හිරු දෙවියන්ගෙන් සරුපල ඉල්ලන තෛපොංගල්

ජනවාරි 12, 2024

හින්දු භක්තිකයන්ගේ වැදගත් ආගමික උත්සවවලින් එකක් වන තෛපොංගල්් උත්සවය මෙවර යෙදී ඇත්තේ ජනවාරි මස පහළොස්වැනිදාටය. එදිනට යෙදී ඇති එම උත්සවය හින්දු බැතිමතුන් සලකනු ලබන්නේ සූර්ය සංක්‍රමණය ලෙසටයි. සූර්ය දිව්‍ය රාජයා ධනු රාශියේ සිට මකර රාශියට සංක්‍රමණය වීමෙන් ඇතිවන උත්තරායනම් නැකැත් කාලයේ දී පවත්වනු ලබන තෛපොංගල් උත්සවය හිරු දෙවියන්ට කෘතගුණ සැලකීම ප්‍රධානකොට පවත්වනු ලබන උත්සවයකි. හින්දු භක්තිකයින්ගේ පිළිගැනීමට අනුව සූර්ය වංශය ආරම්භ වන්නේත් තෛයි හෙවත් ජනවාරි මාසයේ පහළොස්වැනිදා ය.

හිරු දෙවියන් සියලු වස්තූන් අතරින් උත්තම වස්තුව ලෙස සලකනු ලබන අතර හිරු වර්ෂය ආරම්භවන මුල්ම දවසේ තම තමන්ගේ කෙත්වතු සරුසාර කර ගැනීමට හිරු දෙවියන් වන්දනාමාන කිරීමෙන් ලැබෙන බවයි. එම කාලය ඉන්දියාවේ අස්වනු නෙළා පිරී ඉතිරීයන කාලය බැවින් එය සූර්ය පොංගල් යනුවෙන්ද කියති. මිනිස් වර්ගයාගේ උතුම් ගුණාංගයක්වන කළගුණ සැලකීම මූලික කරගෙන සොබාදහමට තුති පිදීමේ මෙම උත්සවය ඉතුරුවීම, බුබුළු දැමීම, සහ බතයන අරුත දෙන පොංගල් යන දෙමළ වචනයෙන් එසේ යෙදී ඇත.

සතුට, සම්පත, සෞභාග්‍යය වෙනුවෙන් තෛපොංගල් උත්සවයදා හිරුදෙවියන්ට පුද සත්කාර කොට සතුටු කිරීම හා පිහිට පැතීම සිදුකෙරේ. තෛපොංගල් උත්සවය හා උදාවත් සමඟ ජීවිතය ද අලුත් වී සතුට සම්පත සෞභාග්‍ය ලැබෙන බවටද තරයේ විශ්වාස කරති. සතුන්ට හා වෘක්ෂලතා සඳහා හිරුගේ බලපෑමක් පවතින බැවින් අලුත් වී අස්වැන්නක් ලබාගත් විගස සහල්වලින් කිරිබත් සාදා තම දියුණුවට මඟ පෑදූ හිරු දෙවියන්ට පූජා පැවැත්වීමටද සැම හින්දු භක්තිකයකු විසින්ම කරනු ලබන මහඟු සත්කාරයකි. තෛපොංගල් උත්සවය ආරම්භවීමට සති කීපයකට පෙර සිටම හින්දු කාන්තාවෝ තම නිවෙස් අවට හා අවට ප්‍රදේශයන් පිරිසුදු කිරීමට පටන් ගනී. ගොම මැටි මිශ්‍ර කර ගොම පිරිමැද ගේ තුළ ගෑමෙන් පසු කහ දියර ඉස ගෙබිම් අලංකාර කරති. මෙසේ අලංකාර කිරීමට වර්ණ සහ සහල් සහ ධාන්‍ය ඇටවර්ග සහ ගල්කුඩු දෑ ප්‍රයෝජනයට ගනිති.

ස්නානය කිරීම

තෛපොංගල් දිනයේ දී සකස් කරනු ලබන කිරිබතට ලැබෙන්නේ විශේෂ ස්ථානයකි. එම කිරිබත සඳහා ගනු ලබන්නේ අස්වැන්නෙන් ලබාගත් හොඳම කොටසයි. නිවසේ ගෙවත්තේ හොඳින් හිරුඑළිය වැටෙන ස්ථානයක් තෝරා පිරිසුදු කිරීම සිරිතකි. කිරි ඉතිරවීමට සූදානම් කෙරෙන එම ස්ථානය තෛපොංගල් දිනයේ සූර්යය දිව්‍යරාජයා උදාවීමට පැය පහකට ප්‍රථම හින්දු බැතිමතුන් අවධි වී ස්නානය කොට පිරිසුදු වී ගෙමිදුලේ ගොම පිරිමැද පිරිසුදුකර ඇති ස්ථානයට ගොස් වර්ණ ගැන් වූ සුදු රතු පාඩ පිටිගෙන එහි අලංකාර මල් රටාවන් ඇද ගණදෙවියන්ගේ ඡායාරූපයක් හෝ ගණදෙවි පිළිමයක් හෝ තබා පිරිසුදු තෙල් දදැමූ පහනක් දල්වයි. හාල් හෝ අස්වැන්නෙන් ගන්නා ලද වී හෝ අතුරා පොල් ගෙඩියක් කෙසෙල් ඇවරියක්, බුලත්, පුවක් ද තබා පුල්ලෙයාර් දෙවියන්ට පුද පූජා තබා වන්දනාමාන කොට අනෙක් දෙවියන්ට ද පුද පූජා තබති.

 

කිරි ඉතිරවීම

ඉන් අනතුරුව සිදු කරනු ලබන්නේ හිරු එළිය වැටෙන ස්ථානයේ සකස් කර ඇති ස්ථානයේ කිරි ඉතිරවීමයි. (හිරුඑළිය පතිතවන) කිරි ඉතිරවීමට ගන්නා නැවුම් මැටි මුට්ටියකට කට වටේම කහකොළ, ඉඟුරුකොළ, අඹ කොළ තබා බැඳ පිරිසුදු ජලය දමා මුට්ටිය පිටපැත්තේ තිරනූර් තවරා ත්‍රිශූලයක් මෙන් තුන් පැත්තට ඇද කට්ටකුමජ්ජල් තවරා පොට්ටුවක් ද තබති. පසුව මුට්ටියට එළකිරිවත්කොට පවුලේ සියලු දෙනා ඉෂ්ට දෙවියන්ට ප්‍රාර්ථනා කරමින් කිරි මුට්ටිය ලිප තබා කපුරුවලින් ගිනි අවුලවා පවුලේ හැම දෙනා මුට්ටිය දෙස බලා සිටිති.

 

පොංගල් පොංගල්

මුට්ටියේ කිරිඉතිරී යනවිට පවුලේ සැම දෙනා පොංගල් පොංගල් කියමින් පී‍්‍රතිවෙති. ඒ අතර කිරි උතුරායන දිශාව බලා සාමය හා සමෘද්ධිය ළඟා වන බවටද විශ්වාස කරති. එමෙන්ම කිරි උතුරා ගිය විට අලුත් නොඉඳුල් සහල් නැළියකට දමා කිරිබතක් ද උයා ගනු ලබන්නේ උක් වගාවෙන් සාදාගන්නා ලද සක්කරද, මුං ඇටද, පොල්කිරිද, වියළි කජු, මිදි, එනසහල්, ගිතෙල් හා පොල්කිරි ද එක් කරමිනි. එසේ පිසගත් කිරිබත් ප්‍රථම කොටස සූර්ය දිව්‍යරාජයාට පූජා කරති.

 

පුහුණු කිරීම

අනතුරුව ගෙන් ගෙට නිවෙස්වල මිදුලේ පැදුරු එලා ඒ මත කෙසෙල් කොළ එලා එම කොළ මතට කිරිබත් බෙදා සැමට කෑමට දෙයි. ඉන් පසුව දෙවැනි දිනයේ දී උදාවන්නේ මාට්ටු පොංගල් දිනයයි. මෙදින විශේෂ කාර්ය වන්නේ ගොවිතැනට උදව් වූ ගවයින්ට කිරිබත් කැවීමයි. කළගුණ සැලකීම පරපුරෙන් පරපුරට පුහුණු කිරීම එහි අරමුණ වී ඇත. ඊළඟට උදාවන්නේ තෛපොංගල් තෙවැනි දිනයයි. (තුන්වන) එය හඳුන්වන්නේ පුං පොංගල් දිනය ලෙසයි. පුන් පොංගල් දිනයේ දී දැරියන් මල් නෙලා ගෙනැවිත් මල් මාලා සාදාගෙන ගඟට ගොස් දියනා මල් මාලා පැළඳ ගං ඉවුරට රොක් වී මිහිරි ගී ගායනා කරමින් නටති.

 

පොල්කටු හැන්දෙන් පහර දීම

හතරවැනි දිනයේ දී මස් මාංශවලින් තොරව බත් පිස ව්‍යාංජන බත්වලට බෙදා එකට අනා බත් පිඩවල් සාදා කපුටන්ට දීම එදින සිරිතකි. තෛපොංගල් සමරන හින්දු ජනතාව විශේෂ කෙම් ක්‍රමයක්ද සැමරීමට අමතක නොකරති. පොංගල් දිනයේ දී කළයුතු එම සැමරීම වූයේ මීළඟට නොගන්නා (ඵලදා නැති ගස්වලට) ගස්වලට හා මල් හට නොගන්නා මල් ගස්වලට පහරදීම. එසේ පහර දෙනු ලබන්නේ පොංගල් කිරිබත පිසීමට ගන්නා පොල් කටු හැන්දෙනි. එම පහර දීමෙන් පසු ඉක්මනින් ගස්වල ඵලහටගන්නා බවත් මල්ගස්වල මල් හටගන්නා බවත් විශ්වාස කෙරේ.

 

 

බත්තරමුල්ල පැලවත්ත

රාජපුර වෙද මැදුරේ

ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය

සුමිත් එම්. පී. රාජපුර

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.