2024 ජයග්‍රාහී වසරක් කරගන්නට නම්...

ජනවාරි 5, 2024

දොළොස් මසක් ගෙවීගොස් නව වසරක් සම්ප්‍රාප්තිය සිදුවන මොහොත ලෝක වාසී මුළු මහත් ජනතාව මංගල සම්මතයක් ලෙසින් උත්සවාකාරයෙන් පිළිගනු ලබයි.

ලෝකයම නව ප්‍රබෝධයකින් නව වසර පිළිගැනීමට සැරසෙයි. බොහෝ රටවල් දෙසැම්බර් 31 වැනි දින මධ්‍යම රාත්‍රිය පසුකරන විටම අහස්කුස පුරා විසිරී පැතිර යන අති අලංකාර අහස් මල්වෙඩි සංදර්ශන පවත්වමින් පී‍්‍රති ප්‍රමෝදයකින් යුතුව නව වසර භාර ගැනීමට පෙළ ගැසී ‘ජනේරු’ උත්සවයක් ලෙසින්ද සමරයි.

ඒත්.... තම ජීවිතය නව වසරක් සමඟ ආලෝකයෙන්..... නව සැලසුමකින්..... ඇරඹීමට සිතා ගන්නේ කීයෙන් කීදෙනාද? ඒත් මෙම 2024 නව වසර ඔබේ ජීවිතය සැලසුමකට අනුව පෙළ ගස්වා ගතහොත් සැබවින්ම ජීවිතය දිනීමට ඔබට හැකිවනු නොඅනුමානය. අපි එය ඡ්‍යොතිෂ ඇසින් බලමු.

නව වසරේ ඡ්‍යොතිෂය අනුව ලග්න දොළොසේ අය, වැය විමර්ශනයක් තුළින් ඊට ප්‍රවිෂ්ඨ වෙමු.

ලග්නය අය වැය

මේෂ 11 14

වෘෂභ 05 08

මිථුන 11 05

කටක 05 02

සිංහ 08 14

කන්‍යා 11 05

තුලා 05 08

වෘශ්චික 11 14

ධනු 08 05

මකර 02 08

කුම්භ 02 09

මීන 08 05

එක් එක් ලග්නයේ රාශි අය වැය අධ්‍යයනය කර බලන විට පෙනී යන්නේ ලග්න 12න් 7කම අයට වඩා වැය වැඩි බවයි. එයිනුත් කුම්භ ලග්න හිමියාට අය 02 වන විට වැය 09 කි. එහි අයට වඩා වැයෙහි පරතරය 7 කි. එමෙන්ම, සිංහ ලග්න හිමියාට අය 08 වන විට වැය 14 කි. මකර ලග්න හිමියන්ට ද අය 02 වන විට වැය 08කි. එහිදී මෙම ලග්න දෙකේ හිමියන්ට අයට වඩා වැය 06 කි. ඉන්පසුව මේෂ ලග්න හිමියන්ට අය 11 වැය 14 කි. වෘෂභ ලග්න හිමියන්ට අය 05 වන අතර වැය 08 කි. තුලා ලග්න හිමියන්ට අය 05 ක් වන අතර වැය 08 කි. වෘශ්චික ලග්න හිමියන්ට අය 11 වන අතර වැය 14 කි. එවිට මේෂ, වෘෂභ, තුලා, වෘශ්චික යන ලග්න හතරේම හිමියන්ට අයට වඩා වැය 03කින් වැඩිවන බව පෙනී යයි.

මෙමඟින් පැහැදිලිව පෙනී යන්නේ ඡ්‍යොතිෂයට අනුව 2024 වසරේ මොවුන්ට ලැබෙන ආදායමට වඩා වියදම වැඩිවන බවයි. මෙමඟින් සිතිය හැකි වන්නේ සමහරවිට වසර පුරා ඔවුන් ණය ගැතියන් වීමට සිදුවිය හැකි ප්‍රවණතාවයක් ඇති බවය.

එසේ නමුදු නව වසර එළඹීමත් සමඟ ජනවාරි මස සිටම ඒ සඳහා උපක්‍රමශීලීව කටයුතු කළහොත් එම පෙන්නුම් කරන ඡ්‍යොතිෂමය පලාඵල අවාසිදායකත්වයෙන් මිදිය හැකිය. එනම් අයට වඩා වැය පෙන්නුම් කරන ලග්න හිමියන් එනම්, මේෂ, වෘෂභ, සිංහ, තුලා, වෘශ්චික, මකර, කුම්භ යන ලග්න හිමියන් නව සර ආරම්භයේදීම තම අනිවාර්ය වැයක් ලෙස සලකා ධන ආයෝජන ගිණුමක් බැංකුවක ආරම්භ කළ හැකිය.

එවිට අනිවාර්ය මාසික වැයක් වශයෙන් මුදල් ගියත් වසර අවසානය වන විට නොදැනුවත්වම එය තැන්පතු ඉතිරියක් ද වනු ඇත. එය එක්තරා ආකාරයෙන් වියදමක් ලෙස වෙස්වලා ගත් ආශිර්වාදයක් වන ඉතිරියක් වනු ඇත.

2024 ජනවාරි මස මුල් සතිය එළඹීමත් සමඟ ඔබ පසුගිය වසර පුරා ඔබ ගත කළ ආකාරය ආවර්ජනය කර බැලීමට හොඳ අවස්ථාවක් යොදා ගැනීම සුදුසුය.

පසුගිය වසරේ විවිධ කරදර, බාධක, හිරිහැර මැද අනේකවිධ දුක්ඛ දෝමනස්සයන්ට මුහුණදීමට ඔබට සිදුවුවත් ඒවා සියල්ල පසෙකලා ඉන් ජීවිත අත්දැකීම් ගෙන එළැඹි වසර අර්ථ පූර්ණව ගත කිරීමට ජීවිතය සැලසුම් කළ යුතුමය.

පසුගිය වසරේ ඔබ අතින් සිදුවුණු වැරදි නැවත සිදු නොකිරීමට තිරව අදිටන් කළයුතු අතර, පසුගිය වසර තුළ අලුතින් කල්‍යාණ මිතුරන් කීදෙනකු හමුවීද? කී දෙනකු අමනාප වී ඇතිද සිතා බලන්නට කාලය එළඹ ඇත.

ගෙවී ගිය කාල පරිච්ඡේදය තුළ ඔබ අතින් සිදු වූ අඩු පාඩු මොනවාදැයි සිතා බලනු මැන. ඒවා සියල්ල නැවත නව වසරේ සිදු නොවීමට වගබලා ගැනීම සුබය.

ඔබ අතින් තම දුවා දරුවන්ට, දෙමව්පියන්ට, නෑ හිත මිතුරන්ට නිසියාකාරව යුතුකම් ඉටු කර තිබේද? සොයා බැලීමට මේ නව වසර උදාව කදිම තෝතැන්නක් කරගනු මැනව. පසුගිය වසර පුරා තම ආර්ථික ශක්තීන්, ඉගෙනුම් අවස්ථා කෙතරම් දියුණු කර ඇති ද යන්න ආපස්සට සිතා බලනු මැන. ඒවායේ අඩුපාඩු ඇතිනම් වහා සකසා ගනුමැනව.

අන් අයගේ පමණක් නොව තමන්ගේ කාය ශක්තිය, සෞඛ්‍යය පිරිහී තිබේද? එසේ වී නම් නිසි කලට වේලාවට නියමිත ඖෂධ සහ ප්‍රතිකාර ලබා ගැනීමටත්, වෛද්‍ය පරීක්ෂණ ආදිය නියමිත කලට වේලාවට සිදුකර ගැනීමටත් කළ යුතුමය. ඔබ කුමන වගකීම්, තනතුරු තානාන්තර දැරුවද ඒවා තම ශරීරය නොදන්නා බවත් මතක තබාගනු මැන. කලට වේලාවට මඟ නොහැර සෞඛ්‍යමය ප්‍රතිකර්ම නොකළහොත් ඔබ නොදැනුවත්වම විවිධ බරපතල අසනීපවලට ගොදුරු වන්නට පුළුවන. ජීවිතය වුවද අකාලයේ නැතිවිය හැකිය.

පවුලේ අභිවෘද්ධිය සඳහා නව ආදායම් මාර්ග වැඩිදියුණු කර ගත්තේ ද? ඊට එළඹි බාධා නිසිලෙස හඳුනා ගත්තේ ද? යන්නත් විමර්ශනය කරනු මැන. අලුත් යහපත් ආදායම් මාර්ග මොනවාදැයි සොයා බලා එම නව ආයෝජන නිසිලෙස කලට වේලාවට කළයුතුය.

සැපේදීත්, දුකේදීත් එකාවන්ව ඇසුරු කළ හැකි කල්‍යාණ මිතුරන් පිරිසක් තම දිවිපෙවතට එකතු කර ගනු මැනව. ඔවුන් ඔබට හොඳ යහපත් උපදේශකයන් කරගනු මැනව. ඔවුන්ගේ යහපත් ඕනෑ එපාකම් ඉටුකරදෙනු මැනවි.

ඡ්‍යොතිෂ ඇසින් බලන කල ඒ ඒ කාල වකවානුවල කළයුතු වත් පිළිවෙත් 2024 ඡ්‍යොතිෂ පලාපල කථනය මඟින් සිදුකර ඇත. එම වත්පිළිවෙත් බැහැර නොකට ඒවාද නිසියාකාර ඉටුකර තම ඉටු දෙවියන්ට පින් පෙත් පමුණුවා දේවාශිර්වාදය ලබාගනු මැනව.

අන් අයට පිහිටවීමද දානමානාදී පුණ්‍ය කටයුතුවල නිරතවීමද ඔබ කුමන ආගමකට අයත් වුවද එම ආගමික වතාවත්, පිළිවෙත් කලට වේලාවට ඉටු කිරීමට සැලසුමක් සකසා ගනු මැනවි.

තම දුවාදරුවන්ගේ අධ්‍යාපනය, සෞඛ්‍යය හා පෝෂණය ගැනද තම දෙමව්පියන් ජීවත්ව සිටින්නේ නම් නොපිරිහෙලා තම යුතුකම් ඉටුකිරීමටද වගබලා ගත යුතුය. ඔබ දෙමව්පියන්, නෑ හිත මිතුරන් මිය පරලොව ගොස් ඇතිනම් ඔවුන්ට පින් පෙත් පැමිණවීමද සිදුකිරීමට කටයුතු කළ යුතුය.

ඔබ දිනපතා අඩුතරමින් විනාඩි කිහිපයක්වත් සිත එකඟතාවයට පත් කිරීම සඳහා සුදුසු භාවනාවක නිරත වීම වැදගත්ය. ඒ ඒ ලග්නවල දෝෂයන්ට ප්‍රතිකර්ම ලෙස බෝධි පූජා, නවග්‍රහ දේව පූජා පවත්වන වේලාවලදී භාවනානුයෝගීව ගත කිරීම මඟින් සිත සන්සුන් කරගත හැකිය. එදිනෙදා ජීවිතයේ කාර්යයන් කරමින් වුවද මෙම භාවනාවන් සිදුකළ හැකි බව අවබෝධයෙන් සිටීම වටී.

තම නිවස සහ ඒ අවට පරිසර පද්ධතිය ක්‍රමානුකූලව අලංකාරව සෞඛ්‍යාරක්ෂිතව තබා ගැනීමට පරිසරය පිරිසුදුව, පවත්වාගෙන යාමට කටයුතු කරනු මැන. වාස්තු විද්‍යාවට අනුවද මෙමඟින් තම ගෘහය සහ එහි වෙසෙන්නන්ගේ ඉදිරි දියුණුව, සෞභාග්‍ය, වාසනාව උදාවීමට මෙය මහත් පිටිවහලක් වනු නියතය.

අන් අයගේ මත ඉවසා සිටීමටත්, තමන්ට කිසියම් ලෙසකින් ආවේගශීලී භාවයත්, තරහ, මරහ නිරන්තර සිදුවේ නම් ඊට පිළියම්ද යෙදිය යුතුමය. අවැසි තැන මානසික ප්‍රතිකාරයන් ලබා ගැනීමට වුවද පසුබට නොවනුමැන. විවේකය, නිසියාකාර ඇවැසි නින්ද දෛනිකව ලබා ගැනීමට පියවර ගත යුතුය. ජීවිතය සැබවින්ම දිනීමට නම් චිත්ත විවේකයද නිසියාකාරව ලබාගත යුතුමය.

මේ අයුරින් ඔබේ දෛනික කාලසටහන ක්‍රියාත්මක කරන විට ඔබ නොදැනුවත්වම ඔබේ භෞතික මෙන්ම ආධ්‍යාත්මික දියුණුව සලසාගෙන තිබෙන බව වසර අවසානයේ ඔබට පැහැදිළිවනු නිසැකය.

 

හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්)

ඡ්‍යොතිෂවේදී /වාස්තු පර්යේෂක

ආචාර්ය විජය සමරසිංහ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.