ෆෝටි වෙනකොට නෝටි වෙනවද?

මැයි 17, 2024

යමෙකු මෙලොව ජන්ම ලාභය ලැබීමෙන් පසු ඔහු කුඩා කල සිට මරණය දක්වා විවිධ කාල පරාසයන් පසු කරයි. ඡ්‍යොතිෂ ශාස්ත්‍රයට අනුව යමෙකු ජන්ම ලාභය ලබන අවස්ථාවේ දී චන්ද්‍රයා සිටින්නේ කුමන නැකතක ද නැකැත් පාදයක ද එම නැකැත් පාදය අයත් වන්නේ කුමන රාශියකට ද යනාදිය පදනම් කරගෙන එම නැකත හිමි ග්‍රහයාගේ දශා කාලයක් ලබයි.

උපදින විට අදාළ ග්‍රහයාගේ දශා කාලයෙන් කොටසක් ගෙවී තිබිය හැකි අතර තව කොපමණ කාලයක් එම දශා කාලයෙන් ගෙවීමට අත්දැයි ඡ්‍යොතිෂ් ශාස්ත්‍රඥයා විසින් ගණනය කරනු ලබයි. එතැන් සිට අවුරුදු 120ක උපරිමයක් දක්වා එම ජන්මියා ජීවත්ව සිටියි යන උපක්ලපනය මත එම උපදින අවස්ථාවේ ලැබූ දශාවට සාපේක්ෂව සෑම ග්‍රහයකුට අයත් දශා කාල එකතු කරමින් ජන්මියාගේ පූර්ණ ආයුෂ දක්වා දශා විහිදෙන අන්දම සොයා බලයි. එම දශා වසර 120ක උපරිමයක් දක්වා වන බැවින් ඒවා විංශෝත්තරී මහ දශා ලෙස හඳුන්වයි. මෙම විංශෝත්තරී දශා ක්‍රමය සෑම ජන්මියකුම උපත ලබන විට චන්ද්‍රයා විවිධ නැකැත් පාදවල සිටින බැවින් ආරම්භක දශාව වෙනස් වෙයි. එබැවින් ජන්මියා ලබන ඉදිරි දශා ද උපත ලබන දශාවට සාපේක්ෂ වන බැවින් එක් ජන්මියකු තවත් ජන්මියකු සමාන නොවන සේ දසා ලබයි.

උදාහරණයක් ලෙස යමෙකු අස්විද, මා, මුල යන නැකැත්වලින් උපත ලදහොත් ඔහුට අදාළ වන්නේ කේතු මහ දසාවයි. යමෙකු බෙරණ, පුවපල්, පුවසල නැකත්වලින් උපත ලදහොත් ඔහු හෝ ඇයගේ දශාව පටන් ගන්නේ සිකුරු මහදශාවෙනි. ඒ ඒ දශාවලට අයත් කාල සීමාවන් අසමාන ලෙස බෙදී තිබේ. කේතුට 7, සිකුරු 20, රවි 6, සඳු 10, කුජ 7, රාහු 18, ගුරු 16, ශනි 19, බුධ 17 යනාදී එහි එකතුව වසර 120කි.

මේ විංශෝත්තරී දශා තත්ත්වය මෙසේ තිබිය දී වුවද යම් ජන්මියකු ගේ ජීවිත කාලය වෙනස් නොවන සේ සෑම ජන්මියකුටම පොදු සේ සලකා ජීවිතයේ කාල සීමාවන් බෙදෙන ක්‍රමයක්ද ඡ්‍යොතිෂ ශාස්ත්‍රයේ දක්වා තිබේ.

එම ක්‍රමය සඳුගෙන් පටන් ගෙන සෙනසුරුගෙන් අවසන් වේ. මෙසේ බලන කල සෑම ජන්මියකුම උපදින විටම එම ජන්මියාගේ පාලනය නතු වන්නේ සඳුට ය. ඉන්පසු කුජටය. ඉන්පසු බුධටය. ඉන්පසු සිකුරුටත් ඉන්පසුව ගුරුටය. අවසාන වශයෙන් ශනිටය. මෙලෙස ජන්ම පත්‍රයක භාව 12කින් සමස්ත ජීවිතයේ විවිධ කරුණූු නියෝජනය කරනවා සේම යමෙකුගේ ජීවිතයේ විවිධ කාල පරාසයන්ද නියෝජනය කරයි. උපත ලග්නයෙන් දක්වන අතර ඔහුගේ ජීවිතයේ අවසානය 12 වැනි භාවයෙන් දක්වයි. මෙසේ සැලකෙන කල පළමුවන භාවයේ සිට දෙක, තුන ආදී වශයෙන් අවස්ථා පසු කරමින් 7 වැනි භාවයට ජන්මියා ළඟා වන විට ඔහු මෙතෙක් දිවි ගමනේ පැමිණි තනිකඩ දිවියෙන් මිදී දෙදෙනෙකු වශයෙන් ජීවිතයේ ඉදිරියට ගමන් කිරීම අරඹයි. ඡ්‍යොතිෂ ශාස්ත්‍රයේ දශා ක්‍රමයේ දී පූර්ණ ආයුෂ 120ක් ලෙසින් සැලකුවද නවාංශක උපයෝගී කොට ගනිමින් ආයුෂ ගණනයේ දී උපරිම ආයුෂ 108ක් බව සලකයි.

අද වන විට ප්‍රායෝගිකව බලන කල 108ක් ආයු වලඳන්නේ ද කලාතුරකින් කෙනෙකි. බුද්ධ කාලයේ සිට සලකා බලන කල බුදුන් වහන්සේ පවා ආයු වැලඳුවේ අවුරුදු 80ක් පමණි. එබැවින් අද ද යමෙකු ලබන උපරිම ආයුෂ අවුරුදු 80ක් ලෙස සැලකිය හැකි අතර අවුරුදු 80 ඉක්මවා යමෙකු ජීවත් වුවහොත් ඔහු දීර්ඝ ආයු වැලඳූ අයකු ලෙස සැලකිය හැකිය.

සමස්ත ආයු කාලය අවුරුදු 80 ලෙස සලකා එය කේන්දරයට ආදේශ කළහොත් අවුරුදු 40ක සීමාව අයත් වන්නේ හත් වැනි භාවයේ ආරම්භයටයි. බොහෝ දෙනා එම වකවානුව වන විට අප දෙවැනියට සඳහන් කළ කාල සීමා නිර්ණයට අනුව ගත කරමින් සිටින්නේ සිකුරු හා බ්‍රහස්පති අතර ගෙවී යන ආයු කොටසයි. එහිදී එම කාල සීමාවේ දී බොහෝ දෙනාට ජීවිතයේ බොහෝ දේ අවබෝධ වන වකවානුවක් වේ. එය ජීවිතයේ අඩක් ගත කළ බවට ස්වභාව ධර්මයා විසින් ලබා දෙන ඉඟියක් වැනිය. එබැවින් එම හතළිස්වැනි වසර තවත් ලෙසකින් ජීවිතයේ දෙවැනි කොටසේ ආරම්භය ලෙස ද සැලකිය හැකිය. ලග්නයෙන් ආරම්භවන ජීවිතය කුඩා දරුවකු සේ ආරම්භ කළද හත්වැනි භාවයෙන් ආරම්භ කරන ජීවිතය ජන්මියා ආරම්භ කරනුයේ විවාහ වී දරුවන් ලබා සිටින මැදි වයසට පැමිණිය අයකු සේ ය. එම අවධියේ දී බොහෝ විට මව දරුවන් සමඟ වෙහෙසී වැඩි කාලයක් ගත කරයි. පියා ආර්ථිකය ශක්තිමත් කිරීමෙහිලා බොහෝ වෙහෙසෙයි. එවැවින් පෙම්වතුන් සේ ආරම්භ කළ විවාහ දිවිය සංකීර්ණ අරමුණු සඳහා වෙහෙසෙන දෙදෙනෙකු බවට මොවුන් පත්කර ඇත.

මේ අවධිය සදාචාරය, අධ්‍යාත්මය දෙසට ජන්මියා යොමු කරන අතර සමාජය ද ජන්මියාගෙන් එයම අපේක්ෂා කරයි. ගුරු ජන්මියාගේ සිතුවිලි අධ්‍යාත්මය දෙසට රැගෙන ගිය ද ඊට ප්‍රතිවිරුද්ධ ලෙස ගුරුගේ පරම හතුරා වන අසුර ගුරු හෙවත් සිකුරු ජන්මියා ලෞකිකත්වය දෙසට අදිනු ලබයි. මේ සමයේ ජන්මියා පසු වන්නේ ලෞකික, ලෝකෝත්තර සිතුවිලි අතර දැඩි ලෙස දෝලනය වන අවධියකය.

මෙතෙක් පැවැති එකිනෙකාට දැඩිව ආකර්ෂණය වන සුළු ගතිය ක්‍රමයෙන් දරුවන් හා ආර්ථිකය යන කාරණා දෙසට ගමන් කිරීමේදී ගැළපීම් නොගැළපීම් ගැන සිතන්නට දෙදෙනා පටන් ගනියි. මෙය දෙදෙනාගෙන්ම බොහෝ විට අපට දැකගත හැකියි. මේ අවස්ථාවේ දී එනම් අවුරුදු 30 - 40 ආසන්න කාලයේ දී තවමත් මෙම ජන්මීන් ගත කරමින් සිටින්නේ සිකුරුට හා බ්‍රහස්පතිට අයත් සංක්‍රාන්ති කාල සීමාවක් බැවින් එම ජන්මියාගේ ජන්ම පත්‍රයට අනුව කුජ ග්‍රහයාද බලවත්ව ලෞකික ජීවිතයේ දැඩි ඇල්මට ජන්මියා යොමු කරන ස්ථානවල සිටී නම් එනම් 2, 4, 7, 8, 12 වැනි ස්ථානවල සිටී නම් හෝ කුජ, සිකුරු සංයෝග වී පවතී නම් එම ග්‍රහයන්ට රාහුගේ දෘෂ්ටි හෝ එක්වීමක් දැකගත හැකි නම් බොහෝ විට එම ජන්මියාට පවා වෙනත් පෙම් සබඳතා පිළිබඳ සිතුවිලි හට ගැනීමේ මෙන්ම ඒවාට යොමු වීමත් ඒවා දිගින් දිගට පවත්වාගෙන යාමටත් ග්‍රහබලයට අනුව පෙලඹේ. මේ සමාජයේ ප්‍රසිද්ධ කියමනක් ලෙස මේ තත්ත්වය Naughty Forty  යනුවෙන් ද හඳුන්වයි. මෙම ලෞකිකත්වයට ආකර්ෂණය කරන ඉහත සඳහන් කළ ග්‍රහ බලපෑම් සංයෝග, ග්‍රහ දෘෂ්ටි වැනි දෑට විරුද්ධව ක්‍රියාකළ හැකි යම් ශික්ෂණයක්, විනයක්, අධ්‍යාත්මික බවක් ඇති කළ හැකි ග්‍රහයන් වන ගුරු, සෙනසුරු, කේතු වැනි ග්‍රහයන් ද පූර්ණ චන්ද්‍රයාද කේන්දරයේ ප්‍රබලව පිහිටා ඇති නම් බොහෝ ජන්මීන් තුළ මේ කාල සීමාවේ ඒ ඒ ග්‍රහ බල මට්ටම් පරිදි යම් නම්‍යතාවයක් මෙවන් සබඳතා කෙරෙහි දැකිය හැකිය. මේ සබඳතා ඒ ලග්න අනුවත් ග්‍රහබල අනුවත් කෙටි කාලීන, දිගු කාලීන හෝ යම් අදහස් මාත්‍රයත් අතර වීම වැනි සුළු ත්ත්ව පවා දැක ගත හැකි වේ. මෙය විද්‍යාත්මකව බැලුව ද ස්ත්‍රියක් සහ පුරුෂයකුගේ තාරුණ්‍යයට රූප ශි‍්‍රයාවට සියුමැලි බවට හා පුරුෂයාගේ පුරුෂ ගති පැවතුම්වලට එකින් එකට වෙනස් වූ හෝමෝන බලපාන බව සත්‍යයකි. යම් පිරිමි පුද්ගලයකුගේ හෝමෝන තත්ත්වයන් ඉතා ප්‍රබල නම් එය ඔහුගේ කුජ ග්‍රහයා තුළින් නිරූපණය කරයි. ඔහු ශරීර ශක්තියෙන් අනූනනය. ඔහුගේ ලිංගික හැකියාවන් වැඩි විය හැකිය. ඊට ආශි‍්‍රත හෝර්මෝන ශක්තිය ද වැඩිවිය හැකිය. තරුණ බවට ද කල් පැවතිය හැකිය. ඉක්මනින් වයසට නොයයි. අනෙක් පසින් ස්ත්‍රියකගේ මෘදු මොලොක් බවද ලාලිත්‍යයද කේෂ කල්‍යාණයද සමේ පැහැයද ජීව භාවයද සිකුරුගේ හොඳ පිහිටීමෙන් ලැබේ. මෙසේ පවතිද්දී ස්ත්‍රී, පුරුෂ භේදයෙන් තොරව කුජගේ හා සිකුරුගේ ප්‍රබල සංයෝග ඇත්නම් ඔවුන්ට අවශ්‍යතාව සහ ආශාව යන ලෞකික තත්ත්වයන් ප්‍රබලව තිබිය හැකිය. එබැවින් අවුරුදු 40ක කාල සීමාවේදී බැවින් සමස්ත ග්‍රහ තත්ත්වයන්ට සාපේක්ෂව බොහෝ ජන්මින් තුළ යම් ප්‍රමාණයක ආකර්ෂණයක් විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ඇතිවිය හැකිය. මෙහිදී අපි උත්සාහ කරන ලද්දේ සමාජයේ මෙන්ම බොහෝ රටවල ප්‍රසිද්ධ මතයක් ලෙස පවතින ව්චභඨඩබර ජ්ධපබර යන සංකල්පය යම් තරමක් දුරට ඡ්‍යොතිෂාස්ත්‍රානුකූලව විග්‍රහ කර බැලීමටයි.

උපදෙස් - ඡ්‍යොතිර්වේදී

සම්පත් බමුණුආරච්චි

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.