බුලත් කොළයෙන් කියන රහස්

ජනවාරි 26, 2024

බුලත්වල ගුණ පනස් දෙකක් යැයි ඖෂධ ශාස්ත්‍රීය ග්‍රන්ථවල අන්තර්ගත වී ඇත්තේය. වෛද්‍ය විද්‍යාත්මක කරුණු ගැන සලකා බලනවිටදී බුලත් ක්ෂාරීය ක්‍රමවේදය මත ආමාශයේ අම්ලපිත්ත අධිකවීම නිසා අන්තර් බිත්තිවලට සිදුවන හානිය බුලත් යුෂ මඟින් වළකා දමනු ඇත.

මංගල හා අවමඟුල් උත්සව අවස්ථාවන්හිදී ගනු ලබන ආහාරවලින් සෑදෙන ආම්ලිකතාව (ඒජඪඤ) අවම කරනු පිණිස පැරණි ගැමියෝ කෑමෙන් පසු බුලත් සැපීමට හුරු පුරුදු වී සිටියහ.

ශාන්තිකර්මයන්හි මූලිකව බුලත් මුල් තැනට ගැනේ. මඟුල් තුලාවලදී බුලත් හෙප්පුවේ උඩු අතටද අවමඟුලේදී යටි අතටද නවනු ඇත. නැකත් ඇදුරන් බුලත් කොළයේ නාරටි ගණන් කොට අනාවැකි පළ කිරීමේදී සමතුන්ය.

මඟුල් ගෙදරට සහභාගි වන නෑයින්ගේ සංඛ්‍යාවට සමානව බුලත් තට්ටුව රැගෙන එනු ඇත. මනාලියක් බැලීමට ගිය විට බුලත් හෙප්පුව දී ඈ මුලින්ම මනාලයාගේ වත දෙස දෙනුවන් යොමු කරන්නීය. බුලත් හෙප්පුව කොනකින් අල්ලාගෙන මනාලයාට දුන් විට එතරම් කැමැත්තක් නැති බවද දෙඅතින්ම හෙප්පුවේ බඳ අල්ලා දෙන්නේ නම් පූර්ණ කැමැත්තද පළවේ. තවද ණය ගැනීමට ගෙදරකට ගිය විට බුලත් හෙප්පුව දෙනු ඇත. සම්පූර්ණ බුලත් කොළයම කෑවොත් ණය මුදල් නොලැබේ. ඔහු නාස්තිකාරයෙකු බව පැහැදිලි වන්නේය. ඉතිරි කිරීමට අපහසු වැය වැඩි අයෙක් බව පෙනේ.

පැරණි ගැමියන්ට බුලත් ගැන මනා අවබෝධයක් තිබිණ. සමාජවිද්‍යාව පිළිබඳ මහාචාර්ය රැල්ප් පීරිස් සූරීන් රචිත “සිංහල සමාජ සංවිධානය” නමැති ග්‍රන්ථයේ සඳහන් අයුරින් අඳුර වැටුණ විට සොර සැමියා ගෙයින් පිටදී හමුවීම සඳහා බුලත් කොළයක් බිත්තියටත්, වහලයටත් අතරින් දැමීම නියම කරගත් පරිදි එතැනට එන බව පෙන්වන ලකුණකි.” තුන්වැනි සිල්පදය කඩන්නේද බුලත් කොළය හරහාය.” බුලත් කොළය දෙකට නමා ඒ මැදින් දෙහිකටුවක් අමුණා කුස්සියේ මිරිස්ගල උඩ තැබීමේ අදහස පවුලේ වැඩිමහල් දුව පෙම් සබඳතාවක් පවත්වාගෙන යන බවකි.

මවුපියන්ගේ කැමැත්ත දීමට රතුපාට මලක් (රත්මලක්) බුලත් කොළයේ මැදට තබා දෙහි කටුවකින් අමුණනු ඇති අතර, එයින් අදහස් ප්‍රකාශ වේ.

කොතරම් සංස්කෘතිකමය රටාවක්ද මේ ක්‍රියාව තූළ ගැබ් වී ඇත්තේ යැයි වරෙක සිතෙන විට දැනේ.

දේශීය ඖෂධ ශාකයක් ලෙස බුලත් සලකන අතර, බදුල්ල ගසේ කිරි ඇඟේ තැවරුණ විටදී කැසීම සහ ඇඟේ පලු ගැසීමට බුලත් දලුවක් නරමුත්‍රාවලින් කතා නොකර අඹරා ගෑමෙන් කැසීම සුව වේ.(කෙම් ක්‍රමයකි)

බලි ශාන්ති කර්මවලදී කෙසෙල් පතුරු මත දුම්මල තෙල් තවරා බුලත් කොළයක් කපන මල්කම් ලියකම් චිත්‍ර රටා අලවා ලස්සන කරගනු ලැබේ.

සඳේරුව ඇඳ තෙලිකූර (පින්සලය) පොළවට ශක්‍රයා දැමූ විට නාගලෝකයට ගිය පින්සල තෙලිකූර බුලත් කොළයේ හැඩය ඇති නිසා එහි දෙකෙළවර නයෙකුගේ මුවින් අල්ලා ගෙන මේ පොළව උඩට ආ බැව් නාගදේව පුරාණයේ සඳහන් ව තිබේ.

කුරුඳුපොතු, සුවඳකොට්ටං, නාමල්රේණු, නෙළුම්රේණු, සැවැන්දනා, විෂ්ණුක්‍රාන්ති, ලුණුවිල, ඉරිවේරිය, මූණමල්, මූණමල් කොල්ලන්කොළ, සතකුප්ප,ගුගුල් , සුදුහඳුන්, රත්හඳුන්, වෙනිවැල්,අමුකහ, ජටාමාංශ, කර්කටක ශිංගි, සපුමල්, ඊතණ, අගිල් ඖෂධ කකාරා එම ජලය ස්නානය කර සුඳුහඳුන් ඉසින ලද යහන මත නාගවල්ලී බුලත් කොළයක් දෙදෙනාම සපා රැය පහන්කිරීමෙන් පංච මහා සම්පත්තියම හිමි වාසනාවන්ත දරු කලලයක් පිහිටන බැව් බිසෝ කුමාරි සූත්‍රයේ සඳහන්ව තිබේ.

නැඟෙනහිර දිසාවේ බුලත් කොළයක් (දලුවක්) සපා අලුයම සූර්ය වන්දනාව කිරීමෙන් විශ්ව ශක්තිය මුළු සිරුර පුරාම දිවේ. කන්ද උඩරට ප්‍රදේශයේ මල්වර වූ දියණියගේ චාරිත්‍ර විධි පැවැත්වීමට ප්‍රථම නෑ බුලත නමින් දක්වන කපුරු සුවඳ වහනය වන බුලත් හෙප්පුවක් නෑයින්ට පිළිගන්වනු ලැබේ. (පඬුරු අතුරා) මල්වර වූ විට නැකත් ඇදුරාට බුලත් අතක් පිරිනමා නැකත් විමසනු ඇත. නිමිති කරගෙන පලාපල කියනු ලැබේ. බුලත් ගණන් කර තත්කාලය සාදා ගනු ඇත. බුලත් කොළය මේ මුළු විශ්වයම දිනූ ශාක පත්‍රයක් බව පැහැදිලි වේ.

පුවසල, පුවපල්, පුවපුටුප නැකත්වලින් මල්වර වී නම් එදින සිට දරුවා නහවන තෙක්ම බුලත් සපා කෙළ ගැසීම් කරනු ලැබේ. දත් කැක්කුම සෑදුණ විටදී ලෑල්ලේ පස්මුළුල්ල ඇඳ යකඩ ඇණ ගසයි. 108 වර ජපකර බුලත් කොළය කන්ට දෙනු ඇත. දත් කැක්කුම නැතිවේවි. තවද බුලත් දඬු සිටුවීම සුබ නැකතට කරති. පොල්තෙල් හිස ගාගෙන බුලත් කොටුවට ඇතුළුවීම තහනම්ය. රෝග සෑදෙන නිසා බුලත් කොළයේ පීනොල් රසායනික සතු සිරුරට අහිතකර ඛනිජ ලවණද බුලත් කොළයේ අග කොටසේ අන්තර්ගත වී තිබේ. කූඹිත්තෝ (ප්ලෝයම්) සාරයද උරන්නේ එම කොටසේය. පැරණි අය පිරිමි දරුවන් ලබනු අටියෙන් බුලත් කොළය රහස්‍ය කෙම් ක්‍රමයට වලඳන ලදි. (එය පිරිමි බුලත් කොළයයි)

“බුදුන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයම වෙනුවෙන් පුදන එකම පත්‍රය බුලත් කොළයයි. හෙළයේ ඉන්ද්‍රඛීලයක්සේ නොසැලී තුන්කල්හිම වැජඹෙනු ඇත”

බුලත් කොළ සාරය විවිධ වර්ණපදාස සාදයි. අපනයන කරන බුලත් වැඩි හරියක්ම ඇත්තේ ගම්පහ ප්‍රදේශයේය. අප එදිනෙදාට ප්‍රයෝජනයට ගන්නා බුලත් ලඝුකොට නොසැලකිය යුතු ශ්‍රේෂ්ඨතම ශාක පත්‍රයක් බැව් වඩාත් මෙයින් පැහැදිලිය.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.