වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
ගිනි හිසින් උසුලන් පසසන් කාන්තාවන්
කාන්තාව යනු ඕනෑම ජන සමාජයක එහි පැවැත්ම හා අභිවෘද්ධිය උදෙසා අනගි මෙහෙවරක් ඉටු කරන්නාවූ අයෙකි. අපේ පැරණි සිංහල සාහිත්‍ය ග්‍රන්ථවල මෙන්ම බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ථවලද කාන්තාව පිළිබඳ විවිධාකාර වූ කරුණු කාරණා අඩංගු වී ඇත. ඒ හැම ග්‍රන්ථයකම වාගේ කාන්තාවට මුල් තැනක් දී ඇති බැව් පෙනේ. පැරැණි සිංහල සාහිත්‍ය ග්‍රන්ථවල කාන්තාව හැඳින්වීම සඳහා පර්යාය නාම බොහෝ ගණනක් භාවිත කර ඇති බැව් පෙනේ. ඉන් සමහරක් නම් වමිය, දිගැස, අඟන, කත්, ඉතිරි, මාගම සහ මියුලැසි ආදිය වේ.
අප සිංහල ජන සමාජය පීතෘමූලික පවුල් සංස්ථාවෙන් යුක්ත සංස්කෘතියක් සහිත වුවද කිසිවිටෙකත් කාන්තාව පහළ හෙළා ක්‍රියා කොට නැත. සිංහල භාෂාව භාවිතයේද කාන්තාවන් හා පුරුෂයන් හැඳින්වීමේදි ස්ත්‍රීවාචි පදය මුලින් යෙදෙනු දැකිය හැකිය. එනම් අඹුසැමි, මව්පිය, නැදිමයිල්, දූපුත්, ස්ත්‍රී පුරුෂ, කෙලිකොලු ආදි වශයෙනි.
මෙය හැරුණු විට විශේෂිත හෝ සෞන්දර්යාත්මක ස්ථාන හැඳින්වීම සඳහා ද ස්තී‍්‍ර වාචක පද යෙදී ඇත. මහ පොළොව හැඳින්වීම සඳහා මහීකාන්තාව, මිහිකත, මිහිවමිය යන යෙදුම් නිරන්තරව භාවිත වී ඇත. චන්ද්‍රයා (සඳකත්) දිසාව (දසකත්) විල් (විල්කත්) වනාන්තර (වන සෙව්නී) රාත්‍රිය (නිසකත්) ආදී බොහෝ දෑ ස්ත්‍රි ගණයේ ලා ගැනෙන්නේය.
කාන්තාවන්ට මුල් තැන දීම සම්බන්ධව තවත් උදාහරණයක් ලෙස බුදුන් දවස සැරියුත් මා හිමියන් උන්වහන්සේ සමඟ වාදයට පැමිණී පරිබ්‍රාජිකාවන් අමතා තොප මාගම් බැවින් පළමුව පුළුවස්ව යනුවෙන් අමාවතුර ග්‍රන්ථයේ සඳහන් ප්‍රකාශය ද දැක්විය හැකි ය.
කාන්තාවකගේ අංග ලක්ෂණ ගැන සාකච්ඡා කිරීමේදී රූමත්කම ඇයට අවශ්‍ය ප්‍රධාන අංගයක් සේ සැලකිය හැකිය. පංච කල්‍යාණ සම්පත්තිය ඉන් ප්‍රධාන වේ. පංච කල්‍යාණය නම් කේශ කල්‍යාණය, මාංශ කල්‍යාණය, දන්ත කල්‍යාණය, ඡවි කල්‍යාණය සහ වායෝ කල්‍යාණය වේ. මේ පංච කල්‍යාණය ගැන කෙටියෙන් දක්වතොත් පිළිවෙළින් මොනර පිල් කළඹක් සේ නිල්වන් දිගු කෙස් කළඹ, බුලත් කෑවේලෙහිත් නොකෑ වේලෙහිත් හැම වෙලාවකම ඉතා රත් පැහැයෙන් යුත් දෙතොල, එක් දතක් තව දතකට උස් නොවී සමව පිහිටා ඇති දීප්තිමත් දත් දෙපළ කිසිදු කැළලක් නොමැති ප්‍රභාසම්පන්න සම සහ වයස්ගත වුවත් එකදු හිසකෙසක් හෝ නොපැසීම හා ශරීරයේ සකලාංගම තාරුණ්‍යයෙන් පිරී පැවතීම යනුවෙන් පැවසිය හැකිය.
විශාඛා සිටු දේවිය එවකට ප්‍රකට පංච කල්‍යාණියක් බව බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ථවල සඳහන් වේ. ඇය ඇවිදින කල්හිත්, සිටින කල්හිත්, හිඳුන කල්හිත්, වැඳහොත් කල්හිත් එකසේම ශෝභමාන උත්තමාවක වූ බව කියැවේ. චිත්‍රා කුමාරිය තම රුවින් මිනිසුන් උමතු කළ බැවින් උන්මාද චිත්‍රා වූ බවද කියැවේ. පුරාණ කාලයේ විශේෂ රූ ඇති ස්ත්‍රීහු අභිරූපිකාවන් සේ සැලකූහ. එකල ජනපද කල්‍යාණියන් සේ හඳුන්වා ඇත්තේද පංච කල්‍යාණියක් බව පෙනේ.
ඒ වගේම සාහිත්‍ය ග්‍රන්ථකරුවෝ කාන්තාවකගේ මුහුණ සඳට (සිසිවන වුවන) උපමා කර ඇති අතර මිටින් ගත හැකි ඉඟටියක් ඇති බවද (ඉඟ සුඟ ගත හැකි මිටින) දෑස් නිලුපුල් මල් වැනි සේද පුළුල් උකුලකින් සමන්විත බවද ආදි වශයෙන් කාන්තාව වර්ණනා කර ඇත.
කාන්තාවකගේ ශරීර වර්ණය රූපත් භාවය හා මහත් සේ බැඳී සිටී. මනා ඡවි වර්ණයෙන් අලංකාර වූ කාන්තා ශරීරය දිස්නය දෙනසුලු වූ බව කියැවේ. මෙය දේහ ප්‍රභාව සේ හඳුන්වා ඇත. විශේෂයෙන් සුදු පැහැ ගත් ශරීර ඇති කාන්තාවන් වඩාත් සුන්දර ලෙස සැලකූහ. සීගිරි ගීවල වඩාත් කියැවනුයේ රන්වන් ලියන් ගැනය. එසේ වුවත් කළුවන් රූමතියන්ද රන්වන් රුවැත්තියන් මෙන් එක සේ අගය කළ බව සීගිරි ගීවල සඳහන් වේ. ඒ අනුව ඔවුන් සුදු පැහැවේ නම් කිසිදු කැලලක් නොමැති කිණිහිරි මල් පෙත්තක් සේද කළු පැහැ වේ නම් වෙනත් සෙසු පැහැයක් මිශ්‍ර නොවූ මහනෙල් හෙවත් නිලුපුල් මල් සේද වූ බව කියැවේ. උත්පලවණ්නා කුමරියට ඒ නම ලැබුණේ ඇය මහනෙල් දමක් සේ නිල් වූ බැවිනැයි සඳහන් වේ. ඒ වගේම ඇයගේ ඒ රූපශෝභාව හේතු කොට ගෙන ඈ සරණ පතා සිටුවරුන් තරග වැදුණු බවද ප්‍රකාශ වේ. මේ අනුව රූමතියන් වීම සඳහා ශරීර වර්ණය නොව ශරීර ප්‍රභාව බලපා ඇති බැව් සිතා ගත හැකිය.
කාන්තාවන්ගේ ශරීර වර්ණය ඔවුන්ගේ පියයුරුවලින් ඉනූ මව්කිරිවලට පවා බලපෑ අයුරු පූජාවලියේ සඳහන් වේ. එහි කියැවන පරිදි ඉතා සුදු කාන්තාවන්ගේ පියයුරුවල කිරි උණු බවත් ඉතා කළු ස්ත්‍රින්ගේ පියයුරුවල කිරි සිසිල් බවත් සඳහන්ය. එබැවින් රාජ කුමාරවරුන්ට කිරිමවුන් තේරීමේදී වඩාත් සුදු හෝ වඩාත් කළු හෝ නොවූ ස්ත්‍රිය තෝරාගෙන ඇත. මේ අනුව ඉතා සුදුවීම හෝ ඉතා කළු වීම ස්ත්‍රි දෝෂයක් සේ සලකා ඇත.
පැරැණි ග්‍රන්ථවල ස්ත්‍රී දෝෂ හෙවත් වරද සයක් ගැන කියැවේ. එනම් ඉතා සුදුවීම, ඉතා කළු වීම, වැඩි උස, වැඩි මිටි, වැඩි කෙට්ටු හා වැඩිතර වශයෙනි.
කාන්තාවකගේ රූපත් භාවයේ තවත් මූලිකාංගයක් වන්නේ ඔවුන්ගේ පියයුරු බවද සඳහන් වේ. ඒවා පියයුරු බිඳු පුන් පියයුරු ආදි වශයෙන් ප්‍රකාශිතය. කාන්තාවකට පියයුරු කොතෙක් වැදගත්ද යන්න වර දහයක් ලැබීමට අවස්ථාව ලද කාන්තාවකගේ එක් ප්‍රාර්ථනයක් වූයේ නොමහත් පයෝධර දෙදෙන නොහී උඩබලා සිටින සේ පිහිටිය යුතු බවය. මෙකරුණ වෙසතුරු දා සන්නයේ ද ‘පියයුරු උඩුබලා සිටිත්වයි’ යනුවෙන් සඳහන් වේ.
කාන්තාවකගේ තවත් විශේෂ ලක්ෂණයක් වන්නේ ඔවුන්ගේ සිනාවයි. ඒවා මද සිනා, අඩසිනා හා සිනිඳු සිනා යනුවෙන් සඳහන් වේ. සීගිරි ගීවල “කොමුල් අමඩ් ලෙඩ් ලෙ න සී’ යනුවෙන් වූ ගීයේ සීගිරි ළඳුන්ගෙග් කොමළ සිනාව කොමඩු සේ මිහිරි වූවා සේ අරුත් ගන්වා ඇත. ඒ වාගේම තවත් පුරාණ ග්‍රන්ථයක් වන ධර්මප්‍රදිපිකාවේද ධවල සිනාවක් ගැන සඳහන් වේ.
කාන්තාවන්ට සිය ස්ත්‍රීභාවය මූර්තිමත් කෙරෙන පරිදි ඊට ආවේණික වූ හැසිරීම් හෙවත් ඉරියව් රටාවක්ද පැවතුණි. ඒවා ඉක්මයාම ස්ත්‍රීභාවය හා නොගැළපෙන බව ග්‍රන්ථවල සඳහන් වේ. ඒ අනුව කාන්තාවන් තම ගමන් විලාසය ඉක්මවා ඇවිදීම හෝ දිවිම නොගැළපුණු බවට පිළිගැනීමක් තිබුණි. ඒ පිළිබඳව විස්තර කරන ග්‍රන්ථකරුවෝ ඔටුණු පලන් රජුද ආභරණ පලන් මඟුලැතුද තපස් වී වරුන්ද ඒ හැමට ම වඩා ස්ත්‍රින්ද දිව යන්නේ නම් එය අනුචිත බැව් ප්‍රකාශ කරති. තරුණ විශාඛා කුමරිය වර්ෂාවකදි හෝ දිව නොගිය බව පූජාවලියේ සඳහන් වේ. ඒ වාගේම කුපිත වී දිව ගිය පබාවතිය එදින ගමන් ලතාවෙන් පැරදී ගිය බව කව්සිළුමිණෙහි දක්වා ඇත.
බැල්ම යන්න කාන්තාවන්ගේ ඉරියව් අතරින් තවත් විශේෂ ලක්ෂණයකි. ඔවුන්ගේ බොහෝ විට තරුණයන් දෙස බැලුවේ නෙත් අගිනි. එය වහසි බැලුම් නම් වේ. සීගිරි ලියකගේ බැල්මෙහි කෙතරම් අදහස් ප්‍රකාශ වූයේද යත් ඈ දෑසින් කතා කළ බව එක් කවියෙකු ලියා ඇත.
මේ ආකාරයට කාන්තාවන් සකල අවයවයන්ගේ ම ශෝභමාන වූ සබ්බංග ශෝභනියන් මෙන් පරිපූර්ණ වුවද ඔවුන්ගේ ඒ වටිනා අගනා රූපකාය මෙන්ම ගුණකායද ඔවුන් ඉදිරියේ ඍජුවම ප්‍රකාශ කොට වර්ණනා කිරිම නුසුදුසු යැයි පුරුෂයන් කල්පනා කළ බවද කියැවේ. ඒ බව ප්‍රකාශ කරන එක් සීගිරි කවියකු විශ්වාසවන්තියන්ගේ ගුණයක් වේ නම් එය අනභිමුඛයෙහි සඳහන් කළ යුතුය යනුවෙන් පවසා ඇත. ඒ වාගේම ‘කාන්තාවන් පසසන්නා ගිනිතැප ඒ ගිනි සිය හිසින් උසුලා ගනිතැ’යි’ යයිද තවත් කවියකු ලියා ඇත.