වර්ෂ 2024 ක්වූ November 08 වැනිදා Friday
සත් හට වන බව දුකට වෙදාණන්
ආරෝග්‍යා පරමාලාභා
සන්තුට්ඨි පරමං ධනං
විස්සාසා පරමා ඥාති
නිබ්බානං පරමං සුඛං
ලෝකයෙහි ඇති කවර සැපයක් වුවත් නිරෝගීකම නොමැතිව ලබාගත නොහැකි බවත් එම නීරෝගීකම උතුම්ම ලාභය බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. එසේම නීරෝගීකමට බාධා කිරීමට බඩගින්න මුල්වන බවත් වදාළ සේක. ඒ අනුව සියලු සත්වයන් ආහාරය නිසා ජීවත්වන බවත් පෙන්වාදුන් බුදුන් වහන්සේ බඩගින්නේ ඉන්නා කවරකුට වුවද සිය දහම නො ඇසෙන බවත් බඩගින්න නිවාලු පසු සියල්ල අවබෝධ වන බවත් දේශනා කළ සේක. ශරීරයෙහි ඉන්ද්‍රියන් හා රෝගාබාධ පිළිබඳවත් විස්තර කෙරෙන බුද්ධ දේශනාවේ කායික හා මානසික වශයෙන් රෝගාබාධ දෙවර්ගයක් ඇති බවත් පෙන්වා දී තිබේ.
කායික රෝගවලින් නොපෙළී වසර දෙකක් හෝ වසර සියයක් වුවත් සිටිය හැකි වුවත් මානසික රෝගවලින් නොපෙළී එක මොහොතක් හෝ සිටිය නොහැකි බවත් දේශනා කළහ. මනස රෝගවලට මුල්වන බවත් සතුට හෝ අසතුට මත ශරීරයේ නීරෝගීකම බලපවත්වන බවත් දේශනා කළ බුදුන් වහන්සේ දෙපතුළ පටන් හිස මුදුන දක්වා අභ්‍යන්තරව හා බාහිරව හටගන්නා බොහෝ රෝගාබාධ ඇති බවත් විශේෂයෙන් මේ රෝගාබාධ කොටස් දෙකකින් වෙන් කළ හැකි බවත් වදාළ සේක. නීරෝගීකම ළඟා කරගත හැකි වන්නේ අවට සොබාදහමට ආදරය කිරීමෙන් ඒවා රැක ගැනීමෙනි. නීරෝගිමත් ජිවිතයකට සැනසුම ළඟා කර ගැනීමට අවශ්‍ය ඔක්සිජන් වාතය ලබා දෙන්නේ ද සොබා දහම මඟිනි. සොබාදහමෙන් තොර සත්ත්වයන් ද සත්ත්වයන්ගෙන් තොර සොබාදහමක් ගැන ද සිතිය නොහැකිය.
ශරීරය නිරන්තරයෙන්ම රෝගාබාධවලට ලක්වෙන බවත් බුදු දහමේ සවිස්තරව පෙන්වා දී ඇත. ඒ පිළිබඳව බොජ්ජංග සූත්‍රයෙන් දේශනා කළ බුදුරජාණන් වහන්සේ් භික්ෂූන් වහන්සේලාට වැලඳෙන්නා වූ යම් යම් රෝගවලට නියම කරන ලද ඖෂධයන්ද මහාවග්ග පාලියේ සෛජ්ජකටකයේ දක්වා ඇත. සරත් කාලයේ දී රෝගී වන භික්ෂූන් වහන්සේලා උදෙසා ප්‍රතිකාර ක්‍රම පංච භෛසජ්ජයෙන් අනුදැන වදාළ සේක. එනම් ගිතෙල් වෙඬරු තල තෙල්, මී පැණි, උක්සකුරු යන ඖෂධ පස් වර්ගයයි. උණුතෙල් බෙහෙත් මුල් බෙහෙත් කොළ වර්ග ආදී ඖෂධයන් ද කහ, ඉඟුරු අතිවිඩයන්, සුවඳ කොට්ටං, වං මුතු, කොහොඹ, දුම්මැල්ල, කපු කරඳ, වළඟසාල්, තිප්පිලි, ගම්මිරිස්, අරළු, බුළු, නෙල්ලි යන ඖෂධයන් ද දැක්වූ සේක.
මේ ශරීරයේ පතුල සමත් උඩ හිසයට සමෙන් වැසුණු පරිමාවේ ඇතුළත් කෙස් ලොම් නිය දත් සම් මස් නහර ඇටමිඳුළු වකුගඩු, හෘදය, අක්මාව බඩ, දිව, පපු අමු ආහාර පැසූණු ආහාර පිත්, සෙම්, ලේ, දහඩිය, මේද තෙල්, කඳුළු ආදී කොටස් අසුභ සංඥාවේ ඇත. මේ ශරීරයේ දුක් බොහෝ ය. ඇස් ලෙඩ, කන් ලෙඩ කායිකව හට ගන්නා ලෙඩ දිවේ ලෙඩ, ස්වාසය, පීනස, දැවිල්ල, උණ, උදර ලෙඩ, අතීසාරය, ඉදිමුම්, කුෂ්ට, කබර, ක්ෂය, අපස්මාරය, දද, කැසිලි, රත්පිත, මධුමේහය, අංශභාගය, පිළිකාව, භගන්දරය, පිත් සෙම්, වාත තුන්දොස් සෘතු, විපර්යාසයන් මල මූත්‍ර යන කරුණුවලින් හටගන්නා වූ බොහෝ ලෙඩ රෝග මේ ශරීරයෙහි හටගන්නේ ය. එය ආදීව සංඥාවයි.
යම් අයකු රෝගාතුරවීමට ජලය වාතය ශීත උෂ්ණ ආහාර පැවතුම් ආදී කරුණු බෙහෙවින් බලපායි. ඇස් ලෙඩ, කන් ලෙඩ ආදී රෝගාබාධද හතළිහකි. එමෙන්ම බොහෝ දෙනකු සිරුරෙන් නීරෝගී වුවත් සිතෙන් නීරෝගී නොවන බව ද බුදුන්වහන්සේ දේශනා කළ සේක.
ඉති ඉමස්මින් කායේ විවිධා ආබාධා උජ්ජන්ති
සෙය්‍යාථිදං චක්ඛුරෝ
ශෝතෝත රෝගෝ
ඝණා රෝගෝ කාසරෝගෝ සීසරෝගෝ
කණ්හා රෝගෝ මුඛ රෝගෝ
දන්ත රෝගෝ
කාඝෝ පිකාසේ ජරා
මුජ්ජා විඝධිකාකුඨං
ගණ්ඩෝ නිලාසෝ
ලෝහිත පිත්තං මධුමේහෝ
අංසා පිළිකා භගංදලා
පිත, සෙම, වාතය යන තුන් දොසින් වන රෝගාබාධයන් පිළිබඳ දේශනා කළ බුදුරජාණන් වහන්සේ පංචාංගයෙන් හටගන්නා රෝග ද විෂම පරිහරණයෙන් වන රෝගාබාධයන් ද උපක්‍රමයෙන් වන රෝගාබාධද ගැනද එසේ එම රෝග කර්ම විභංග නිසා සිදුවන රෝග ගැනද පැහැදිලි කර ඇති අතර රෝගය හටගැනීමට ඇති කරුණු ද පෙන්වා දී ඇත. රෝග හට ගැනීමෙන් පීඩිත වූ ස්ත්‍රී පුරුෂයන් පමණක් නොව අසරණ සතුන්ට ද පිහිට වූ අවස්ථා ද දක්වා තිබේ. හටගන්නා වූ රෝගාබාධවලට පමණක් නොව හට ගත හැකි රෝගාබාධවලටද බුදු හිමියෝ වෛද්‍ය උපදෙස් ලබා දුන්හ. විශේෂයෙන් ආයුර්වේදයේ සිද්ධාන්තයන් බුද්ධ දේශනාව තුළින් මහත්සේ ප්‍රබෝධවත් වූ බව පොත පතින් මනාව පෙන්වා දී ඇත. නීරෝගිකම ළඟා කර ගැනීමේ දී පළමුව කළයුතු වන්නේ අවට සොබා දහමට ආදරය කිරීමයි. ජීවිතයේ සුවදායකත්වය රැක ගැනීමට සොබාදහම මුල් වේ. එය විනාශ කිරීමෙන් ලැබෙන අනිටු ඵල බොහෝ ය. බුදුරජාණන් වහන්සේ මුළු ජීවිත කාලයම ගත කළේ සොබාදහම සමඟය. උපත බුද්ධත්වය පිරිනිවන් පෑම ආදී විශේෂ අවස්ථාවන් සියල්ලක් ම සිදුවුණේ වෘක්ෂලතාදීන් මුල් කරගෙනය. එමෙන්ම බුදු හිමියන්ට වාතාශ්‍රය ලබා දුන්නේත් වෘක්ෂයන්ගෙන් සමන්විත සොබාදහමයි.
ආරාම රෝපා වන රෝපා
යේ ජනා හේතුකාරක
පපංච උද්‍යානංච
දදන්ති උපස්සයං
පුෂ්පාරාම ජලාරාම කරන්නේද ඉබේ හටගත් වනයෙහි වැට බැඳ චෛත්‍ය ආදීය කරන්නේ ද සෙවණ පිණිස ගස් වවන්නේ ද උයන් වතුකරන්නේ ද ඒ දඬු පාලම් කරන්නේ ද පන්සල් ළිං, තටාක, පොකුණු වාසස්ථාන සෙනහුන් කරවා දෙන්නේ ද ඔවුන්ට දෙව්ලොව සැප ලැබෙන්නේ ය. මනුෂ්‍ය ජීවත් කරවීමේ දී ඖෂධ වාතය ලබා දෙන්නා වූ වෘක්ෂලතාවන්ට ආයුර්වේදයේ හිමිවන්නේ විශේෂ තැනකි සුවසෙත ලබා දී නීරෝගිතාවය උදා කරන්නේත් වෘක්ෂලතාවෝ ය. එමෙන්ම ආයුර්වේදයේ වන ප්‍රතිකාරවලට ගන්නේත් මේ වෘක්ෂලතාවෝ ය.
ආහාර ශරීරයට ගනු ලබන්නේ විනෝදයට නොවේ. ඇඟ තර කර ගැනීමටද නොවේ. ආහාරය වලඳන්නේ ශරීරයත්, ජීවිතයත් පවත්වාගෙන යෑමටය. මෙසේ ආහාර ගැනීමෙන් ආහාර වැලඳීමෙන් මාගේ සාගිනි වේදනාව ඇති නොවන්නේ ය. තරම ඉක්මවා ආහාර ගැනීමෙන් වේදනාව ඇති වන්නේ ය. පමණ ඉක්මවා ආහාර ගැනීමෙන් ජීවිතය බොහෝ කාලයක් පවත්වාගෙන යෑමට හැකිවේද යන්නත් පෙන්වාදී ඇත්තේ ආහාරය ශරීරයේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය වුවත් නිතරම මෙනෙහි කළ යුත්තේ තම සැප පිණිසම නොවිය යුතු බවයි. මෙසේ භික්ෂූන් වහන්සේට අනුදැන වදාළ බුදුරජාණන් වහන්සේ ප්‍රමාණය ඉක්මවා ආහාර ගැනීම රෝගයන්ට මුල්වන බවත් අඩුවෙන් ආහාර ගැනීම හොඳ සෞඛ්‍ය සංරක්ෂණයකට හේතුවන බවත් පෙන්වා දී ඇත. එමෙන්ම බුදුන්වහන්සේ දේශනාකොට ඇති සල්ලේච සූත්‍රයෙන් පෙන්වා දී ඇත්තේ මානසික රෝග හතළිස් හතරක් ඇති බවත් එම රෝග සඳහා ප්‍රතිකර්ම ද හතළිස් හතරක් ඇති බවත් ය.
මින් තේරුම් ගත යුත්තේ මානසික රෝගවල ඇති බරපතළ තත්ත්වයයි. විශේෂයෙන් සිතට වහල්වීම, සිත මනාව පිහිටුවා නොගෙනීම නිසා ඇතිවන දුර්වලතාවයන් ද වේ. මේ සඳහා නිසි ප්‍රතිකාර බුදු දහම තුළින් පෙන්වා දී ඇත. ලෝභය ද්වේෂය, මෝහය අධික තෘෂ්ණාව හා ඊර්ෂ්‍යාව ආදී කරුණු හේතුවෙන්ද මානසික ආබාධ ඇතිවේ. ඒ පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද ගිරිමානන්ද සූත්‍රයෙන් අවබෝධ කොට ඇත. උදෑසන පිබිදුණු විට ඖෂධීය කැඳ බීම, ආයු වර්ණ සුඛ බල ලැබීම හේතුවන බුද්ධ දේශනාවේ ඇත. ගිලන්පසට ගන්නා පලතුරු යුෂ, ගිතෙල්, මී පැණි, විලඳ, උක්සකුරු ආදී චතු මධුර ඖෂධ ගුණයෙන් පිරිපුන්ය. ගිතෙල් යනු, එළඟිතෙල්ය. තෙල් වර්ග අතරින් ඉතා ගුණාත්මක උසස් තෙල් වර්ගයකි. මී පැණි යනු තුන්දොස් නසන මහඟු ඖෂධයකි. උක් සකුරු වාතය මෙන්ම පිත ද දුරු කරන ඖෂධයකි. විලඳ යනු පිපාසය සෙම් වමන දුරුකරන ඖෂධයකි.
දිනපතා උදෑසන ලුණු කැඳ වැලඳීමට පුරුදු වීම භික්ෂු ජීවිතයට වැදගත් වන්නේ නීරෝගිතාවය ඉන් රැකෙන බැවිනි. කැඳ වැලඳීමෙන් බඩගින්න ඇති කරයි. පිපාසය සංසිඳුවයි. රෝගාබාධයන්ට මුල් වන වාතය සමනය කරයි. බඩ සුද්ධ කරයි. ආහාර නිසිසේ දිරවයි. මේ ආදී වශයෙන් කැඳ ගුණ දක්වා ඇත. කැඳ වැළඳීම පුරුද්දක් කරගත් කාටවුවත් ශරීර සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීමට බෙහෙත්වල පිහිට අවශ්‍ය නොවන බව භෛසජ්ජයේ සඳහන් කොට ඇත. ජීවක වෛද්‍යවරයාණෝ බේත් සාදා කන්නට දීමෙන් රජ කෙනෙකුට හටගෙන තිබූ පාණ්ඩු රෝගය සුවපත් කළෝ ය. රජගහනුවර විසූ සිටුවරයකුගේ මොළය විද පණුවන් දෙදෙනෙකු ඉවත් කර ඇත. හිසට කරන ලද සැත්කමකින් පසු එසේ ඉවත් කරන ලදී.
බිම්බිසාර රජුගේ භගන්ධර රෝගය සුවපත් කිරීම සඳහා යොදා ඇත්තේ ඖෂධීය පැලැස්තරයකි. ශරීරය නිරන්තරයෙන්ම රෝගවලට ලක්වේ. ඒ පිළිබඳ බොජ්ඣං සූත්‍රය දේශනා කළ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට වැලඳෙන්නා වූ යම් යම් රෝගාබාධවලට නියම කරන්නා වූ ඖෂධ මහා වග්ග පාලියේ භෛසජ්ජකයේ දක්වා ඇත. අපේ වෙදකම බුදු දහම නිසා අමුතුම ප්‍රබෝධයක් ලබා ගත්තේ ය. එමෙන්ම තිලොවට තිලක වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අප විසින් සලකනු ලබන්නේ සියලු බව දුකට වෙදාණන් ලෙසට ය.
බත්තරමුල්ල පැළවත්ත
රාජපුර වෙද මැදුරේ
ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය
සුමිත් රාජපුර