වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
අපේකම මුලින්ම කියා දුන් ගැමි ඇදුරා
අපේකමත් සමඟ බැඳි වෘත්තාන්ත රැසකි. අපේකම රැක ගැනීම හා ඉන් පෝෂණය ලැබීම කිසියම් ජාතියක සංවර්ධනය උදෙසා බලපානු ලබන මූලික සාධකයක් ලෙස සමාජ විද්‍යාඥයෝ පවසති. අපගේ කවියන් ඇතුළු බොහෝ නිර්මාණ ශිල්පීන් සේම සමාජ පරිවර්තකයන්ට සිය මතවාද දියත් කිරීම උදෙසා ‘අපේකම’ භාවිත කරනු පෙනේ. 1960 දශකයේ මෙරට ජනතා විමුක්ති පෙරමුණ බිහිකිරීමෙහිලා ව්‍යාප්තිය උදෙසා බහුල වශයෙන් ‘අපේකම’ භාවිත කළහ.
එහිදී ඉන්දීය ව්‍යාප්තවාදයට එරෙහිව දේශීය චින්තනය වෙනුවෙන් ඔවුහු අපේකම ප්‍රයෝජනයට ගත්හ. එසේම දෙවැනි ලෝක සංග්‍රාමයේදී හිට්ලර් සිය ජාතිය ලොව සිටින ඉහළම සත්ත්වයා බවට පත්කිරීමට යොදා ගත්තේ අපේකමයි. එක් එක් කරුණුවලදී විවිධ වශයෙන් බොහෝ දෙනෙකු විවිධ අයුරින් යොදාගත් සංවර්ධන හා ප්‍රබලතම අවියක් ලෙස ‘අපේකම’ හඳුන්වා දිය හැකිය. මේ පිළිබඳ ගැඹුරු විග්‍රහයක පසුකාලීනව යෙදුණේ අපි‍්‍රකානු නිර්මාණකරුවෙකු හා නිදහස් චින්තකයෙකු වූ චීනුවා අච්බේ විසිනි.
මේ අපේකම අපිට අපේ වූයේ කෙසේද?
අපිට අපේකම කියා දුන්නේ අපේ ආදිවාසීන් විසිනි. මේ පිළිබඳ චකිතයක් ඇති කරගත යුතු නොවන්නේ අපේකම අපේ යැයි සලකන මොහොතේ දී ය. එදා ආදි වාසි ජනී ජනයා හට නායකයකු ක්‍රමානුකූලව පහළ වන තාක් ඔවුහු රැහේ ශක්තිවන්තයනට කීකරු වූහහ. එසේ කීකරු වීමේ දී තමන්ගේ ආරක්ෂාව සිදු කරන්නේ රූස්ස වෘක්ෂයන්, සුවිසල් පර්වත හා ගල්, හිරු හා තාරකා ලෙස ඔවුහු සැලකූහ. එසේ සලකා එම අප්‍රාණික වස්තූන් මෙන්ම සිය මියගිය ශක්තිවන්තයින් ද නමස්කාර කළහ. ආදිවාසී ජනතාව එසේ කළේ ඇයි? තමන්ගේ ආරක්ෂාව ඔවුන්ගෙන් සැලසෙනු ඇතැයි යන දෘඩතර විශ්වාසයට යටත්වීමෙනි. එසේ ඔවුන්ට විශ්වාසයක් ඇති වූයේ කෙසේද? සුළු කොටසක් වූ ආදිවාසීහු එකට බැඳී සිටියහ. ඔවුන්ගේ සමාජ සංස්ථාව පුළුල් වී කෘෂිකර්මය සමඟ බද්ධ වී ලුණු කර්මාන්ත ආරම්භ කරන තෙක්ම ඔවුන්ගේ සමාජ සංස්ථාව සාතිශය පෞද්ගලික විය. මේ පෞද්ගලිකත්වය නිසා මතු වූයේ දැඩි ලෙස තහවුරු වූ පෞද්ගලික බැඳීමයි. මේ බැඳීම නම් වූ හුය විශ්වාසය හා අසරණකම මතින් බිහි විය. එම බිහිවීමේ දී ඔවුන්ට කරුණු කීපයකින් ආරක්ෂා වීමට සිදුවිය.
හදි, වින, අතුරු ආන්ත්‍රාවලින් ආරක්ෂාවීම.
එවැනි විනාශ තමන් කරා පැමිණීමට ඇති ඉඩකඩ අහුරා දීම.
යම් ලෙසකින් එසේ පැමිණි අනවින විපත්වලින් සිය වර්ගයා මුදවා ගැනීම.
මේ හැඟීමෙන් මඬනා ලද ඇවතුම් පැවතුම් ඔවුහු ඇති කර ගත්හ. එසේ ඇති කර ගැනීම නිසා ඉන් මතුව ආයේ ‘අපේකමයි’. අපේකමේ ආරම්භය ඒ අනුව ආදිවාසියා බිහිවීම හා ඔහුගේ ව්‍යාප්තයට පෙර ඇතිව තිබූ බව පෙනේ. ඒ ලෙසින්ම එසේ ඇති වූ මේ ‘අපේකම’ ඔවුන්ගේ ආරක්ෂක දැහැන මෙන්ම වැට බවට පත්විය. ඒ අසුරින් බිහි වූ ‘රැහ’ කණ්ඩායම හා කණ්ඩායම් හැඟීම බිහි කළේ ය. එම බිහි කිරීම මඟින් අපේකම රැක ගැනීමට ඔවුහු යම් යම් සම්මුතීන් රැසක් ඇති කර ගත්හ. ඒ අනුව රැහ පණ ගැන්වීම හා පවත්වාගෙන යාම කළහ. ඒ සියල්ල කළේ අපේකම ආරක්ෂා කර ගැනීමටය. පසුකාලීනව කෘෂිකාර්මික ජන සමාජයේ ‘වරිග සභාව‘ වූයේ මේ ‘අපේකම’ රැක ගැනීමට ගැමියා නිර්මාණය කරගත් සම්මුති සමූහයයි. මේ අනුව බලන විට සුළුතරයක් සිය පැවැත්ම රැක ගැනීමේ හා ව්‍යාප්තිය උදෙසා ඇති කරගත් අපේකම ශ්‍රී ලාංකේය ජන සමාජයේ ඇති වූ මූලික ‘අපේකමේ’ බිහිවීම ලෙස සැලකිය හැකිව ඇත.
අපේකම කියා කීම වර්තමානයේ දී ගෝත්‍රවාදී අදහසක් ලෙස අර්ථ ගැන්වීමට ඉදිරිපත් වන නූතනවාදීන් තැත්තේ නොවේ. අපේකම එදා ආදිවාසියා හා සාමාන්‍ය ජනතාව ඇති කරගත්තේ සිය සමාජයේ පැවැත්ම ආරක්ෂාව හා දියුණුව උදෙසාය. එය ගෝත්‍රයක් හෝ සුළු ජන කණ්ඩායමක් විය හැකිය. එහෙත් ඔවුන් එය පටු ගෝත්‍රවාදී හැඟුමකින් විෂයය සීමාව තීරණය කළේ නැත. ඒ අනුව අපේකම කිසියම් සමාජයක ස්ථාවරභාවය සහ සංවර්ධනය උදෙසා අවශ්‍ය මානසික භූගෝලීය හා ආරක්ෂාව ඇති කරවීමකි. ඒ අනුව එම ජන සමාජයට සිය ජන නිදහස සේම ආර්ථික හා ආධ්‍යාත්මික නිදහස යන සතරකාර නිදහස සමඟම ලබාගත හැකිවෙනු ඇත.
ඒ අනුව ‘අපේකම’ සොයා යාම හෝ එයින් බැඳී කටයුතු කිරීම කිසිදු විටක ගෝත්‍රික හැඟීමෙන් කරනු ලබන පටු ජාතිවාදී අදහසක් නොවේ. එහෙත් අපේකම යනු බොහෝ විට සුළු ජන කොටස් තුළ ඉතා ගැඹුරින් සේම ස්ථාවරව ඇති වන දෙයකි. ඒ අනුව සුළු ජාතීන් කියා හඳුන්වන සුළු ජන පිරිස්වල හෝ සුළු කණ්ඩායම්වල ආගම වෙන්නේ ‘අපේකමයි’ ආරම්භක සමාජයේ දී අපේකම බිහිවූයේ එම සමාජ පද්ධතියේ විකාශයට අනුකූලවය.
එය පිරමීඩයක මුල සිට අගට පෙරීයන ගැඹුරු ආරක්ෂක වැටක් සේ එකින් එක, එක් එක් අය අතර ඇති වූ බැඳීමක් බව පෙනේ. එදා ඔවුන් සිය අපේකම රැගෙන ගියේ හා ආරක්ෂා කළේ කිසියම් අනුපිළිවෙළක් යටතේ ය. එම අනුපිළිවෙල ඉපැරැණි සමාජක්‍රමය සමඟ භූතාපසරණ විෂයේ ප්‍රභාවය දක්වයි.
ගමක මූලිකයා ‘ගාමිණි’ වූ අතර ඔහු ගමේ නායකයාය. ගම් නායකයාට ඉහළින් පන්සල පිහිටා තිබුණේ ය. පන්සල ‘අපේකම’ පහන්ටැඹ වූ අතර එය සංකේතාත්මක පිහිටීමක් බව පුරාණ ගම විමසා බලද්දී පෙනේ.
ගම තිබුණේ තැනිතලා බිමක නම් එහි මුලින් පිහිටි උස් බිමේ ගමේ පන්සල ඇති කර තිබුණි. ඒ අනුව වැඳුම් පිදුම් ලැබූ අය සෑමවිටම ඉහළ තලයක සිට ඇත. එහෙත් යමෙකු එසේ සිටීම අනිකා පහත් කිරීමක් නොවුයේ ය. එහෙත් ඔහුට අර්ථයෙන් දහමින් හොඳ නරක කියවා දීමකි. එය බැඳීමක් වාගේ ඇති වූ ආරක්ෂක දැහැනක් විය. එම දැහැනේ බැල්ම ගමේ පන්සල වූ අතර එම දැහැනේ රැක්ම දේවාලය වූයේ ය. එහිදී ද අපි දකින්නේ කිසියම් අනුපිළිවෙළයි. අනුපිළිවෙළ පාලන ක්‍රමයට ඇති වූයේ මේ අපේකම ස්ථානගතවීමෙනි. මේ නිසා අදද එදා මෙන්ම සමාජයක පැවැත්ම හා දියුණුව උදෙසා අපේකම අත්‍යවශ්‍යය.