මේ යකා බැඳ දමනු

මාර්තු 22, 2024

“අර යකාට පිස්සුද?”

“ මේ පෑයිල්ලට යක්කුන්ටත්

පිස්සු හැදනෙවා ඇති”

“මෙයා නම් මනමාල යකෙක්

වගේ”

“යකාගේ වැඩක්නෙ මේක”

“මොන යකෙක්ද මංදා”

“යකාට ගියාවේ”

“මං නම් යකෙකුටවත් බය නෑ”

සමාජය පුරාම යක්කු. ඒත් මිනිස්සු බයත් යක්කුන්ට. යක්කු කියන්නේ බය වෙන්න ඕන ජාතියක්ද? මිනිසාගේ ජීවිතයට යක්කු මේ තරම් ළඟ ඇයි. හැබැයි ලංකාවේ ඉන්නේ යක්කුන්ට බය නැති නිසා සොහොන්වල ගෙවල් හදන්න පවා සිහින දකින මිනිස්සු. ඒත් හුඟාක් දෙනෙක් මොනව හරි අනතුරක්, තර්ජනයක් එනකොට තනි තනිවම බයේ දුවනවා. ඒනිසාම කොහේවත් ඉන්න මිනිස්සු යක්කු වෙලා වීරයෝ වෙනවා. ඉන් පස්සේ දුවලා ගිය මිනිස්සු අර තර්ජනය නම් වූ යකාට ටික ටික සමීප වෙනවා. ඒවාට පුරුදු වෙනවා. ඉන්පසු ඒ යක්කු සමඟ වාසය කරනවා. ඒ නිසාම අපේ ප්‍රස්ථා පිරුළක් හැදෙනවා. “පෙරළුණු පැත්ත හොඳයි” කියලා. බලාගෙන ගියාම අපි හැමදාම වාසය කරල තියෙන්නේ යක්කුත් එක්කමයි. ඒත් තවමත් මේ රටේ බහුතරයක් යක්කු වගේ නෑ වැඩ කරන්නේ. ඒ නිසා අපි තවමත් හැංගි හැංගී හරි යක්කුන් එළවන්න මාන බලනවා. ඒත් සමගිය නම් වූ යකැදුරන් නැති නිසා අද යක්කු බලවත් වෙලා එහෙම නැත්නම් යක්කු සමඟ වාසේ නිසා කොයිකාටත් යක්ෂ ගති පුරුදු වෙලා. බෝවෙලා.

හැබැයි යක්කු ඉන්නේ අපේ රටේ විතරක් නොවෙයි. දෙවියෝ පුදන්නේත් අපේ රටේ හරි ආසියාතිකයන් පමණක් නොවෙයි. දියුණුයි කියන රටවල් අපි වාගේ රටවල ඇදහිලි දිහා බලන්නේ හරි නොසැලකිල්ලෙන්. නොදියුණු මනසක් තියෙන නූගත් සමාජ සිරිත් විරිත්වල ඉන්නවා කියලා හිතාගෙන. හරියට විදේශ රටවල් අපේ විදේශ ගමන් බලපත්‍රයට සලකනවා වාගේ. ඒ වුණාට අපිට හිනාවෙන ඇතැම් බහුතරයක් ඉන්න රටවල්වල ජාතික හේතු පාඨවල තියෙන්නේත් එයාල දෙවියෝ නැත්නම් අද්භූතවාදය කොතරම් ගරු කරනවාද යන්නයි.

මහා බ්‍රිතාන්‍යයේ ජාතික හේතු පාඨය” දෙවියන් මාගේ අයිතිවාසිකමයි. (Dieu Et Mon Droit)  කියලයි. එතකොට ඇමෙරිකා එක්සත් ජනපදයේ, “දෙවියන් කෙරෙහි අපගේ විශ්වාසය” (In Good We Trust)එතැන දෙවියන් යනු ආගමද? නොපෙනෙන බලවේගද යන්න ගැටලුවක් කර නොගත යුත්තේ එම බලය ජීවමාන නොවන දෙයක් හෙයිනි.

ඉතා ගැඹුරින් නිරීක්ෂණය කරන්නෙකුට මෙහිදී පෙනී යන එක් සත්‍යයක් ඇත. මිනිසා පෙරදිග වුවද අපරදිග වුවද නොපෙනෙන බලවේග කෙරෙහි කිසියම් මනෝමූල නැඹුරුතාවක් ඇති බවයි. එය වේදිකාව අද්භූත බලවේග, දෙවියෝ හා යකුන් මෙන්ම විශ්වාස හා ඇදහිලි ගැන විවේචනාත්මකව අපහාසාත්මකව කතා කරන ඇතැම් වියතුන්, විප්ලවවාදීන්, නිදහස් මතධාරින් තමාගේ පවුලේ හෝ තමාට යමක් වූ විට ඒ සඳහා යාමට ඇති සෑම තැනක්ම වන්දනා කිරීමට හොඳයැයි කියන හැම බලියක්, තොවිලයක්ම, හූනියම් කැපීමක්ම කරනු ලබයි.

වර්තමානය වෙද්දී විද්‍යාත්මක මතවාද සුවිශාල අන්දමින් ජන ජීවිත අවශෝෂණය කොට ඇත. මිනිසාගේ බුද්ධි මණ්ඩලය අද ක්‍රියාත්මක වන්නේ සියුම් යන්ත්‍රයක ස්ටීම් පුවරුවක් මෙනි. ඒ නිසා මිනිසාගේ සිතුම් පැතුම් ඉක්මවා යන තරමට විද්‍යාත්මක සොයා ගැනීම් පුළුල් වෙමින් පවතී. එම ක්‍රියාවලි සමාජ විඥානය පුළුල් කරමින් තිබේ. එසේම වරෙක එය අතික්‍රමණය කරනු ලැබීමක්ද අසන්නට ලැබෙයි.

එයට ආසන්තම නිදසුන ‘බුද්ධි මිනිසාය’ (Artifical Inteligence) මෙහිදී වැදගත් සිදුවීම වෙන්නේ එවැනි නිර්මාණ කරන මිනිසාද 13 අංකය සේම සතියේ ඇතැම් දින නපුරු යැයි සිතීමත්, එම කටයුතු කිරීමේදී සුබ හෝරාව බැලීමත් ය. එයද වර්තමානයේ ඇති දියුණුම හා විශ්වාසවන්ත බව රකින ආයතනයකින් මිලදී ගන්නා නවතම වාහනය ඉදිරියේ දෙහි ගෙඩි සහ මිරිස් කරල් එල්ලන්නාක් මෙනි.

එහෙත් මේවාට අපට සිනාසිය හැකිද? මිනිසා මේ සියල්ල කරන්නේ ඇයි. සිත සනසා ගැනීමට සිතට බයක් ඇති නොවීමටය. ආරක්ෂාව මුල් කරගෙනය. එසේ නම් ආදිතම මානවයා ගස් ගල්වලට පුද පූජා තැබීම හෝ සිය දුක කීම හාස්‍යයට කරුණක් විය හැකිද? බුදුන් වහන්සේ දේශනා කළේ සියල්ල සිත ප්‍රධාන කොට ඇති බවයි. “මමෝ පුබ්බංගමා ධම්මා, මනොසෙට්ඨා මනොමයා” යනුවෙන් ධම්මපදය පළමු ගාථාව එය වන්නේ ඒ නිසයි. එසේනම් එදත් අදත් මිනිසා කුමන තරාතිරමක සිටියද උත්සාහ කරන්නේ සිත සනසා ගැනීමට ය. මෙහිදී ඇතැමෙකු එය ගැටලුවක් කරගන්නේ එම ප්‍රවේශය ලබා ගන්නා ආකාරය අනුවයි. ඒ කියන්නේ අපි කාගේ කාගේත් කිල්ලෝටවල හුණු තියෙනවා. එයින් සනාථ කරන්නේ තවමත් අපි සාමාන්‍ය මිනිසකු බවයි. එම මිනිසාට සිය ආදීතමයා නිර්දය ලෙස විවේචනය කිරීම යුක්ති යුක්ත නොවන බව ඔහු වටහාගත යුතු කාලය පැමිණ ඇති බව 2003 යුනෙස්කෝ ප්‍රඥප්තියේ දක්වන ‘අස්පර්ෂණීය සන්නිවේදනය” ජාතික උරුමයක් ලෙස පැවසීමෙන් සනාථ වෙයි.

බලි, තොවිල්, යාග හා කංකාරි ඇසුරෙන් නිර්මාණය වී ඇති බොහෝ නිර්මාණ කලා මිනිසාගේ මනසේ දියුණුව කියාපාන්නකි. බලි ඇදුරා බලියේදී කරනු ලබන ඇසීම් හා වෙනත් සැරසිලිවලදි ඔහු දක්වන්නේ කලා නෛසර්ගික භාවය පමණක් නොවේ. ඔහු සතු විද්‍යාත්මක අවබෝධයයි. වර්ණ සංකලනය හා ස්වාභාවික මුලාධාර මඟින් නිර්මාණය කරගන්නා වර්ණාවලිය ඉතාම ප්‍රභාත්මකය. එසේම ඔහු හා තොවිල් ඇඳුරා නිර්මාණය කරන යහන් පැළ හා කොටුව නිර්මාණ කලාවේ සියුම් බව කියාපාන්නේ එහි ඇති ශූක්ෂ්ම සංකීර්ණත්වය හා සියුම් නිර්මාණ කලාවයි. කෙහෙල් පිත්ත, අල කොළය, ගොක් කොළය ඇසුරේ ඔහු කරන නිර්මාණ කලාව අති සියුම්ය. එබැවින් එය සියුම් භාවනාවකි. එසේම කෙහෙල්පිති කපා කොටා ගැනීමෙන් එහි ඇති අභ්‍යන්තරික ජලාශි‍්‍රතයන් එම කාරියේදී දුම්මල හා පන්දම්වලින් නැඟෙන උණුසුම, දහනය සිසිල් කරයි. පසුකාලීනව මෝටර් රථ කාර්මීකරණයේදී ඇන්ජිමක රේඩියේටරයේ සැලැස්ම (ජධපඥ) එම කෙහෙල් පිත්තේ පිහිටීමයි. මේ අනුව යකා හා භූතයා සමඟ දෙවියා අතර සිටීම යහ කාර්යකි.

එබැවින් මානව සමාජයේ ඇවතුම් පැවතුම් යකාට එරෙහිවීමක් නොව කෙරෙන්නේ ඔවුන් සිහිපත් කරවීමකි. ඒ අනුව එදිනෙදා ජීවිතයේදී සාමාන්‍ය භාවිතයේදි පවා තවමත් “යකා” ජන ව්‍යාපාරයේ සාමාන්‍ය මිනිසා සමඟ ගනුදෙනු කරනු පෙනෙයි.

අපි අවබෝධ කරගත යුත්තේ පලවා හැරිය යුත්තේ යක්ෂයාද? යක්ෂයන් භූතයන් කරන මිහිපිට නූසලන අපත්‍ය ක්‍රියාවන්ද යන්නයි. ඒ නිසා අපි “යකා” කීවට බිය විය යුතු නොවේ. බුද්ධ භාෂිතයේද ‘මම යකෙක්මි’ සේම ශක්‍ර දෙවිඳු ද යකෙක් යැයි සඳහන් වෙයි.

අපි කාටත් යහපත සලසන කවුරුත් කිරීමට මැළිවෙන යහපත් යක්ෂ වැඩ කරමු. එවිට අපිට චෝර යක්ෂයන් එළවා දැමිය හැකිය.

 

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.