ජීවම් කළ රන් සුරවල බලය රන් සුරවල බලය

ජූලි 12, 2024

එදින හිමිදිරි පාන්දර බ්‍රහ්ම හෝරාවෙන් අවදිව අඩ හෝරාවක් පමණ භාවනානුයෝගීව වැඩ විසූ කොණ්ඩදෙණියේ සීලරතන නායක හිමිපාණන් බෝ මළුව සහ පන්සල ඇමද පවිත්‍ර කොට යෝගී ව්‍යායාම්වලද නිරතව ඉන්පසු පහළ වැවෙන් ජලස්නානය කොට බුද්ධ මන්දිරය සහ දේව මන්දිරවල පහන් දල්වා වෙනදාට කලින් හීල් දානය ද වලඳා අවසන් කළ සේක.

මේ සැරසෙන්නේ විශේෂිත රාජකාරියකට මුලපිරීමකටය. තමන් වහන්සේ ආයුර්වේද ශාස්ත්‍රයේ කාලයක් තිස්සේ ප්‍රගුණ කළ රහසිගත ඖෂධ වට්ටෝරුවක් පැරැණි පුස්කොළ පොතක ආධාරයෙන් සොයාගෙන එම විශේෂිත තෙල හිඳින්නටය. එයට පෙරාතුව ඩිංගිරි බණ්ඩාත් දායක සභාවේද පූර්ණ සහාය ලබාගෙන උඩට උඩුවියන් ද පයට පාවඩ ද දමා උපසම්පදා හාමුදුරුවන් වහන්සේ පනස්නමක් බණ මඩුවේ වඩා හිඳුවා ඇප උපස්ථාන කරමින් පුරා දින 7ක් තිස්සේ එකදිගට නොකඩවා පිරිත් සජ්ඣායනා කරවීමට කටයුතු සැලසුවේය. මේ වැඩ ඇත්තේ අවසන් දින කටයුතු සඳහාය.

නායක හිමියන්ගේ උපදෙස් පරිදි ගම්මු විශාල පිරිසක් කැළෑ වැදී විවිධ ඖෂධ වර්ග, ගස්, කොළ, අතු, පොතු, මුල් ආදි කොටස් එක්තැන් කර පන්සලට රැගෙන ආහ. තවත් වටිනා ඖෂධ වර්ග රැසක් සොයා ගැනීමට මීගස් ඇළ ගාව මූකලන්වල කරක් ගැසීමට ඇතැම් පිරිස් සමත් විය. එම ඖෂධ වර්ග නියමිත ප්‍රමාණයට කපා කොටා සකසාගෙන අපේ හිමියන්ට පැරැණි ගල් ගෙය තුළින් හමුවූ තෙල්ද ගෙන එය හොඳට මිශ්‍රකොට විශාල තඹ හට්ටියක බහා ශුභ නැකතකින් යටින් ගිනි අවුලා එයට රන් තැඹිලි තෙල්ද මිශ්‍ර කොට කැකෑරෙන්නට ඉඩ සැලැස්සූ සේක.

මේ අපූරු තෙල් හිඳීමේ ක්‍රියාවලිය බැලීමට රාත්‍රී කාලය එළඹෙත්ම ගම්මු විශාල පිරිසක් හුළුඑළි දල්වාගෙන කොණ්ඩදෙණිය පන්සල් භූමියට පැමිණ සිටියහ. හිමිගේ අණින් ඩිංගිරි බණ්ඩා පැමිණ සිටි පිරිසට තේ පැන් සංග්‍රහ කළේය. එයට දායකයන්ගේ සහාය ද නොඅඩුව ලැබී තිබුණි. මුළු ප්‍රදේශයම දැල්වූ ගිනිපන්දම් එළියෙන් ආලෝකමත් විය. බණ මඩුවේ පිරිත් දෙසුමට පැමිණී සංඝයා වහන්සේ වෙත ආවෙතේව කටයුතු ඇප උපස්ථාන කටයුතුද හිමිගේ අණ පරිදි නිසිලෙස ඉටු කෙරිණි. එහි ප්‍රැට්‍රල් මැක්ස් ලාම්පු කිහිපයක්ද දැල්වී තිබුණි.

මධ්‍යම රාත්‍රිය පසුවත්ම බණ මඩුව සිසාරා කැළැඹී සතුන්ද බෙරිහන් දෙන්නට විය. වන අලීන්ගේ කුංචනාදයන්ද අවටින් ඇසිණි. එක්විටම උඩින් පියඹාගෙන පැමිණි වළි කුකුළෙක් ගින්නෙන් පැහෙන තෙල් හට්ටියට ඔන්න මෙන්න තිබියදී වැටෙන්නට විය. හිඳින විශාල තෙල් හට්ටියේ සුවඳ දසත පැතිරෙන්නට විය. කෙමෙන් අලුයම යාමය එළැඹිණි.

මෙතෙක් වේලා තෙල්හට්ටියට නුදුරින් සැකසූ ආසනයක වැඩ සිටි දවස පුරා මන්ත්‍ර ජීවම් කරමින් සිටි සීලරතන හිමියන්ද හුනස්නෙන් නැඟිට ගින්දරින් පෑහෙමින් නටන විශාල තෙල්හට්ටිය ඇතුළට තම දකුණු අත දමා විනාඩියක් දෙකක් සිටි සේක. අවට බලාවුන්න වුන් තුෂ්ණිම්භූත විය. හාමුදුරුවන් හිනාවෙවී ඔවුන් දෙස බැලූවෝහ. කිසිදු රස්නයක් හිමියන්ට නොදැනිණි. ඒ වෙනුවට දැනුනේ කදිම සීතලකි.

“හරි..........හරි.........දැන් අපි පිරිත නවත්වමු...” ඒ සමඟම මහත් පරෙස්සමින් යුතුව ගින්දර නිවා දමා කැකෑරෙමින් තිබුණූ තෙල්හට්ටිය ආවාස ගෙට ගෙනයාමට හිමියන් අණදුන් සේක. හිමිගේ අණ වහා ක්‍රියාත්මක විය. දින කිහිපයක් යනතෙක්ම එම හින්දූ තෙල්වල සුවඳ අවට පැතිර තිබුණි. මේ තෙල් හිඳීම බැලීමට පැරණි ගම්වාසීන්ගෙන් හිමියන් බලගතු තෙලක් හිඳීම පිළිබඳ පුවත මුළු පළාතට පැතිර ගියේය. කුඩා කල සිට හිමියන්ගේ යහළුවකු වූ එවකට මහව පොලිසියේ පොලිස් ස්ථානාධිපතිවරයා ද උදේ වරුවේම කොණ්ඩදෙණිය පන්සලට පැමිණ හිමියන් මුණගැසී සියලු තොරතුරු දැනගෙන වෙඩි නොවදින මේ අගනා තෙල පිළිබඳ පුවත එවකට පොලිස්පතිතුමාට ද දැනුම් දෙන්න දැයි විමසීය.

“හොඳයි..........පොලිස්පතිතුමාත්, ඔබත් පන්සලට එන විට රත්රන් සුරය බැගින් රැගෙන එන ලෙස දන්වන්න කෝ.........මම උන්දැට තෙල් බිංදුවක් දෙන්නම්. ඒක එයාට හුඟක් ප්‍රයෝජනවත් වේවි.”

ඊළඟ සතියේම පොලිස්පතිතුමා නිල ඇඳුමින්ම සැරසී කොණ්ඩදෙණිය පන්සලට පැමිණියේ තම කාර්ය මණ්ඩලය ද පිරිවරාගෙනමය. ඒ හැම දෙනාම ඩිංගිරි බණ්ඩා පිළියෙල කළ කුරක්කන් හැලප සමඟ තේ පැන් සංග්‍රහය භුක්තිවිද අප හිමියන් මුණගැසුණි. ඔවුන් සැම හරසරින් පිළිගත් හිමියන් පොලිස්පතිතුමා සහ මහව පොලිස් ස්ථානාධිපතිතුමා වන ගිහි කල මිතුරා රැගෙන ආ රන් සුර දෙකට හිඳින ලද තෙල් බිංදුව බැගින් දමා හිමියන්ගේ අණ පරිදි ඇස්ස මට්ටම් කර කැපූ රන්තැඹිලි ගෙඩි දෙකක් ගෙන්වා එම ඇස්ස කැපූ තැඹිලි ගෙඩි දෙක මත රන්සුර දෙක තැන්පත් කර තැබීමට ඉඩ සැලැස්සූ සේක.

පන්සලේ මිදුලේ පොලිසියේ නිලධාරීන්ට අමතරව ගම්මු රැසක්ද මේ දර්ශනය බැලීමට පැමිණ සිටියෝය.

නායක හිමියන් පන්සලේ මිදුල මැද තම දකුණු අත සහ වම් අත දිගහැර අත්ල මත ඇස්ස කැපූ තැඹිලි ගෙඩි තබාගෙන ඒ මත තැබූ ජීවම් කළ සුර දෙක පැහැදිලිව පෙනෙන අයුරින් රැඳවූ සේක.

කලින්ම දැනුම්දී සූදානම් කර තිබූ පරිදිම පොලිස් දෙපාර්තමේන්තුවේ ඉලක්කෙට වෙඩි තියන්න අපූරුවට පුරුදු වූ පොලිස් රාළහාමිලා දෙදෙනකු තුවක්කු දෙකක් මානගෙන සිටියහ.ඉලක්කය රන් සුර දෙකට වෙඩි තැබීමයි. දෙඅත්ල මත තැඹිලි ගෙඩියේ ඇස්ස මුදුනේ රැඳී තිබූ සුර දෙක අව්වට දිලිසි දිලිසී තිබුණි.

හිමිගේ අණ පරිදි රාළහාමිලා දෙදෙනා ක්‍රියාත්මක වූහ. විස්මයක මහත.....එක වෙඩිල්ලක් පත්තු විය. රන් සුරේම උඩින් වෙඩිල්ල ගියේය. දෙවෙනි තෙවැනි වෙඩිල්ලටත් සිදුවුණේ ඒ සැන්තෑසියමය. රැස්වූ පිරිස මහත්සේ පුදුමයට පත් විය.

හිමියන් පිරිත් කියා ආශිර්වාද කොට පොලිස්පතිතුමාගෙන් තම මිතුරු මහව පොලිස් ස්ථානාධිපතිතුමාටත් රන් සුර පැලැන්දූ සේක. මෙපුවත රට පුරා ප්‍රචාරය වීමට වැඩි දිනක් ගතවූයේ නැත.

වත්මන් කොණ්ඩදෙණිය රජමහා විහාරාධිපති ශාස්ත්‍රපති කඩම්බාවේ අනුරුද්ධ හිමියන් ළඟ මේ බලගතු තෙල් බෝතල් රැසක් තවමත් සුරක්ෂිතව පවතින බව මම දැනගතිමි. විවිධ අවස්ථාවල කිහිප වතාවක්ම අනුරුද්ධ නායක හිමියන් බැහැදැකීමට ගිය මම කොණ්ඩදෙණිය පන්සල් භුමියේදී මුණගැසුණෙමි. එක්විටක් අනුරුද්ධ හිමියන් මාහට රත්රන් සුරයක් රැගෙන එන ලෙස දැන්වු සේක. හිමි අණ පරිදි වහාම ක්‍රියාත්මක වූ මම ඊළඟ සතියේම රත්රන් සුරයක් රැගෙන කොණ්ඩදෙණියට ගියෙමි. උන්වහන්සේ ජීවම් කළ බලගතු තෙල් බිඳක් බහාලූ රන් සුරය මගේ කරේ පැළදූ සේක. ඒ කොරෝනා වසංගතය ලෝකය පුරාත් ලංකාවේත් පැතිරිණු මුල් කාලවකවානුවකය.

එකල මාගේ එකම දියණිය විවාහ වී දරු සම්පතක් ලැබීමට ආසන්න කාලයක් විය. ඇයගේ ප්‍රසව හා නාරිවේද බටහිර වෛද්‍යවරයා නිර්දේශ කළේ දියණියට දරුවකු ලැබීමට ආසන්න බැවින් ෆයිසර් එන්නත පමණක් ලබා ගන්නා ලෙසයි. එහෙත් රජයෙන් එය ලබා දුන්නේ විදේශවල අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික දරුවන්ට බටහිර රටවල විදේශයන්හි ප්‍රවේශවීමේදී ෆයිසර් එන්නත ලබාගෙන පැමිණීමේ අත්‍යවශ්‍යතාවය පදනම් කරගෙන එම බටහිර රටවල (විදේශයන්හි) අධ්‍යාපනය ලබන බවට තහවුරු කළ සහතිකයක් ඇත්නම් පමණි.

මාගේ අවශ්‍යතාව ද අප දියණියට ද කෙසේ හෝ මේ එන්නත ලබාදීමයි. එහිදී රන් සුරය මට මතක් විය. මම දුරකතනයෙන් අනුරුද්ධ නායක හිමියන් අමතා සියලු තොරතුරු සහ මාගේ අවශ්‍යතාවය පැහැදිලි කර දුනිමි.

රන් සුරයේ අපූරු බලය උරගා බැලීමට මෙය කදිම අවස්ථාවක් විය. මගේ දියණියට මේ කිසිවක් නොදන්වා ඇයගේ අත්බෑගයේ රන් සුරය ඇයට ද නොදන්වා රහසින් තැන්පත් කළ මම එවකට ෆයිසර් එන්නත නිකුත් කරන මධ්‍යස්ථානය වෙත එන්නත ලබා ගැනීමට පිටත් කර යැවීමි. එන්නත ලබා ගැනීමට ලිපිගොනු රැසක් සමඟ දිගු පෝලිමක් තිබුණි. එහි තවත් ගැබිනි මවුවරුන් ද සිටි අතර පෝළිමේ අන්තිමයා වූයේ මගේ දියණියයි.

එකෙනෙහිම උසස් හමුදා නිලධාරියකු පැමිණ මේ දරුවා ලැබීමට නියමිත මා දියණිය පෝළිමෙන් ඉවත්කර කිසිදු පත්‍රිකා පරික්ෂාවක් නොකොට ෆයිසර් එන්නත විදින ස්ථානයට කැටුවගොස් එම එන්නත විදීමට අවකාශ සැලසීය. අපගේ අවශ්‍යතාවය ඉටුවිය. ජීවම් කළ රන් සුරයේ අපූරු බලය මෙතෙකැයි මම වටහා ගතිමි. එහෙත් අද වන තුරු මේ කිසිවක් මගේ දියණියට නොපැවැසුවෙමි. ඒ යන්ත්‍ර මන්ත්‍රවල බලය ඔවුන් විශ්වාස නොකරන බැවිනි.

හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්)

ඡ්‍යොතිෂ අවිශ්කාර්

ඡ්‍යොතිෂ ශිරෝමණී

ආචාර්ය විජය සමරසිංහ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.