ අනෙකුත් ග්‍රහ පිහිටීම් මතද විවාහයට බලපෑම් ගෙන දිය හැකි බැවින්. හිටපු ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ ජන්ම පත්‍රයේ 6-12 සම්බන්ධව ශනි මංගල යෝගයක් තිබෙනවා. මෙවන් ග්‍රහ පිහිටීමක් එතුමාගේ ආදරණීය බිරිඳගේ ජන්ම පත්‍රයේ දකින්නට නැහැ. නමුත් ඔවුන් සාර්ථක විවාහයක් ගත කළා.

මේෂ, වෘෂභ, කටක, සිංහ, තුලා, වෘශ්චික, මකර, කුම්භ ලග්න හිමියන්ගේ ජන්ම පත්‍රවල කුජ ශනි යෝග වී සිටීම රාජයෝගයක් වෙනවා. එමෙන්ම ශනි ග්‍රහයා ධනු හෝ මීන රාශිවල තැන්පත්ව කුජ සමග සංයෝග වීමේදී බොහෝ ලග්නවලට රාජයෝග උදා කරන අතර ලග්න දොළහටම රාජයෝග යෙදෙන බව ඉෂිකර පංචාංගයේ සඳහන් වෙනවා.

ශනි මංගල යෝගය භංග වන අවස්ථා මෙසේ දක්වමු.

1.මේ යෝගය ජන්ම පත්‍රයේ 2,3,6,9,10,11 යන භාවයන්හි පිහිටා තිබීමෙන් ශනි මංගල යෝගය බල නොපාන අතර එය ඉතා යහපත් පිහිටීමක් බවට පෙන්නුම් කළ යුතුයි.

2.විවාහ පරීක්ෂාවේ දී අනෙක් ජන්ම පත්‍රයේ කුජ ශනි යෝගව කොතැනක හෝ පිහිටා ඇත්නම් ශනි මංගල දෝෂය භංග වෙනවා.

3.විවාහ පරීක්ෂාවේදී එක් ජන්ම පත්‍රයක කුජ ශනි ග්‍රහයන් මොනයම් හෝ දෘෂ්ටියකින් සම්බන්ධතාවයක් තිබේ නම් මේ දෝෂය භංග වෙනවා.

4.විවාහ පරීක්ෂාවේ දී එක් අයෙකුගේ කේන්ද්‍රයේ කුජ සිටි ස්ථානයෙන් 4,7 හෝ 8 වැන්නේ සෙනසුරු තැන්පත් වී සිටී නම් ශනි මංගල යෝගය භංග වෙනවා.

ශනි මංගල යෝගය අවාසනාවන්ත යෝගයක් නොවන බවත්, ප්‍රකට ජන නායකයන්, ආයතන ප්‍රධානීන්, වෙළෙඳ ව්‍යාපාරිකයන්ගේ ජන්ම පත්‍රවල මේ යෝගය දක්නට ලැබීමෙන් පෙන්වා දෙන්න පුළුවන්.

එබැවින් ශනි මංගල යෝගය අවාසනාවන්ත යෝගයක් නොව වාසනාවන්ත යෝගයක් බව කිව යුතුයි. එහෙත් ඇතැම් ඡ්‍යොතිර්වේදීන් තමන් වෙතට පැමිණෙන සේවා දායකයන් තුළ මේ ශනි මංගල යෝගය පිළිබඳ දැඩි භීතියක් ඇති කිරීම සැබවින්ම අවාසනාවන්ත තත්ත්වයක් වනවා. එබැවින් මේ යෝගයට අනිසි බියක් ඔබ ඇති කර ගත යුතු නැහැ.

 

ඡ්‍යොතිෂවේදී

රද්දොළුගම ලෙස්ලි ජයසිංහ

 

සටහන

ඉෂාරා විජේරත්න

*************************

පුරුෂ මර යෝග පිළිබඳව

චමල්කා හේරත්

නුවර

කර්තෘතුමියනි,

මේ ලිපිය ලියන මම කන්‍යා ලග්න හිමි විවාහක කාන්තාවක්මි. ගිය සතියේ හදහන් පරීක්ෂාවකදී මගේ කෙන්දරයේ පුරුෂ මර යෝගයක් තිබෙන බව දැනගන්නට ලැබුණා. මා විවාහ වී දැනට අවුරුදු දෙකකි. එහෙත් මේ කාරාණාව දැන ගත් දා සිට මම බියෙන් පෙළෙමි. මේ සඳහා නිසි පිළිතුරක්ද මා හට ලැබී නැත. ඡ්‍යොතිෂ සිද්ධාන්ත අනුව සුබසෙත පුවත්පත මාර්ගයෙන් මෙයට නිසි පිළිතුරක් බලාපොරොත්තු වෙමි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.