නිවැරැදිව බෝධිපූජාවක් තබමු

ජුනි 21, 2024

ග්‍රහ අපල රෝග පීඩා, අසමගිතාවය දුරුකොට සෙත ශාන්තිය හා නීරෝගිතාවය උදා කෙරෙන බෝධිපූජාවන් පැවැත්විය යුත්තේ කැපවීමෙන් හා මනා විශ්වාසයකින් යුතුව ය. තමන් බෝධි පූජාවක් පවත්වන්නේ නම් මස්, මාළු, බිත්තර කෑමෙන් වැළකී පංච දුශ්චරිතයෙන් වෙන්වී පිරිසුදුව සිත තැන්පත්ව ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය, සිතෙන් අයින්කොට සූදානම්ව සත්කාර්ය සඳහාම සිත යොමුකොට නිරත විය යුතුය.

බෝධිපූජා ද්‍රව්‍ය රැගෙන බෝධීන් වහන්සේ වෙත ගිය විට පළමුවෙන්ම කළ යුත්තේ බෝමළුව පිරිසුදු කිරීමයි. මල් ආසනවල ඇති පරවූ මල් ඉවත්කොට පිරිසුදු කර මල් ආසනයේ තැන්පත් කරනු ලබන මල්වලට ඉසීම සඳහා පෙරාගත් පැන්වලට සුදුහඳුන් කුඩු , සැවැන්දරා කුඩු, සමන්පිච්ච මල් ද දමා ඉසීමට පැන් කළ හතක් පිළියෙල කොට සුවඳපැන් බෝමළුවේ ඉසීමට ක්‍රියා කළ යුතුය.

පූජා ද්‍රව්‍ය

බෝධිපූජාව සඳහා දැහැත් ගිලන්පස ප්‍රණීත පලතුරු අට වර්ගයක් පානවර්ග අටක් චතුමධුර (මීපැණි, ගිතෙල්, උක්සකුරු) ද විළඳ ද අලුත් මැටිපහන් හා පහන්තිර ද රැගෙන යා යුතුය. මැටි පහන් තෙරුවන් උදෙසා තුනක් ද බෝධියට අධිගෘහිත රුක් දෙවියන්ට එකක් ද මහා බ්‍රහ්ම සඳහා එකක් ද සිවුවරම් දෙවිවරුන් සඳහා හතරක් ද නවග්‍රහ දෙවිවරුන්ට නමයක් ද බෝධිපූජාව පවත්වන්නාගේ වයසට සරිලන පහන් ගණනාවක් ද සූදානම් කළ යුතුය. මේ පහන් සඳහා ගත යුතු තිර පිරිසුදු තිර විය යුතුය. පොල්තෙල් හෝ තැඹිලි තෙල් ගෙන එම තෙල්වලට ගිතෙල්, තලතෙල් හා අබතෙල් ටික ටික මිශ්‍ර කළ යුතුය. බුලත්, කපුරු, හඳුන්කූරු හා පඬුරු ද සෑම පහනක් ළඟම තැබිය යුතුය.

ඊට අමතරව සෑම පහනක් සඳහාම බුලත් කොළයකට කපුරු පෙත්තක් තබා හඳුන්කූරු ද තැබීමට අමතක නොකළ යුතුය. සුවඳැති සාම්බ‍්‍රාණි කුඩු දමා බෝධිය වටා තුන්වරක් හෝ හත්වරක් සුවඳ දුම් ඇල්ලීම ද සුදුවැලි බෝධිය වටා ඉසීමට ද ක්‍රියා කරන්න. එම වැලිවලට ලද පස්මල් ද මිශ්‍ර කරන්න.

(විළඳ, එළඅබ, සුනු සහල්, ඊතණ හා සමන්කැකුළු සමඟ තවත් මල් ජාතියක් ගන්න. බෝධීන් වහන්සේ දෝවනය කිරීම සඳහා ගන්නා ලද පැන් කළයට අමුකහ, සුදුහඳුන්, රත්හඳුන් දේවදාර, සැවැන්දරා ස්වල්පයක් බැගින් ගෙන මිශ්‍ර කරන්න. ඒ සඳහා ගත යුත්තේ කුඩා ප්‍රමාණයේ නැවුම් කලයකි. මීට අමතරව නිල්පාට මල් වට්ටි දෙකක්ද කහපාට හෝ රන්වන් පාට මල්වට්ටි තුනක්ද රතු පාට මල්වට්ටි දෙකක් ද සුදුපාට මල්වට්ටි දෙකක් ද ගත යුතුය.

සෙත් ලබා ගන්නා අයගේ උසට සමන් පිච්ච හෝ වෙනයම් සුවඳ මල් ජාතියකින් සාදාගත් මල්මාලාවක් බෝධි කොඩි විසි එකක් හා සුදු කොඩියක් ධාන්‍යවර්ග තල, මුං, මෑ, වී, කොල්ලු, එළ අබ ආදියද ටික ටික පස්ලෝ ස්වල්පයක්ද රිදී පඬුරක් හෝ කාසියක් ද සූදානම් කර ගත යුතුය.

පූජාව පැවැත්වීම

බෝධි පූජාව පැවැත්වීම සඳහා වඩාත් සුදුසු පුරපක්ෂයේ බදාදා, බ්‍රහස්පතින්දා හෝ සෙනසුරාදා දිනයකි. බෝධිමළුව හා පූජාසනය මත පැන් ඉස මල් පහන් පුදා තිසරණ සහිත පන්සිල් ගෙන දෙවියන්ට පින් දී බෝධීන්වහන්සේ ළඟ නැඟෙනහිර දෙසට හැරී වැද නමස්කාර කොට සම්මා සම්බුදුරජාණන් වහන්සේට සෙවණ දුන් අති පූජණීය වූ බෝධින් වහන්සේට මම නමස්කාර කරමි. නමස්කාර වේවා අද මා විසින් පවත්වනු ලබන බෝධිපූජා පින්කම බෝධියට අධිගෘහිත වු දෙවියන් ඇතුළු සියලු දෙවිවරුන්ට පෙනේවා. එම පින් ලබන්නට සියලු දෙවිවරුන් වඩිත්වා යන්න තුන්වරක් කියා දෙවිවරුන්ට ආරාධනා කරන්න.

 

බෝධි වන්දනාව

තම අදහස බලාපොරොත්තුව කියමින් සුවඳ පැණින් බෝධිය දෝවනය කරමින් බෝධිය වටා සත්වරක් වටේට යන්න. රැගෙන ආ ලදපස්මල් සහිත සුදුවැලිද බෝමළුට හා බෝධීන් වහන්සේ වටා ඉසින්න. කොඩි හා මල්මාලා බෝධින් වහන්සේ වටා එල්ලන්න. දැහැත් ගිලන්පස , චතුමධුර පූජාසනය මත තබා තෙරුවන් සඳහා පහන් දල්වන්න. බෞද්ධ කොඩි හතරක් හා පහන් සතරක් බෝධින් වහන්සේ සතර කොනට සිටිනසේ දල්වා බෝධින් වහන්සේට ද සුවඳදුම් අල්ලන්න. බෝධි වන්දනාව දැන් සිදු කරන්න. බෝධින් වහන්සේට තබා ඇති සියලු පූජාවන් නම් කරමින් බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන් හට මේ බෝධින් වහන්සේ ඉදිරියේ සිට පූජා කරමි පූජා වේවා යනුවෙන් කියමින් පූජා කරන්න. බුදුන් වහන්සේ ඇතුළු තෙරුවන් උදෙසා කරන ලද මේ සියලු පූජාවන් බලයෙන් මතු බුදුබව පතන ශී‍්‍ර විෂ්ණු දෙවියන් ඇතුළු සියලුම දෙවිවරුන්ටත් ශ්‍රී මහ බෝධින් වහන්සේ ඇතුළු මේ බෝධින්වහන්සේත් අනෙකුත් බෝධීන් වහන්සේත් බෝධීන්වහන්සේට අධිගෘහිත දෙවිවරුන්ට හා මහාබ්‍රහ්ම ඇතුළු සතරවරම් දෙවිවරුන්ටත් අනෙකුත් දෙවිවරුන්ටත් මේ පිං අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙවිවරුන්ගේ සියලු ප්‍රාර්ථනා ඉටුවේවා. අප කෙරෙහිත් (බෝධිපූජාව සිදු කරන්නා වූ කරුණු සඳහන් කරමින්) සියලු ආරක්ෂාවත් ග්‍රහදෝෂ, අමනුෂ්‍ය දෝෂ තුරන්වේවායි කියමින් සෙත ශාන්තිය උදාකරන මෙන් ප්‍රාර්ථනා කරන්න.

මා විසින් මේ බෝධින් වහන්සේට කරනු ලද පූජා බලයෙන් කරුණු කියමින් සෙතශාන්ති ලැබිය යුතු අයගේ නම් පවසමින් පවතින්නා වූ අනෙකුත් ප්‍රශ්න මෙන්ම රෝගාබාධ, ග්‍රහ අපල, විපත් දුරුකොට ආයු ආරෝග්‍ය සම්පත්තියත්, ආරක්ෂාවත් ලබාදෙමින් සියලු දේව කරුණාව ළඟා කෙරෙත්වායි කියමින් ස්වල්ප වේලාවක් බෝධින්වහන්සේ වෙත යොමුවෙමින් තමන් දන්නා අයුරින් භාවනාවක නිරත වන්න.

අනතුරුව බෝධිපූජා පොතක් රැගෙන ගොස් බෝධියට වැඳ නමස්කාර කොට නවගුණ ශාන්තිය කවි කියමින් තම බලාපොරොත්තු ඉටුකර සෙත ශාන්තිය උදාකර දෙන ලෙසටත් ප්‍රාර්ථනා කරන්න.

 

ඡ්‍යොතිෂ ප්‍රභාෂ්වර

මොරටුවේ

තිස්ස මහානාම

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.