අවානක් අතින් ගත් උස ගැහැනිය

මැයි 3, 2024

තරුණ සිවිල් ඉංජිනේරුවා තම කතාව පටන් ගත්තේ භාෂාවකට අයත් වචනවලින් පැහැදිලි කිරීමට අපහසු යම් යම් කාරණා ජීවිතයේ දී ඉඳහිට හෝ අපට අත්විඳීන්නට සිදුවන බව අවධාරණය කරමිනි.

සැබැවින්ම එය කෙනෙකුගේ කතාවකට සවන්දීමට ඉතාමත් සුදුසු පරිසරයක් මෙන්ම අවස්ථාවක්ද වූයේය. මෙය 1875 වසරේ දිනයක් වූ බව හොඳීන් මතකය. මගේ මතකයට අනුව එය ශුද්ධ වූ ශාන්ත ජේම්ස්ගේ දිනය වූයේය. අපි කඳු මුදුනක සිසිල් ප්‍රණීත වාතය ආශ්වාස කරමින් විවේක ගනිමින් සිටියෙමු. දිනයක විනෝද චාරිකාවක් සඳහා පැමිණ සිටි අප හය දෙනා සිටියේ ග්වාතාරාමා නමින් හඳුන්වනු ලැබූ කඳු ගැටයේ සුන්දර දිය උල්පතක් අසල වූ පයින් ගසක සෙවණේය. ස්පාඤ්ඤයේ මැඩ්රික් සහ සොහොමියා යන පළාත් දෙකේ සීමාව මධ්‍යයෙහි පිහිටි සුප්‍රකට එස්ක්‍යුරියල් මාලිගය පිහිටා තිබුණේ අප සිටි ස්ථානයට ලීග එක හමාරක් එපිටිනි.

අප පිරිසෙහි සිටි ළාබාලම තැනැත්තා වූද, බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තෙකු ලෙස යම් පිළිගැනීමක් සහිත පුද්ගලයෙකු වූද, ගේබ්‍රියෙල් යනු අපගේ මේ කතා කියන්නා වූයේය. විවිධ විෂයයන් අරබයා ඔහු තුළ වූ දැනුවත්භාවයද ඉස්මතු වන අයුරින් කතාවෙහි නිරත වන්නෙකු වුවද, සෑම විටම පාහේ හොඳ පැහැදිලි ඉදිරිපත් කරන්නකු ලෙස හෙතෙම අපගේ ඇගයීමට ලක්ව සිටියේය.“ඇත්තම කියනවා නම් අපට ලෝකය ගැන තියෙන්නේ බොහෝම අඩු

දැනුමක් මිත්‍රවරුනි, අපේ දැනුම කොයිතරම් පටුද කියන එක නිරන්තරයෙන් අප කල්පනා කළ යුතුයි කියා මා සිතනවා” ඔහු සිය කතාව ආරම්භ කිරීමට ප්‍රථම අපට පැවසුවේ තම කතාවට එරෙහිව තර්කයක් විතර්කයක් මතුවේයයි සිතාගෙන විය යුතුය.“මේ කතාව අසන ඔබ, මා බුද්ධියට හෝ දැනුමට නිග්‍රහ කරන මිථ්‍යාදෘෂ්ටිකයකු යයි සිතන්න එපා, අනෙක් අතින් ඔබ තුළ එවැනි සිතුවිල්ලක් ඇති වුණත් මට කළ හැකි දෙයක් නැහැ. නමුත් මේ මා කියන්නට යන්නේ අද අප අගයන විද්‍යාව හරි, ඥානය අනුව හරි, දර්ශනය අනුව හරි ෂේක්ස්පියර්ගේ “හැම්ලට්” වල කියන්නාක් මෙන්, වචන, වචන සහ වචනවලින් තේරුම් කළ නොහැකි සිදුවීමක්” තරුණ ගේබ්‍රියල්ගේ කතාවට සවන් දීමට එකතුව සිටියේ විවිධ වයස් කාණ්ඩවලට අයත් අප පස් දෙනෙකි. තරමක වයස්ගත එක් පුද්ගලයකු හැරෙන්නට අනික් සිවුදෙනාම ගේබ්‍රියල්ට වඩා වැඩිමහලු සම වයසේ පුද්ගලයෝ වූහ. තිදෙනෙකු ගේබ්‍රියල් මෙන් ඉංජිනේරු වෘත්තියේ යෙදෙන්නන් වූ අතර, අනෙකා පින්තාරු කරන්නෙකු වූයේය. පස් වෙනි තැනැත්තා යම්කිසි උගතෙකු ලෙස පිළිගැනීමට ලක්ව සිටියෙකි.

“මේ කතාව ඇහුවාට පස්සේ මා විකාර සිහින දකින අයෙක් විදියට ඔබලා විසින් නිග්‍රහයට ලක් කරනු ඇත කියා මා සිතන්නේ නැහැ. වාසනාව නිසා හරි අවාසනාව නිසා හරි මම වර්තමානයේ ජීවත්වන මිනිහෙක්. ඇත්තටම මම කිසිම මිථ්‍යා විශ්වාසයක් කරගහ ගත්තු අයෙකු නොවේ. ඒ වාගේම මතක තියා ගන්න මම හැමවිටම ධනාත්මකව ජීවිතය දිහා බලන අයෙක් කියන

එකත්” “මම ඔබලාට කියන්නට ලෑස්ති වෙන කතාව මගේ අත්දැකීමක් නොවෙයි.

එහි කතා නායකයා වෙන කෙනෙක්. නමුත් ඔහු මුහුණ දුන් මේ අද්භූත සිද්ධිය සියයට සියයක්ම ඇත්ත කියා පිළිගන්නට සිදුවන තරමට මමත් ඒ අත්දැකීමට සමීපව සිටියා” මෙසේ කියු ඔහු අප දෙපා අසලින් ගලා ගිය සීතල දිය දහරේ ගිල්වා තිබූ වයින් බෝතලයකින් වීදුරුවක් පුරවා සිය තොල කට තෙමා ගත්තේය.

“ඔබ අසා තිබෙනවාද ටෙලස්පෝරෝ නැමැති ඉංජිනේරු බළකායේ සේවය කළ තරුණයෙක් ගැන? සෙංගමාලය හැදීම නිසා 1806 දී ඔහු මිය ගියා” කණ්ඩායමේ වූ අප තිදෙනෙක් ඔහු ගැන අසා තිබිණි. ඔහු ගැන හොඳීන් දැන සිටි අයෙකු පැහැදිලි කළ පරිදි මේ තරුණයා කළු උඩු රැවුළක් සහිත කඩවසම් පුද්ගලයෙකි. “මිනිහා කසාද බඳීන්න තීරණය කරගෙන හිටියේ මොරේඩා මාක්විස් ගේ දියණිය වුවත් ඒකට ඉඩක් ලැබුණේ නැහැ.. විවාහයට කළින් සෙංගමාලය

හැදී ඔහු මියගිය නිසා” අයෙක් පැවසීය. “හරියට හරි එයා තමයි”

පිරිසේ කෙනෙකු පුද්ගලයා හඳුනා ගැනීම නිසා සතුටට පත් ගේබ්‍රියෙල් පැවසීය. තම කතා නායකයා ගැන දන්නා අය දෙතුන් දෙනෙකු සිටීම ඔහුගේ කතාව කරගෙන යාමට ලොකු අනුබලයක් වූයේය. “මිය යන්නට හය මාසයක් තියා ඔහුගේ ජීවිතය සම්පූර්ණයෙන්ම අපායක්

වන තත්ත්වයකට කරුණු සැකසිලයි තිබුණේ. ඒ වෙනකොට ඔහුගේ අනිත් පැත්ත කියනවානම් මැරෙන්න හය මාසයකට කළින් ඔහුව දකින්නට ලැබුණේ තරුණ්‍යයේ සතුට ඉහළින්ම භූක්ති විඳීනු ලැබූ නීරෝගි සෞඛ්‍ය සම්පන්න තරුණයෙක් විදියට. ඔබලාගෙන් කෙනෙක් හොඳීන් දන්නා ආකාරයට ඔහු කළු උඩුරැවුළක් සහිත කඩවසම් තරුණයෙක්. ඒ වාගේම ඔහුගේ සමකාලීනයන් අතරින් මුළින්ම උසස්වීමක් ලැබීමට තරම් වාසනාවකුත් ඔහුට තිබුණා. මේ හේතුවෙන් ඔහු තමා සමඟ සිටි සියල්ලන්ගේම ගෞරවයට පාත්‍ර වූ අයෙකු වුණා” ධෛර්යය සම්පන්න භාවය ද, නිර්භීතකමද ඔහු ගෞරවණිය මිනිසෙකු බවට පත් කිරීමට හේතු වූ අනෙක් සාධක දෙක බව කිව යුතුයි.

මේ සියලු ගුණාංගයන් ඉස්මතුව පෙනෙන්නට නම් ඔහු හොඳ වෘත්තිකයෙකු ද විය යුතුය යන්න මා ඔබලාට අමුතුවෙන් කිවයුතු නැතැයි සිතනවා. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔහු හොඳ වෘත්තිකයෙකු ද වුණා. ඔහුගේ එම කීර්තිය කොතෙක් දුරට පැතිරුණාද කියනවානම් ප්‍රධාන පෙළේ සමාගම් කිහිපයක්ම ඔහුගේ සේවය ලබා ගන්නට තරග බිමට එළඹ සිටියා. එපමණක් විතරක් ද නොවෙයි බොහෝ ධන කුවේරයන්ගේ තරුණ රූමත් දියණියන් මොහුගේ අතගන්නට ඉතා කැමැත්තෙන් සිටි බවත්, මා දන්නවා. නමුත් ප්‍රතිපත්ති ගරුක පුද්ගලයෙකු වූ ටෙලස්පෝරෝ තම පෙම්වතිය වූ ජෝකීනා මොරේඩා තමාගේ ප්‍රේමය කෙරෙහි තැබූ විශ්වාසයට ද්‍රෝහි වුණේ නැහැ. එහෙත් මේ සුන්දර යුවතිය එක්තරා මොහොතක අනපේක්ෂිත ලෙස හදිසියේ මිය ගියා. ඒ 1859 ග්‍රීෂ්ම සෘතුවේ අවසාන කාලයේදී ශාන්ත අග්වේතාවේ ස්නානාගාරයකදී. මේ කණගාටුදායක ආරංචිය මට ලැබුණේ පාවූ නගරයේ සිටියදී. ටෙලෙස්පෝරෝ මගේ හොඳම මිතුරාවීම නිසා එම ඛේදවාචකය මා තුළ තදබල කම්පනයක් ඇති කළා. ඇත්තෙන්ම කියනවානම් මේ මොරේඩා නැමැති තරුණිය මට හමුවී තිබුණේ එකම එක අවස්ථාවකදී පමණයි. ඒ ඇයගේ නැන්දණියගේ සැමියා වූ ලෝපේස් ජෙනරාල්වරයාගේ නිවසේදී. ඇය විශිෂ්ට ගතිගුණවලින් යුත්, ආචාරශීලී ස්වභාවයකින් යුතු තරුණියක බවට වැටහී ගියා. මේ හැරණු කල සිය පියාගේ පරම්පරාවේ පදවි නාමයකටත් ඇය උරුමකම් කියනු ලැබුවා. ඒ පදවි නාමය සමඟ එකට බැඳුණු මහා ධනස්කන්ධයකුත් ඇයගේ උරුමය සමඟ බැඳී තිබුණු බව මෙහිදී සිහිපත් කළ යුතු තවත් කරුණක්. නමුත් ඇය කෙරෙහි විද්‍යාමාන වූ අසාමාන්‍ය වූ සුදුමැළි පැහැය නම් යම්කිසි රෝගයක ලක්ෂණයක් යයි මම අනුමාන කළා. මේ කරුණු සියල්ල සලකා බලනවිට ඇගේ මරණය ටෙලෙස්පොරෝට ලෙහෙසියෙන් සිත සනසාගත හැකි දෙයක් නොවූ බව අමුතුවෙන් කිවයුතු නැහැ නේද මිත්‍රවරුනි.?”

 

(මතු සම්බන්ධයි)

තිස්ස ප්‍රේමසිරි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.