අසුබ ආරංචිය සහ උස ගැහැනිය

මැයි 24, 2024

මෙතෙක් කතාව :-

තරුණ වියේ පසුවන වෘත්තිකයන් සිව් දෙනෙකු අමතා ඉන් එකෙකු කතාවක් කියන්නට පටන් ගනී. එයින් කියවෙන්නේ එක්තරා අද්භූත මහලු ගැහැනියක දැකීම හේතුවෙන් මරණයට පත් වූ තම මිතුරකුගේ කතාවය. කතාව කියන තරුණයා දිනක් රාත්‍රියේ නිවෙසට එන අතරමඟදී උස මැහැල්ලක් තමා ඉදිරියේ සිටිනු දකී. ඇය ඔහුගේ උරහසේ ගෑවි නොගෑවී නිවෙස තෙක්ම එනු දකින ඔහු බියපත් ෙවි.

“ඇත්තටම මට දැන් මේ ප්‍රශ්නවලට ඔබෙන් පිළිතුරක් අවශ්‍යයි” ඔහු පැවසුවා. “මොකක්ද මේ ගැහැනියට මා සමඟ ඇති ගනුදෙනුව? ඇය හොරකමේ යන්නියක්ද? නැත්නම් ගැහැනු ඇඳුමින් සැරසී ඇවිදින මානසික රෝගියෙක්ද? මා නොදැන මොනයම් අවස්ථාවක හෝ මොනයම් දෙයක් නිසා මට වෛර කරන්නට පටන් ගත් බියකරු මැහැල්ලක්ද? මේ ප්‍රශ්න මා ඔබෙන් ඇසුවාට ඔබට ඒවාට පිළිතුරු දෙන්නට බැරි බව මා හොඳීන්ම දන්නවා.

ඒත් අන්තිමට සිද්ධ වුණ දේ කියනවා නම් ඒ තමයි මම යටි ගිරියෙන් විලාප තියමින් දුවන්නට පටන් ගත්තා කියන එක. මම කලින් ඔබට කියූ ඉදිරිපසින් වූ ආලෝකමත් විදියට පැමිණි එනකම්ම මම දිව්වා. පුදුමම වැඩේ කියන්නේ මිත්‍රයා ඒ සමඟම මගේ හිත ඇතුළේ පිරිලා තිබුණ බිය සම්පූර්ණයෙන්ම නැති බංගස්ථාන වෙලා ගියා” “දැන් මට ආයෙත් මම දුවගෙන ආපු වීදිය දිහා බලන්න තරම් එඩිතරකමක් හිතට ඇවිත් තිබුණා. මෙතන හිටගෙන ඉන්න මට ඒ වීදියෙ කෙළවර දක්වාම පෙනුනා. ඒ වුණාට අර මගේ පිටුපසින් ඇවිදගෙන ආපු රාස්සණීගෙ නම් ඡායාවක්වත් දකින්නට ලැබුණෙ නෑ. ඒක නිසා මං කල්පනා කළා ඉස්සෙල්ලා වගෙ මේ ගෑනි දොරකඩකට මුවාවෙලා ඇති කියල” “ඒ එක්කම, මං හිටපු පාර දිගේ පොලිස් කාරයෙක් මේ පැත්තට එනව දැක්ක මම ඔහුට කිව්ව හොරෙක් හරි මිනීමරුවෙක් හරි ගැහැනියෙක් වගෙවෙස්වලාගෙන ඉස්සරහ පාරේ හැංගිලා ඉන්න බව. ඒකාව පැන ගන්නට බැරි වන විදියට මම පාරේ අනිත් පැත්තෙන් ඇතුළු වුණේ, පොලිස් නිලධාරියාට මේ කෙළවරින් ඇතුළු වෙන්නට කියමින්”

“ඉන් පසුව අප දෙදෙනාම එකතු වෙලා මේ වීදියේ දෙපස දොරක්, ගෙපිලක් වගේම සෑම ඉඩකඩක් පාසාම හොයා බැලුවා. ඒ නාකි ගැහැනිය තබා බල්ලෙක් බළලෙක්වත් දක්නට ලැබුණේ නැහැ. අන්තිමේදී පොලිස්කාරයා තීරණය කරපු විදියට “ඒකා” නැතිනම් මේ රාස්සණිය ගේකට රිංගා ගන්නට ඇතියි කියා ගෙදර යනවා ඇරෙන්නට මටත් කරන්න දෙයක් තිබුණේ නෑ.

පහුවදාම වෙනත් ගෙදරකට යනවා කියා සිත සන්සුන් කරගත් මම තවත් සුළු මොහොතකින් නිවෙසට ගොඩවුණා. මගේ කාමරයේ සිටින අනෙක් සගයා වන ජෝසේ අවදි නොකළ යුතු නිසා මම හැම විටම පිටතට ගියේ කාමරයේ අනිත් යතුරක් අරගෙන. ඒ නිසා ඔහුට මගෙන් බාධාවක් නොවී සුවසේ නිදා ගන්නට හැකි වුණා”

“ඒත් මේ කියන දවසේ ඔහු මා පැමිණෙනතුරුම අවදිව සිටියා. මේ දවස ගැන කියනවා නම් ඒ නොවැම්බර් 15ත් 16ත් අතර රාත්‍රි කාලය ලෙස සඳහන් කරන්නට පුළුවන්. මම ඔහු දෙස පුදුමයෙන් නෙත් යොමු කළේ “මොකද වෙලා තියෙන්නේ?” කියා අසමින් ජෝසේ කතාව පටන් ගත්තේ මේජර් ෆාල්කෝන් මෙහි පැමිනුණ බව කියමින්, “ඔබ පැමිණෙන තෙක් ඔහු රාත්‍රි 11.30 සිට පාන්දර දෙක හමාර වනතුරු බලා සිටියා. ඉන්පසු ආපසු ගියේ ඔබ ආපසු පැමිණියහොත් ඇඳුම් මාරු කරන්නේවත් නැතිව බලා සිටින ලෙස දන්වමින් ”

“ඒ පුවත ඇසූ මම මගේම මරණ තීන්දුව ලැබුණාසේ දැඩි ශෝකයටත් තැති ගැනීමටත් පත්වුණා”

“ඒ වන විට අසාධ්‍ය රෝගයකින් පෙළෙමින් සිටි මගේ පියා කීප වතාවක් මරු මුවට ළං වෙමින් ගොඩ එමින් සිටියා. යම් විදියකින් පියා මියගියහොත් ඒ බව මේජර් ෆාල්කොන්ට දන්වන ලෙස මා පවුලේ උදවියට දැනුම් දී තිබුණා. ඒ අනුව මේජර් ෆාල්කොන්ගේ පැමිණීම යනු පියාගේ අභාවය පිළිබඳ අසුබ පනිවිඩය ගෙන ඒම බව දෙවරක් සිතිය යුතු වුණේ නැහැ. ඒ අනුව මේ ශෝක ජනක ආරංචිය බාර ගැනීම සඳහා හැකි පමණ හිත හදා ගනිමින් මම එළිවනතුරු අවදිව සිටින්නට තීරණය කරගෙන හාන්සි පුටුවක දිගාවුණා.

හිරු උදාවන්නට තිබුණේ දෙපැයක් පමණක් වුවත්, ඒ කාලය මුළුල්ලේ මම දෙවසරකට හරියන පීඩාවක ලක්ව සිටියා. තව කෙනෙකුට වචනයෙන් විස්තර කළ නොහැකි වුවත්, ඒ තත්ත්වය දෙවියන් වහන්සේ වටහා ගන්නට ඇතැයි කියා මා සිතනවා. මේ තත්ත්වය මධ්‍යයේ වුණත් මට මගේ දෛවය පිළිබඳ එක්තරා කරුණු තුනක් ගැන පැහැදිලි අදහසක් ඇතිවුණා”

“ඒ තමයි සූදුවට ගොස් නැත්තටම නැතිවීම, මේ භයංකාර අමනුෂ්‍ය ගැහැනිය දකින්නට ලැබීම, ඊළඟට මගේ පියාණන්ගේ මළගම ගැන අසන්නට ලැබීම. මේ ගැන කල්පනා කරමින් සිටියදී මේජර් ෆාල්කොන් උදැසනින්ම නිවසට පැමිණියා. ඒ වන විට වේලාව උදේ 6.00ට ඇති ඔහු කිසි වචනයක් වත් නොකියා මා දෙස බලාසිටි ආකාරයෙන්ම රැගෙන ආ ආරංචිය මා වටහා ගත්තා. ඒ සමඟම ශෝකය දරා ගත නොහැකිව මා මහ හඬින් හඬා වැටුණා.

ඉතාමත් හෘදයාංගම මා වැළඳගත් ඔහු පැවසුවේ ඇති තරම් හඬන්න මිත්‍රයා මෙය හඬා වැටිය යුතු කාරණාවක් තමයි. ඉතා කරුණාවන්ත හඬකින් පැවසුවා”

තවත් වයින් වීදුරුවක් පුරවාගත් ගේබ්‍රියෙල් ඉන් උගුරක් පානය කොට යළිත් කතාව පටන් ගත්තා. සිය කතාවේ මෙතැනදී හැඟීම්බර වුණු මොහොතකට නිහඬ වුණා. ඉන්පසු යළිත් හිතට දිරිගත් ඔහු දිගටම කියාගෙන ගියා.

“ඇත්තටම මගේ කතාව මෙතැනින් නතර වුණා නම් ඒ ගැන විග්‍රහයක් කිරීම ඔබ ඇතුළු හැම දෙනෙකුටම ඉතා පහසු කාර්යයක් වන්නට තිබුණා. මේ සිද්ධි දාමය පසුපස කිසිම අස්වාභාවික දෙයක් නැති බව ඔබ වුණත් පවසාවි. මේ අවස්ථාවේදී ලෝක විෂය ගැන විශාල අවබෝධයක් ඇතැයි මා සිතා සිටි බොහෝ දෙනා පැවසු ආකාරයට, සමහර විට සංවේදී ස්වභාවයක් ඇති මිනිසුන් හැම කෙනකුම වාගේ මීට සමාන අත්දැකීම්වලට මුහුණ දෙන බව ඔබත් පවසාවි. ඒ වගේම යම් දෙයක් කෙරෙහි ඇති කරගත් බියකින් පසුවන්නට ඉඩ තිබෙන බවත් පහදා දේවි. ඉතින් මිත්‍රයා, මේ කියන සිද්ධාන්තය මටත් ආරෝපණය කර ගන්නට මම උත්සාහ කර බැලුවා. ඒඅනුව මා තුළ බයක් හට ගත්තේ රාත්‍රියේදී හුදෙකලාව හමුවන ගැහැනුන් නිසා බව මම වටහා ගත්තා. ලෝකයේ විවිධ භය සංකාවලට මුහුණ දෙන පුද්ගලයන්ගෙන් මමත් එක් පුද්ගලයකු පමණයි කියා මම හිත හදා ගත්තා. ඔය ආකාරයට මාස ගණනාවක් ගත වෙද්දී මෙය ඇත්තටම මේ මිහිමත ජීවත්වන පුද්ගලයන්ට අත් විඳීන්නට සිදුවන සාමාන්‍ය ස්වාභාවයක් කියන තත්ත්වයකට මම පත්වුණා”

“මගේ මානසික තත්ත්වය ඒ ආකාරයට සන්සුන් කරගෙන හිටියත්, මේ පිළිකුල් සහගත මායාකාර යක්ෂණිය යළි කිසි දිනක මුණ නොගැසේ නම් ඒ සඳහා මගේ ජීවිතයෙන් වසර ගණනාවක් හිලව් කරන්නට පවා මම අධිෂ්ඨාන කරගෙන හිටියා. නමුත් ඔබ දන්නවාද ගේබ්‍රියෙල් මේ මොහොතේ මා එම යක්ෂණිය මුණ ගැසෙනු සඳහා වසර ගණනාවක් නොවෙයි මුළු ජීවිතයම වුණත් බිළි දෙන්න සූදානම් තත්ත්වයක සිටින බව” ’‘ ඇයි ඔබට මේ හැතිරිය මුණ ගැහෙන්නට මෙතරම් උවමනාවක්?” මා ඇසුවා.

“වෙන මොකකටවත් නෙවෙයි ඒ මොහොතේම ඒකිව එතැනම මරා දමන්නට”

 

(මතු සම්බන්ධයි)

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.