ආත්ම ගරුත්වයට මුල්තැන දෙන දබර ඇඟිල්ල

ජුනි 21, 2024

 

යම් පුද්ගලයකුගේ නායකත්ව ගුණාංග, ආත්මාභිමානය, අධිෂ්ඨානය ඉවසීම, ජීවිත අභිලාශයන් සහ ඒ පිළිබඳව ඇති උනන්දුවේ තත්ත්වය සමාජීය දේශපාලන සහ ආගමික කටයුතු කෙරෙහි දක්වන සහභාගිත්වය, කථිකත්වය, ආදි සියලු කරුණු ගුරු ඇඟිල්ල හෙවත් දබර ඇඟිල්ල සහ ගුරු මණ්ඩලය පිරික්සීමෙන් අවබෝධ කරගත හැකිය. ගුරු ඇඟිල්ලේ උස් මිටි බව මොළොක් බව පුරුක්වල ස්වභාවය අනුව ඉහත තී ගුණාංග අඩු වැඩි වේ.

ගුරු ඇඟිල්ල හෙවත් දබර ඇඟිල්ල, මැදැඟිල්ල හෙවත් ශනි ඇඟිල්ලේ පළමු පුරුක හෙවත් නිය පුරුකේ මධ්‍ය දක්වා පමණක් දිග නම් එය මධ්‍යස්ථ ඇඟිල්ලක් ලෙස පිළිගැනේ. මධ්‍යස්ථ දිගෙන් යුක්ත ගුරු ඇඟිල්ලක් හිමි පුද්ගලයන් නායකත්වයට සහ අන්‍යයන් පාලනය කිරීමට සාමාන්‍ය වශයෙන් කැමති ක්‍රියාකාරි සංවිධාන ශක්තියකින් හෙබි පුද්ගලයන් වේ. ඔවුන් සාමයට කැමැතිය. පොතපත කියවීමට ආශා කරන ඉගෙනීමට කැමැති අය වෙති. එසේම මේ ඇඟිල්ල මැද ඇඟිල්ල මෙන්ම රවි ඇඟිල්ලටත් වඩා දිගව පිහිටා ඇත්නම් පාලකයකු වීමට බලවත් ආශාවක් දක්වයි. හොඳ සංවිධාන ශක්තියක් ඔවුන් සතුය. දේශපාලකයන්ට සහ පූජකයන්ට මේ තත්ත්වය හොඳ පිහිටීමකි. මේ ඇඟිල්ල මැද ඇඟිල්ලේ පලමු පුරුක් සන්ධියට වඩා කෙටි නම් එය කෙටි ගුරු ඇඟිල්ලක් ලෙස සලකණු ලැබේ. මෙවැනි පිහිටීමක් සහිත පුද්ගලයන්ගේ ආත්ම අභිමානය අඩු අතර වගකීම් භාර ගැනීමට කැමති නැත. එහෙත් පුද්ගලයා ඉක්මන් ක්‍රියාකාරි පුද්ගලයෙකු වේ. තමා කරන කාර්යයන් අසාර්ථක කර ගනී. තම සහෝදරයන් සමඟ නෑදෑ සබඳකම් පැවැත්වීමට අකැමැතිය. අලසය. නිද්‍රාශීලිය කළ නොහැකි වැඩ ගැන සිතා කණගාටු වේ. තමා ගැන සැක සංකා ඇතිකර ගනී. ඔවුන්ගේ හැසිරීමද යහපත් නැත.

ඒසේම පුද්ගලයකුගේ ගුරු ඇඟිල්ල, ශනි ඇඟිල්ල දෙසට නැඹුරුව පිහිටියේ නම් ශනි හිමි අශුභ බලපෑම් නිසා ගුරු හිමි අභිමානයට නායකත්වයට හා ගෞරවාන්විත පැවතුම්වලට බාධා පැමිණේ. ඇඟිල්ලේ පළමු පුරුක සුළඟිල්ලේ නිය පුරුකට වඩා දිග නම් පුද්ගලයා ආගම ධර්මය කෙරෙහි වැඩි ළැදියාවක් පෙන්නුම් කරයි, දර්ශනවාදි කථීකත්වයක් සහ උසස් සිතිවිලිවලින් යුක්තය. මේ පුරුක දිගනම් සදාචාරාත්මක ආගම ධර්මයට ළැදි ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුක්ත පුද්ගලයෝ බිහිවේ. නිය පුරුකේ අග උල් හැඩයෙන් යුක්තනම් ආගම ධර්මය කෙරෙහි වඩාත් නැඹුරුතාවයක් පෙන්වන අතර ඇඟිලි තුඩු ස්පැටියුලා හැඩයෙන් යුක්ත නම් සත්‍ය ගවේෂණයට පුද්ගලයා යොමු වේ. ඇඟිලි තුඩු කේතු ආකාරයක් ගන්නේ නම් බලවත් චිත්ත වේගවලින් යුක්ත වන අතර වහා කලබල වන ස්වභාවයක්ද ඉදුරන් පිනවීමේ ආශාවෙන් ද යුක්තය. අධික සිතිවිලිවලින් යුක්ත වුවත් ක්‍රියාකාරකම් අඩුය.

ගුරු ඇඟිල්ලේ පළමු පුරුකේ තරු සලකුණක් ඇත්නම් පුද්ගලයා දීර්ඝ සංචාරයකට හිමිකම් ලබයි. එසේම මොවුන් එම ක්‍රියාදාමයන් තුළින් කිර්තිය සහ ප්‍රසංශාවට හිමිකම් කියන අතර වාසනාවන්ත ධනවත් පුද්ගලයන් බවට පත්වේ. එහෙත් තරු සලකූණු දෙකක් පිහිටා ඇත්නම් සොරකම් කිරීමට හෝ වෙනත් අපරාධයක් කිරීමට යාමෙන් මරණය සිදුවිය හැකි පිහිටීමකි. එම පුරුකේම කතිර සලකුණක් පිහිටා ඇත්නම් මිථ්‍යාදෘෂ්ටිය ආගම් විරෝධි අදහස් පුද්ගලයා තුළින් මතුවේ. පිහිටා ඇත්තේ ත්‍රිකෝණයක් නම් ගුප්ත ශාස්ත්‍ර කෙරෙහි පුද්ගලයා යොමු වේ. එසේම පලමු පුරුක් සංධියේ ඇති තිරස් රේඛාව වටේම මුදුවක් ලෙස පිහිටා ඇත්නම් පුද්ගලයාගේ ශාරීරික ශක්තිය හීනවේ.

එසේම පුද්ගලයකුගේ ගුරු ඇඟිල්ලේ දෙවැනි පුරුක සාපේක්ෂව දිග පුරුකක් නම් හොඳ කාර්යක්ෂමතාවයක් සතු පුද්ගලයකු බිහිවේ. තමා උසස් යැයි සිතන බැවින් යහපත් කල් ක්‍රියාවෙන් යුතුව තමාගේ නම්බුව රැකෙන ආකාරයට කටයුතු කරනු ලැබේ. එහෙත් මැද පුරුක කෙටි නම් අධිෂ්ඨාන ශක්තිය අඩුවේ. එමෙන්ම ආහාර ගැනීම සම්බන්ධයෙන් ලොල් බවක් ඇතිවේ. නරක පුද්ගලයන් ආශ්‍රය කිරීමට පෙලඹෙන අතර නපුරු ගතිගුණ ඇති වේ. තවද දෙවැනි පුරුකේ කතිර සලකුණක් ඇත්නම් පුද්ගලයාගේ සාහිත්‍යමය කටයුතු සාර්ථක කරගැනීම සඳහා උරුමකම් ලබයි. දෙවැනි පුරුක් සංධියේ තිරස් රේඛාවට අමතරව වෙනත් තිරස් රේඛාවක් ඇත්නම් එම පුද්ගලයා හිංසාකාරි කටයුතු කරන අනුවන පුද්ගලයකු වශයෙන් හඳුනාගත හැකිය. නිර්භීත උත්සහවන්ත පුද්ගලයකුගේ දෙවැනි පුරුකේ තරු ලක්ෂණයක් දිස්වේ. ග්‍රිල් සලකුණක් දෙවන පුරුකේ පිහිටියේ නම් ඔහු විස්වාස නොකර සිටිම අප කාටත් හොඳ කාරණයකි. මන්ද එවැනි පිහිටිමක් සහිත පුද්ගලයන් වංචනිකව කටයුතු කරන විශ්වාස කළ නොහැකි පුද්ගලයන්ය.

ගුරු ඇඟිල්ලේ තුන්වැනි පුරුක දිගින් වැඩිනම් එම පුද්ගලයා ප්‍රධානියකු වීමේ දැඩි ආශාවෙන් පෙළෙයි. අලංකාර දෙයට සර්ව පිත්තල ලෝකයට කැමැත්තක් දක්වන අතර ඔවුන් අහංකාර වේ. එසේම අන්‍යයන් ලවා වැඩකරවා ගැනීමට දක්ෂය. තුන්වැනි පුරුක කෙටි නම් එය එතරම් සුදුසු ලක්ෂණයක් නොවේ. ඔහුට දුසිරිතෙන් පිරි අපකීර්තිමත් චරිතයක් ඇත. දබර ඇඟිල්ලේ තුන්වැනි පුරුකෙන් ආරම්භ වන රේඛාවක් මහපට ඇඟිල්ලේ පළමු සංධිය දක්වා ගියොත් තමා කළ අපරාධයක් නිසා නීතිමය තත්ත්වයක් නිසා දඩුවම් විඳීමට සිදුවන පිහිටීමකි. මේ ඇඟිල්ල වක ගැසුණ ස්වභාවයන් පිහිටා ඇත්නම් පුද්ගලයාගේ විචක්ෂණභාවය වැඩි අතර ක්‍රමානුකූලව සියලු කටයුතු සැලසුම් කරන අතර යහපත් ක්‍රියාවලට වඩා අයහපත් ක්‍රියාවලට හිත යොදවයි. ඒ සමඟම ඉතා කුඩාවට දෛව රේඛාව ඇත්නම් තමාට වඩා වයසෙන් ඉතා අඩු කාන්තාවක විවාහ කර ගනී.

 

 

සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ මමෝවිද්‍යා උපදේශක,

හස්ත රේඛා පරික්‍ෂක,

මාතලේ නාඋල

බී. ඒ. ජයවර්ධන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
16 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.