මරණින් පසු කොයිබටද?

දෙසැම්බර් 22, 2023

ඔබ, මම ආවා තමයි කොහේ සිට ආවාද? කොහාට යනවද? කවදද යන්නෙ? කියන මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න අපේ මනස ගොඩක් දියුණු කරන්න වේවි. මේ ටික පැහැදිලි කරන්නේ බුදු දහමෙන් විතරයි. දැනගන්න හැකිවන්නේ ඡ්‍යොතිෂයෙන් කිවුවොත් පුදුම වෙනවද? ඡ්‍යොතිෂය මඟින් හැම තිස්සෙම වැඩිපුර වශයෙන් කරන්නෙ අපි වටා වේගයෙන් කැරකෙන පියවි ඇසට නොපෙනෙන ග්‍රහලෝකවල විපර්යාසත් ඒ අනුව පෘථිවියේ ජීවත්වන අයට ඇතිවන ප්‍රතිඵලයත් බව පෙනෙනවා. මේවා පියවි ඇසට නොපෙනුණත් නවීන යන්ත්‍රසූත්‍රවලට අසුවනවා. නවීන යන්ත්‍ර සූත්‍ර ස්වභාවධර්මයාත් වෙනස් කරන බව පේනවා. සමහර රටවල වර්ෂාව නැතිවුණාම අහසට කිසියම් විපර්යාසයක් කරල වර්ෂාව ලබා ගන්නවා. මේ විදිහට විද්‍යාව දියුණු වුවහොත් ලෝක විනාසය වන්නත් බැරි නැහැ. ස්වභාව ධර්මයා කිවුවේ අපි හිතනවට වඩා ලොකු විවිධත්වයක්. ස්වභාවධර්මයා විනාශ වෙනවා, විනාශ කරනවා කියන්නෙ ජීවය ක්‍රමයෙන් පිරිහීමයි. ඒක ඉතා සියුම්වයි සිදුවන්නේ.

ලෝකයේ නවීන විද්‍යාඥයෝ එක එක නවීන දේවල් හොයා ගන්නවා. නමුත් “හුස්ම” කියන එක මේ වෙනකං හොයාගෙන නැහැ. මනුෂ්‍ය ආත්මයක් ලබන්න සත්ත්ව ආත්මයක් ලබන්න ලිංගික සම්බන්ධතාවයක් ඇතිවන්න ඕනමයි කියල නැහැ. නවීන විද්‍යාවෙන් නළ දරුවො හදනවා. ඒ දරුවට ප්‍රාණය, හුස්ම ලැබෙන්නෙ කොහොමද කියන එක හරි ප්‍රශ්නයක්. සමහර අය බිත්තරවලින් හැදෙනවා. එක එක ක්‍රමවලින් සත්ත්ව ජීවිතය හැදෙනවා. ඔය අණ්ඩජ, ජලාබුජ, ඕපපාතික කියල කියන්නේ. මේ හැම ප්‍රාණියකුටම “හුස්ම” ලැබෙන්නෙ කෙසේද?

ඕනෑම ජීවියෙක් ඇතිවන්නෙ පංචමහා භූතයෝ එකතුවෙල කියන එක බෞද්ධ දර්ශනයේ සඳහන් වනවා. ඒ වුණාට ඊට හුස්ම ඇතිවන්නෙ කෙසේද? පැවැත්ම ඇතිවූ සෑම ජීවියෙක්ම අවසාන මොහොතෙදි කිසියම් සිතිවිල්ලක් පහළ වී ඒ සිතිවිල්ල සමඟ හුස්ම මේ වායුගෝලයට නිකුත් කරනවා. ඒ පිට කරන ප්‍රාණය – හුස්ම මේ වායුගෝලයේ කිසියම් තැනක රැඳෙනවා. සැම විටම චලනය වන නිසා වායුගෝලයේ එක් තැනකට ඒ රැඳීම සීමා වන්නෙ නැහැ. පුනරුත්පත්තිය ගැන කතාකරන කොට දුර බැහැර මිය ගිය අය වෙනත් තැනක වෙනත් කෙනෙක් ලෙසින්. සත්වයෙක් ලෙසින් උත්පත්තිය ලබනවා. මේ බොහෝ දේ සිදුවන්නෙ නැත්නම් පවතින්නෙ ග්‍රහලෝකවල විපර්යාස නිසා. මේ විෂය තමයි ඡ්‍යොතිෂය. අපි ඉපදිලා මරණයකින් පසු නැවත උපදීද, නැවත උපදින්නෙ කුමන වේශයකින්ද? මරණය සිදුවන්නෙ කෙසේද? මේ වග විභාගය බෙහෙවින් අයත් වන්නෙ විග්‍රහ කරන්නේ ඡ්‍යොතිෂයෙන් පමණයි. ඒ වගේම මේ කරුණු ඇතුළත් වී තිබෙන්නෙ අර්ථ, මෝක්ෂ, ධර්ම ත්‍රිකෝණවලට පමණයි. මේ ත්‍රිකෝණ වැඩිපුර සාකච්ඡා කරගෙන යන කොට පේ‍්‍රත, භූත, ගෙවල ගැනත් සඳහන් වනවා. සමහර උදවිය මේවා විශ්වාස කරන්නෙ නැහැ. ඒ අය තමුන් එල්බගෙන සිටින මතයට පිටින් යන්නෙ නැහැ. කිසිම ආගමක් ඇදහීමෙන් මීට පිළිතුරු හොයන්නත් බැහැ. බුදුදහමෙන් පමණක් මිස. කුමක් හෙයින්ද යත් එය ආගමක් නොව දර්ශනයක් වන නිසා.

විශේෂයෙන් මරණින් පස්සේ ලබන භවය සිදුවන්නෙ අප කළ කුසල අකුසලය මත වුණාට, ඒක දහම් පාසල්වල ඉගැන්නුවාට චුති චිත්තය මීට ඉස්සර වනවා. හොඳම නිදසුන තමයි මල්ලිකා දේවියගේ මරණය. පින්දහමටම නියැළී සිටි ඇය සතියක් නරක ලෝකයේ උත්පත්තිය ලැබුවේ ඇයි. එක්තරා පුංචි සිද්ධියක් මුල්කරගෙන මරණාසන්න මොහොතේ චුති චින්තයට ඒ සිද්ධිය මෙනෙහි වූ නිසා බව දන්නවනේ. අපි එකක් මතක තබා ගන්න ඕනෑ. කොච්චර පින් දහම් කළත් චුති චිත්තය නරක් වුණොත් ඉවරටම ඉවරයි. ලබන භවයෙදි පේ‍්‍රතයෙක්, භූතයෙක් බවට උත්පත්තිය ලබන්න ඒ ටික හොඳටම ඇති. චුති චිත්තය ගැන මනා අවබෝධයක් නැතිනම් 9 වැනි 10 වැනි රාශි ගැන වඩා දැනුමක් ලබා ගැනීමෙන් ලබන ආත්මය ගැන වැටහීමක් එනවා. එනම් කර්ම - ධර්ම රාශින් හෙවත් ස්ථාන – රවි 10 වැනි රාශියේ යහපත්ව සිටීම මහත් බලයක්. 9 වැනි රාශිය හා 10 වැනි රාශිය ගෙන ආ වාසනාව ලැබෙන්නෙ 11 වැනි රාශියේ පිහිටි ග්‍රහයෝ නිසයි. විශේෂයෙන්ම අපේ කේන්දරයේ 9,10,11 රාශි හොඳට පරික්ෂා කළොත්, අපි මැරෙන කාලෙත් මරණින් පසු ඉපදෙන ස්වභාවයත් දැනගන්න පුළුවන්.

 

 

 

පාරම්පරික ගුප්ත විද්‍යාධර, ජ්‍යෝතීර්වේදී, මීපේ ගණිතගේ

රන්ජිත් විද්‍යාරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.