මන්තර බලයෙන් දුම්රිය නතර කළ කොණ්ඩදෙණියේ හාමුදුරුවෝ

ජනවාරි 19, 2024

ඡ්‍යොතිෂයේ ගුප්ත ශාස්ත්‍රයෙහි අග්‍රගණ්‍ය යතිවර චරිතයකට හිමිකම් පෑ කොණ්ඩදෙණිය හාමුදුරුවන්ගේ යන්ත්‍ර, මන්ත්‍ර ගුරුකම්වල හාස්කම් පිළිබඳව දිග හැරුමක සමාරම්භයයි මේ. මම දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්) ලෙස රාජකාරියෙන් ඉසඹුලත් බැවින් දුම්රිය හා සබැඳුණු රසවත් හාස්කම් ඇසුරින් ලිපි පෙළ ඇරඹීම වඩාත් උචිත යයි සිතමි.

මේ හාස්කම් පිළිබඳ කතාන්දර 1960 - 70 දශකය තුළදී සිදුවූ සත්‍ය කතා ය.

මේ සිදුවීම වූ දා ප්‍රධාන දුම්රිය ස්ථානාධිපතිවරයා නිවාඩු ගෙන තිබීම නිසා එදින ඒ වෙනුවට රාජකාරි කළේ සහය දුම්රිය ස්ථානාධිපතිවරයෙකි. ඔහු මේ මහව පළාතට ආගන්තුකයකුද විය.

කොණ්ඩදෙණිය හාමුදුරුවන්ද පුරා රැයක් තිස්සේ අසල්වැසි ගමක සෙත් ශාන්තිකර්මයක් සිදුකොට පෙරළා මහව දුම්රිය ස්ථානයට පැමිණියේ ඉක්මනින් යාපහුව දුම්රිය ස්ථානයට ගොස් එහි සිට කෙටි පාරවලින් කොණ්ඩදෙණිය පාසලට යා හැකි බැවිනි. තවද එදින සැන්දෑ භාගයේදී කඩම්බාවේදී තවත් ශාන්තිකර්මයක් කිරීමට සූදානම්ව තිබුණි.

කඩිනමින් යාපහුවට යාමේ අපේක්ෂාවෙන් මහව දුම්රිය ස්ථානයට වැඩම කළ හිමියන්...

‘මහත්තයා කීයටද කෝච්චිය එන්නේ? මට යාපහුවට යන්න ඕන.”

‘හාමුදුරුවනේ ඊළඟ කෝච්චිය එන්න ඉතා ළඟයි. ඒත් ඒකනම් යාපහුවේ නවත්වන්නේ නැතැ’ යනුවෙන් කීවේය.

‘ඉතින් මම කොහොමද පන්සලට වඩින්නේ?

‘මට හුඟක් රාජකාරි මෙතන පැවරී තියෙනව‘

හාමුදුරුවනේ, ඔය හැතැප්ම 5 පයින්ම ගියා නම් හොඳ නැද්ද යැයි සාමාන්‍යාධිකාරී කීය.

“ආ.......ඒකත් එහෙනම් එහෙමද? මම ඒක බලාගන්නම්කෝ” යයි පැවසූ උන්වහන්සේ ඒ සමඟම සැපැමිණි ගල් අඟුරු ශීඝ්‍රගාමී දුම්රියට ගොඩ විය. ඉඳින් රිය සහායකගේ අදින රැහැන් පටත් සමඟ මහ හඬින් හූ හඬ පැතිර කෝච්චිය පණ ගැන්වී යන්නට පටන් ගත්තේය.

එහෙත් යාපහුව දුම්රිය ස්ථානය ළඟාවත්ම මෙම දුම් කෝච්චිය තොටිල්ලක් මෙන් පැද්දී එකවර එන්ජිම නතර විය. කොන්ඩදෙණිය හාමුදුරුවන් කෝච්චියෙන් බැස කෝච්චි එන්ජිම දකුණු අතින් ස්පර්ශ කොට තමන් වහන්සේගේ පන්සලට පා ගමනින්ම වැඩම කළහ.

දුම්රිය මගීහු කලබල වන්නට විය. දුම්රිය රියැදුරුද සහායකවරයාද, එම දුම්රියේම ගමන් කළ ධාවන බල ඉංජිනේරු මහතකුද කෝච්චි එන්ජිම පණ ගැන්වීමට සෑහෙන උත්සාහයක් ගත් නමුදු එය අසාර්ථක විය.

කෝච්චිය නතරව තිබූ යාපහුව දුම්රිය ස්ථානය අසල ගම්වැසියකු කිව්වේ ‘මා දැක්කා කොන්ඩදෙණිය හාමුදුරුවෝ තරහෙන් වගේ පුපුරු ගසමින් කෝච්චියෙන් බැහැල වඩින හැටි’

එවිට කෝච්චියේ රියදුරු කිව්වේ ‘මං දන්න කොණ්ඩදෙණිය හාමුදුරු කෙනෙක් නෑ’ මේක එන්ජින් දෝෂයක් කියාය”

“එහෙනම් ඉතින් හෙට එළිවෙනකම් ඔහෙලට ඉන්න වේවි, ගිහිල්ලා හාමුදුරුවෝ එක්ක කතා බස්කොට ගොඩින් මේක බේරගන්නවා.

‘මං මේක කිව්වේ තමුන්නැහැල මඟ රස්තියාදු වෙන එක නවත්ත ගන්නයි.’

සෑහෙන වේලාවක් කෝච්චි එන්ජිම යළි පණ ගැන්වීමට උත්සාහ කළ නමුදු එය කළ නොහැක්කක් වූයෙන් අවසානයේ කොණ්ඩදෙණිය හාමුදුරුවන් මුණ ගැසීමට ඔවුන් එකඟ විය.

පන්සලේ ගේට්ටුව අබියසව කෝච්චි එන්ජිමේ රියදුරු සහ කාර්ය මණ්ඩලයද මගීන් රැසක්ද ගොස් තිබිණි. අතවැසියකු විසින් මෙපුවත් හාමුදුරුවන්ට සැලකරන ලදි.

‘අහිංසක මිනිස්සු රේල්පාරේ’ එන්ට කියාපන් උන්ට’ ඒ සමඟම ලද අවසරෙන් පිරිස කඩිමුඩියේම පන්සලට පැමිණියහ. “මම මේ කෝච්චියේ එන්ජින් ඩ්‍රැයිවර්ට අපේ කෝච්චිය හිටි හැටියේම යාපහුවේදී නතරවුණා හාමුදුරුවනේ.”

‘කෝච්චියට නඟින කොටම මම ඇහුවා යාපහුවෙන් බහින්න පුළුවන්ද?” කියලා. ‘මම හැමදාම යාපහුවෙන් බහින බව කවුරුත් දන්නව නොවැ. ඒත් අද හිටිය අලුත් ස්ටේෂන් මාස්ටර්කාරය මට පල් පාට් එකක් දැම්මා’ ‘ඉතින් ඔන්න මම මගේ හපන්කම පෙන්නුවා. දැන් ඉතින් ඔය සියලු දෙනා දේව මන්දිරයට ගිහින් කාලිමෑණියන් වැඳ සමාව ඉල්ලලා එනවා’ යයි කීහ. පිරිසද ඊට අවනත විය.

පන්සලේ පසෙක වූ කුඩා කළුගල් අහුරක් අතට ගත් කොණ්ඩදෙණිය හාමුදුරුවන් එයට මතුරා එම ගල් එන්ජින් රියදුරුට භාර දෙන්නට විය.

‘මේ ටික අරගෙන ගිහින්, එන්ජිම ඉදිරියේ රේලි පීලි අතරට දාන්න. වැඩේ හරි යාවි’

හිමියන්ට නමස්කාර කළ පිරිස පන්සලෙන් පිටත් විය. මේවන තෙක්ම නොසෙල් වී සිටි කෝච්චිය මොහොතින් පණ ගැන්විණි. මගීන් සහ කාර්ය මණ්ඩලය පී‍්‍රති ප්‍රමෝදයට පත් විය.

මෙය 1970 මුල් දසකය තුළ සිදුවූ තවත් සත්‍ය හාස්කම් ප්‍රවෘත්තියකි.

මේ සිද්ධිය වූ දින කොණ්ඩදෙණිය හාමුදුරුවන් මහව දුම්රිය ස්ථානයට සුපුරුදු පරිදි වැඩම කළේ මහව සිට කුරුණෑගල යාමේ අපේක්ෂාවෙනි. එදින දඬුවම් ස්ථාන මාරුවීමක් ලැබ කිලිනොච්චියේ සිට මහව දුම්රිය ස්ථානයට පැමිණියේ දේහධාරි කාලවර්ණයෙන් යුතු රෞද්‍ර පෙනුමක් ඇති ස්ථානාධිපතිවරයෙකි. ඔහු වැඩබලන ප්‍රධාන දුම්රිය ස්ථානාධිපති වශයෙන් වැඩ භාර ගත්තේද එදාමය.

නව දුම්රිය ස්ථානාධිපතිවරයා කොණ්ඩදෙණිය හාමුදුරුවන් පිළිබඳ දැන සිටියේද නැත. හාමුදුරුවන් වහන්සේ වෙනදා පුුරුද්දට කෝච්චිය එනතුරු ප්‍රධාන දුම්රිය ස්ථානාධිපති කාර්යාලයට කලින්ම ගොස් එහි ප්‍රධාන අසුනේ වාඩි විය.

ඒ සමඟ ‘මොකද මෙතන කරන්නේ’

‘කුරුණෑගලට යන්න කියල ආවේ’

ආ........කෝච්චියට තව විනාඩි 30 පමණ තියෙනවා. අර ඉස්සරහ වේදිකාවේ බංකුවකට ගිහින් ඉඳගන්න’ යයි කිසිදු ගරුසරුවක් නැතිව කීවේය. ‘මට මෙතන රාජකාරි දහසක් වැඩ තියෙනවා’ යයිද පැවසීහ.

කොණ්ඩදෙණිය හාමුදුරුවන්ට ඇඟපත රත් විය. තමන් වහන්සේ රැගෙන ආ දිගු කුඩය තුන්වරක් බිමට තට්ටු කර එතනින් යන්නට විය. ඒ හිමියන්ද කුරුණෑගලට යන දුම්රිය පැමිණෙන තුරු බලා සිට එම දුම්රියට ගොඩවී පිටත් විය. ඉන්පසුව දක්නට ලැබුණේ අපූරු දසුනකි. දුම්රිය ස්ථානයට ප්‍රවේශ වන දුම්රිය කිහිපයක් පැමිණ පිටත්වුවද වැඩබලන නව ප්‍රධාන දුම්රිය ස්ථානාධිපතිවරයාට ඒ ගැන කිසිදු නිච්චියක් නොමැත. තම කාමර මේසයේ පරණ ලියුම් කඩදාසි එහාට මෙහාට කරමින් ඒවායේ කුරුටුගාමින් කිසිදු කතා බහකින් තොරව සිටියි. මුළු ගතම දහඩියෙන් නෑ වී තිබුණි. එකම කාර්ය නැවත නැවත අසිහියෙන් මෙන් කරයි.

සිදුවී ඇති දෙය දුම්රිය කාර්ය මණ්ඩලය දැන සිටියහ. හිමියන් මහව සිට කුරුණෑගලට වැඩම කළ බවත් අද සවස කෝච්චියෙන් නැවත කුරුණෑගල සිට මහවට සැපැමිණෙන බව හාමුදුරුවන් ගේ ජීප් රථයේ රියදුරුගෙන් දැනගන්නට ලැබුණි.

එසේම සවස කුරුණෑගලින් මහවට එන දුම්රියේ පැමිණි කෙණ්ඩදෙණිය හාමුදුරුවන් බැස වැඩම කළ අතර, දුම්රිය ස්ථාන කාර්ය මණ්ඩලය වහාම හාමුදුරුවන් වට කර ගත්හ.

‘ලොකු මහත්තයා මෙහාට අද ආපු අලුත් කෙනෙක් ඔබ වහන්සේට මොනව හරි වැරැද්දක් වෙලා ඇති. අනේ එතුමාට සමාව ලබා දෙන්න.”

වෙනද මම මෙහාට ආවම ඔය බංකු පේළිවල ඉඳගත්තේ නැහැනේ. කලින් හිටපු ලොකු මහත්තයා මට පුටුවක් දෙනවා ගරුසරු ඇතිව. ඒකට අර අද ඉන්න මිනිහා මාව පන්න ගන්නයි බැලුවේ”.

‘සමාවෙන්න හාමුදුරුවනේ ඒ මනුස්සයා ඔබ වහන්සේව හඳුනන්නේ නැහැ නොවැ’ ‘අනුකම්පා කොට සමාව දෙන්න’

හොඳයි යමුකො බලන්න. හිමියන් තම දිගු කුඩයේ අග රැඳුණු පිත්තල විල්ලෙන් තෙවිටක්ම බිමට තට්ටු කොට දුම්රිය ස්ථානාධිපතිවරයාගේ හිස පිරිමැදීය. ඩාදිය දමමින් පැය ගණනක් තිස්සේ ඔහු කළ විකාර වැඩ නිම විය. ඔහු දෙපා නැමැද හිමිගෙන් සමාව ඉල්ලුවේය. පසුව පෙර පරිදිම සුපුරුදු රාජකාරින්වල නියුක්තව කටයුතු කළේය.

 

හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්)

ඡ්‍යොතිෂ අවිශ්කාර් / ඡ්‍යොතිෂ ශිරෝමණී

ආචාර්ය විජය සමරසිංහ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.