රහස් පරීක්ෂකයා හෙළි කරගත් ඔහුගේම රහස

ජනවාරි 19, 2024

මේ 1888 වසරයි. තරුණ රහස් පරීක්ෂකවරයෙකු වූ රොබට් ලෙඩ්රු මර හඬ නගමින් අවදි වූයේ භයානක සිහිනයක් දැකීමෙනි. ඔහු දුටුවේ එම රාත්‍රි භාගයේ තමා විසින් මිනිසෙකු මරා දමන අයුරුය. දිගින් දිගටම මේ ආකාරයේ මනුෂ්‍ය ඝාතන තමා අතින් සිදුවන බව පෙනෙන්නට වීම නිසා ඔහු මනෝ වෛද්‍යවරයෙකු හමුවීමට ගියේය.

ඔහුගේ උපදේශය වූයේ රහස් පරීක්ෂක රොබට් ලෙඩ්රු අධික ලෙස වෙහෙසීම හේතු කොටගෙන, දැඩි මානසික පීඩනයකට ලක් වී ඇති බවය. එබැවින් අවම වශයෙන් සති දෙක තුනක් හෝ එක දිගට විවේක ගන්නා ලෙස ඔහු නිර්දේශ කළේය. නමුත් දොස්තර වොට්සන්ගේ මෙවැනි අවවාද පිළි නොගන්නා ෂර්ලොක් හෝම්ස් මෙන් ඔහු ද ඒ අවවාද නොතකා හැරියේය.

1884 වන විට ප්‍රංශ රහස් පොලීසියේ සුප්‍රකටම චරිතය බවට පත්ව සිටියේ මේ කියන රොබට් ලෙඩ්රුය. ඔහු තම ඒකකයේ සිටි ළාබාලම රහස් පරීක්ෂකවරයා වුවද, දක්ෂතා පෙන්වීම අතින් ඉහළම සම්මාන රැසක් හිමිකර ගෙන සිටියේය. එයට ප්‍රධාන හේතුව වූයේ විස්මය ජනක ආකාරයෙන් අපරාධ පිළිබඳ ගැටලු විසඳීමෙන් ඔහු විසින් අනෙකුන් විස්මයට පත් කළ හෙයිනි. විශේෂයෙන්ම පා සලකුණු ආශ්‍රයෙන් පුද්ගලයෙකුගේ ස්වරූපය කෙසේදැයි පැවසීමට මෙන්ම, දුම් වැටියකින් නැඟෙන ගඳ සුවඳීන් එය කිනම් වර්ගයක දැයි කීමටද ඔහුට හැකියාවක් තිබූ බව ප්‍රසිද්ධියට පත්ව තිබිණි.

ඇත්තෙන්ම ඔහු අපරාධ පරීක්ෂණයක් සඳහා විශාල කාලයක් ගත් අතර, විශාල කැපවීමක්ද කළ බව සත්‍යයකි. නමුත් තමන් ඒ සඳහා මෙතරම් මහන්සියක් ගත්බව සිය උසස් නිලධාරීන්ගෙන් වසන් කළ බවත් ඔහුට අවශ්‍යව තිබුණේ තමන්ගේ සුවිශේෂී ඥානය හේතු කොට ගෙන, ලබාගත් ඉතා සුළු හෝඩුවාවකින් මේ අපරාධ හෙළිකර ගත් බව තම ප්‍රධානින්ටත් මාධ්‍යකරුවන්ටත් පෙන්වා දීම බවත් යයි සමහරු කීහ. කෙසේ වුවද පෙර කී පරිදි අධික ලෙස වෙහෙසීම නිසා ඔහු විශාල පීඩනයකට ලක්ව සිටියේය.

මේ අතර ප්‍රංශයේ එක්තරා වෙරළාසන්න නගරයක සිදු වූ මිනීමැරුමක් ගැන පරීක්ෂණ කටයුතු ඔහුට බාර වූයේය. මරණයට පත්ව සිටියේ ආන්දො මෝනේ නැමැති වෙලඳ ව්‍යාපාරිකයෙකි. සතියක නිවාඩුවක් පිණිස සිය බිරිඳ ද සමඟ මේ වෙරළාසන්න හෝටලයකට පැමිණි ඔහු මුහුද වෙත ගොස් තිබුණේ රාත්‍රී නින්දට පෙර ස්නානය කර ගැනීම පිණිසය. තමාගේ ඇඳුම් කැඩුම් පිළිවෙලකට නවා තබා මුහුදට බට ඔහුව, පසු දා පාන්දර දැක ගන්නට ලැබුණේ වෙරළ මත වැටී තිබූ නිරුවත් මළ සිරුරක් වශයෙනි. ඔහුව මුලින්ම දැක ඇත්තේ පාන්දර තුනට පමණ හෝටලය වෙත පාන් රැගෙන ආ තැනැත්තෙකු විසිනි. ඔහු මිය ගොස් තිබුණේ හිසට වැදුණු වෙඩි උණ්ඩයකිනි. මියගිය තැනැත්තාගේ බිරිඳ හෝටල් ආලින්දයට වී ඔහු එනතුරු පාන්දර දෙක හමාර වනතුරු අවදිව සිට ඇත. ඔවුනට දරුවන් හෝ වෙනත් උරුමක්කාරයන් නොසිටි අතර, මෙකී ඝාතනය පිළිබඳව ඔහුගේ බිරිඳ ගැන සැක කළ හැකි කරුණක් ද නොවීය. පශ්චාත් මරණ පරීක්ෂණයේ දී හෙළි වී තිබුණේ මෙකී ඝාතනය පාන්දර දෙකට පමණ සිදු වී ඇති බවය. එතැනට පැමිණි රහස් පරීක්ෂක ලෙඩ්රුට දක්නට ලැබුණේ ඔහුගේ ඇඳුම් කැඩුම් අතර මුදල් පසුම්බිය තවමත් සුරක්ෂිතව ඇති අයුරුය. ඒ තුළ ප්‍රෑන්ක් සිය ගණනක මුදලක් ද සුරැකිව තිබුණි.

රහස් පරීක්ෂකවරයා සුපුරුදු ලෙස සිය රාජකාරිය ආරම්භ කරනු ලැබුවේ මළ සිරුර වැටී තිබූ ස්ථානයේ සිට යාර කීපයක් දුරින් වට රවුමක් සලකුණු කර ගනිමිනි. විටක දණහිසින් ඇවිදමින් ද, විටක බිම දිගා වෙමින්ද, එකම අරමුණක් ඔස්සේ පරික්ෂණ කටයුතුවල යෙදුණු ඔහු හිරු බැසගිය පසුද සිය කාර්යය නතර කළේ නැත. බලගතු විදුලි පන්දමක් යොදා ගනිමින් සිය කටයුත්තේ යෙදුණු ඔහු පසුදා අලුයම වෙද්දී තමාට අත්‍යවශ්‍යව තිබූ හෝඩුවාව සොයා ගත්තේය.

එය පාවහන් නොපැලදි පුද්ගලයෙකුගේ වම් කුකුලේ පා සළකුණකි. එහි එක්තරා විශේෂත්වයක්ද වූයේය. එනම් එම පයෙහි මහපටඟිල්ලේ පළමුවෙනි පුරුක අහිමිව තිබීමය. පසුදා උදැසනින්ම ඔහු තම කාර්යාලයට ගොඩවැදුණේ එම සලකුණෙහි ඉටියෙන් තැනූ පිටපතක් ද සහිතවය. ඉන්පසු තම ප්‍රධානියා ඇමතු ඔහු පැවසූවේ තමා මේ මිනීමැරුම සම්බන්ධ පරීක්ෂණය නිමකළ බවය.

“ඒ විතරක් නොව මා මිනීමරුවාත් සොයාගෙන අවසානයි” තම උසස් නිලධාරීන් විමතියෙන් බලා සිටියදී ඔහු පැවසීය. “මේ ඉටි සලකුණ දෙස බලන්න. ඒ තමයි මිනීමරුවාගේ පා සලකුණ.ු ඔහු පාවහන් පැලඳ නැති නමුත් කකුල්වලට මේස් දමාගෙන හිඳ තිබෙනවා. මෙහි ඇති විශේෂත්වය තමයි මේ වම්පයේ සලකුණේ මාපටඇඟිල්ලේ පළමුවෙනි පුරුක දක්නට නොලැබීම. ඒ අනුව මිනීමරුවාගේ වම් පාදයේ මාපටඇඟිල්ලේ කොටසක් අඩුවී තිබිය යුතුයි. එසේ අඩුවී තිබෙන ආකාරය මා දැන් ඔබට පෙන්වන්නම්” මෙසේ පැවසූ ලෙඩ්රු තමන්ගේ වම් පාදයේ පාවහන් ඉවත් කොට ඉදිරිපත් කළේ සිය ඉහළ නිලධාරීන් විමතියෙන් මුසපත් කරවමිනි.

“ඉතින් දැන් මිනීමරුවා ඔබ ඉදිරියේ සිටිනවා. මම තමයි නින්දෙන් ඇවිද ගොස් ඒ ව්‍යාපාරිකයා මරා දමන ලද ඝාතකයා” ඔහු පැවසුවේ මේ චෝදනාව වෙනුවෙන් තමාව අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලීමක් ද කරමිනි. ව්‍යාපාරික අන්ද්‍රෝ මෝනේ ඝාතනය සම්බන්ධයෙන් තමන්ගේ දක්ෂතම සගයාවන රොබට් ලෙඩ්රු අත්අඩංගුවට ගැනීම හැර වෙනත් විකල්පයක් සෙසු නිලධාරීන්ට නොවීය.

නඩු විභාගයේ දී මනෝ වෛද්‍යවරුන් පෙන්වා දුන් පරිදි මෙය බරපතළ මානසික රෝගී තත්ත්වයක් යැයි අධිකරණය විසින් පිළිගනු ලැබූවද රාත්‍රි කාලයේදී ඔහු අතින් තවදුරටත් මිනිස් ඝාතනය සිදුවිය හැකි බැවින් ඔහුට සමාව දිය හැකි තත්ත්වයක් තිබුණේ නැත.

එහෙත් ඔහුගේ දක්ෂතා සහ අවදියෙන් සිටින විට දක්නට ලැබෙන අහිංසක මිනිස් ගතිගුණ ගැන සලකා බලා ජීවිතාන්තය තෙක් රාත්‍රී කාලයට පමණක් සිරගතව සිටීමේ දඬුවමක් නියම කරන ලදී. එතැන් සිටි ජීවිතාන්තය තෙක් රාත්‍රි කාලයේ සිර මැදිරියක ගෙවා දැමූ වසර 51 කට පසු ඔහු 1939 එක්තරා රාත්‍රි භාගයකදී තම සිර කුටිය තුළම අවසන් සුසුම් හෙළීය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.