දෝ සතර මනාව හැඳිනගත් ඡ්‍යොතිෂවේදියා මාකෙහෙල්වල කරුණාපාල

නොවැම්බර් 17, 2023

සබරගමු පළාතේ කෑගල්ල මාකෙහෙල්වල ගම්මානයේ පල්ලේවත්තේගෙදර ජීවත් වූ පාරම්පරික වෛද්‍යවරයාගේ කුඩා මුනුපුරා වශයෙන් උපත ලබන්නට ඔහු සැබැවින් වාසනාවන්ත විය. ඡ්‍යොතිෂ්‍ය ශාස්ත්‍රයත් පාරම්පරික වෙද හෙදකමත් කුඩා මුණුපුරාට ඉගැන්විය යුතුය යන අදහස පල්ලේවත්තේගෙදර වෙද මහතාට ඇති වන්නේ මුනුපුරාගේ ජන්ම පත්‍රයේ පැවැති සස, ධර්මකර්මාධිපති, මහෞෂධ යන ප්‍රබල ග්‍රහබල යෝග නිසාය. මේෂ ලග්නයෙන් උපත ලද කරුණාපාල මුණුපුරාට ඡ්‍යොතිෂ ශාස්ත්‍රයේ පරතෙරටම යා හැකි බව ජන්ම පත්‍රයේ බැලූ බැල්මට සටහන්ව පැවතිණි. ඡ්‍යොතිෂශාස්ත්‍රයෙන් තම නම රටේම ප්‍රචලිත කරන්නට සමත් වූ ඡ්‍යොතිෂ ශාස්ත්‍රඥ මාකෙහෙල්වල කරුණාපාලයන්ගේ කතාවයි මේ.

 

උපත

මාකෙහෙල්වල ගම්පියසේ පාරම්පරික ඡ්‍යොතිෂ පරපුරකින් පැවත එන පල්ලේවත්තේගෙදර පරම්පරාවට 1947-05-05 දිනය සුවිශේෂී දිනයක් විය. එදින මාකෙහෙල්වල කරුණාපාල නමින් පසු කලෙක රටේම ප්‍රසිද්ධියට පත්වූ ප්‍රවීණ ඡ්‍යොතිෂවේදියා උපත ලද දිනය විය. පාරම්පරික ඡ්‍යොතිෂ පරපුරක් ඉදිරියට ගෙනයන්නට භාග්‍යවත් වූ මේ සිඟිත්තා කුඩා කල සිටම ඉගෙනුමට උපත් හපන්කම් දැක්වූයේය.

අධ්‍යාපනය

සහෝදර සහෝදරියන් අට දෙනකුගෙන් යුතු පවුලේ බඩපිස්සා වූ කරුණාපාල දරුවා මූලික අධ්‍යාපනය සඳහා යොමු කෙරුණේ මාකෙහෙල්වල ගමේ පාසලටය. එයින් අධ්‍යාපනය නිසි ලෙස හදාරා කෑගල්ල දිසාපති කාර්යාලයේ සංවර්ධන සැලසුම් අංශයේ නිලධාරියකු ලෙස ඔහු රාජ්‍ය සේවයට එක් වූයේය. කුඩා කල සිටම තම මුත්තණුවන් වෙදදුරකු වූ නිසාත් පාරම්පරික ඡ්‍යොතිෂ ශාස්ත්‍රඥයකු වූ නිසාත් මුත්තණුවන් ඇසුරේම සිටිමින් ඡ්‍යොතිෂ ශාස්ත්‍රයට අත්පොත් තබන්නට කරුණාපාලයන්ට හැකි වූයේ බහ තෝරන වියේ දී සිටම ය.

මුත්තණුවන්ගේ කාව්‍ය ගායනා, ශ්ලෝක, ඡ්‍යොතිෂ පතපොත අතපත ගාන්නටත්, එම කවි මහ හඬින් ගායනා කරන්නටත් කරුණාපාලයන් උපන් හපනෙක් විය. පැරැණි කාව්‍ය පත පොත ඔහු හදාරන්නේ පාසල් අවධියේ සිටය.

කෑගල්ල ගම් ප්‍රදේශයන්හි ඔහු නැති දෙවොල් මඩුවක් නොවීය. ඒ පිළිබඳ මහකෙහෙල්වල කරුණාපාලයන් තම මතකය අවදි කරන්නේ මෙලෙසිනි.

මට අවුරුදු දාහතරක් පහළොවක් වගේ යොවුන් වියේ සිටම මගේ සීයාගේ මඟ පෙන්වීම අනුව ඡ්‍යොතිෂ ඉගෙනුමට මම යොමු වුණා. ඇත්තටම ඡ්‍යොතිෂ ශාස්ත්‍රය දේව වදන් හා සමානයි. සහජයෙන්ම ඡ්‍යොතිෂය උරුම වී තිබූ නිසා එම ශාස්ත්‍රයේ දී මට ගුරුවරයකු සිටියේ නැහැ. මගේ සීයා තමයි මගේ ගුරුවරයා වූයේ. විශේෂයෙන්ම මගේ මුත්තණුවන් සතුව පැවැති පැරැණි වටිනා ඡ්‍යොතිෂ ශාස්ත්‍රීය ග්‍රන්ථ පුස්කොළ පොත් මම නිතර කියෙව්වා. ප්‍රගුණ කළා. ඒවායින් සීයා සමඟ එකතු වී වැඩ ගත්තා. ඡ්‍යොතිෂ ශාස්ත්‍රය පමණක්ම නොවෙයි මගේ මුත්තණුවන් ඇසුරින් මම නැටුම් කලාව, සෙත් ශාන්ති කලාව, හස්ත රේඛා ශාස්ත්‍රය මට නිරායාසයෙන්ම උරුම වුණා. ඇත්තටම එය මගේ වාසනාවක් ලෙස මම සලකනවා. ගමේ පමණක් නොව ලංකාවේ වගේම විදේශ රටවල සිටත් මගෙන් ඡ්‍යොතිෂ වැඩකටයුතු වගේම සෙත් ශාන්ති කර ගැනුමට පිරිස් ඇදී එනවා. එය සතුටක්.

ලේඛන කලාව

“නිතර නිතර මම දැන සිටි මට පරම්පරාවෙන් උරුම වූ ඡ්‍යොතිෂ ශාස්ත්‍රය පිළිබඳ සත්‍ය තොරතුරු ගවේෂණය කරමින් පුවත්පත්වලට ලිපි රචනා කළා. ඇත්තෙන්ම මට අවශ්‍ය වන්නේ මේ ශාස්ත්‍රය පිළිබඳ සැබෑව ජනතාවට අවබෝධ කරවීමටයි. විශේෂයෙන්ම මෙම ඡ්‍යොතිෂ කලාව අද වන විට යම් ආකාරයට පිරිහීමට ලක්ව පවතින බව පෙනෙනවා. මේ අන්ධානුකරණයෙන් ජනතාව මුදා ගැනීමටයි මම ශාස්ත්‍රීය ලිපි සුබසෙත වැනි ඡ්‍යොතිෂ පුවත්පත්වලට ලියමින් ජනතාව දැනුම්වත් කරන්නේ.

එක්දහස් නවසිය අසූ ගණන්වල සිටම ලේක්හවුස් ආයතනයේ පුවත්පත් ඇතුළු තවත් පුවත්පත් රැසකටම මම ලිපි ලිව්වා. විශේෂයෙන්ම එකල මම තරුණි පුවත්පතට ලියූ හස්ත රේඛා ලිපි ජනතාව අතර අතිශය ජනපි‍්‍රය වුණා. ‘ඇඟිලි සලකුණින් පලාපල’ විශේෂාංගය ඒ අතර සුවිශේෂී වෙනවා.”

කරුණාපාල මහතා තම යටගිය අතීතය එලෙස සිහිපත් කරයි. විදුර සඟරාවත්, තරිඳු ඡ්‍යොතිෂ පත්‍රයේත් සංස්කාරකවරයා ලෙස කටයුතු කරන්නට ද කරුණාපාල මහතා වාසනාවන්ත වූවේය. ලේඛන කලාවේ මහ පරිචයක් තිබූ ඔහු හස්ත රේඛා සම්බන්ධව කෘති කිහිපයක්ම ලියා පළ කොට තිබේ. හස්ත රේඛා පිළිබඳව ද විස්මිත අනාවැකි පැවසූ ඔහු වරක් දඹානේ වැදි නායකයාගේ හස්තයේ මුද්‍රාවක් ගෙන එහි පලාඵල ඔහු පැවසූයේ පාඨකයන් ද මවිතයට පත්කරමිනි.

මේ කරුණ ඔහුගේ හස්ත රේඛා කලාව පිළිබඳ දැනුම ජනතාව අතර ප්‍රචලිත විය. හෙළ සිරිතට විරිතට නිතරම ගරු කරන කරුණාපාල මහතා ලංකාවේ වැනසී යන සංස්කෘතික උරුමයන් රැක ගැනීමේ නොතිත් අරගලයකට උරදී සිටියි.

මඟුල් තුලාවකදී, ශාන්තිකර්මයකදී නැතිවම බැරි ගොක්කොළ සැරසිලි, කැටයම් පිළිබඳ ඔහු සතු දැනුම විශාලය. මඟුල් පෝරුව නිසි ආකාරයට සැකසීමත්, ඒවාහි චාරිත්‍ර වාරිත්‍ර නිසි ලෙස ඉටු කිරීමටත් කරුණාපාල මහතා දක්වන්නේ සුවිශේෂී හැකියාවකි. මේ නිසාම ගම් පළාතේ ඔහු චාරිත්‍ර ඉටු නොකළ මඟුල් තුලාවක් ගැන දැනගන්නට පවා නැත. අසූව දශකයේ දී රාජ්‍ය සේවාවෙන් විශ්‍රාම ගියද ඔහු අද දක්වාම ඡ්‍යොතිෂ කටයුතුවල නිරත වන්නේ ශාස්ත්‍රය කෙරෙහි වූ සැබෑම භක්තියෙනි.

කිසිම දිනෙක මුදල් පසුපස හඹා නොයන මාකෙහෙල්වල කරුණාපාලයන් හැම විටම පවසන්නේ මෙම වටිනා ශාස්ත්‍රය විකුණාගෙන කෑමෙන් අවැඩක්ම සිදු වන බවයි. ඒ පිළිබඳ ඔහු මෙලෙස පවසයි.

‘ඡ්‍යොතිෂවේදියකු වෙත යමෙක් පැමිණෙන්නේ තමාගේ දුකකට අපලයකට යම් ප්‍රතිකර්මයක් සිදු කර ගැනීම යි. එලෙස දුක සේ පැමිණෙන පුද්ගලයාට සතුටක්, පිහිටක් වනවා විනා, ඔහු තවත් දුකට පත් කරලීම කිසිම විටෙක සැබෑ ඡ්‍යොතිෂවේදියකු නොකළ යුතු දෙයක් වෙනවා. තමාට හැකි පමණ එම පුද්ගලයාට පිහිට වීමට ඡ්‍යොතිෂවේදියා වග බලා ගත යුතුයි. කරුණාපාල මහතා පවසන්නේ සියලුම ඡ්‍යොතිෂවේදියන්ට කදිම පාඩමක් කියා දෙමිනි.

ඡ්‍යොතිෂ ශාස්ත්‍රය වූ කලී මානවයා සතුව ඇති අනර්ඝ සම්පතක් බව මාකෙහෙල්වල මහතාගේ අදහසයි.

‘‘ඇත්තටම ඡ්‍යොතිෂ ශාස්ත්‍රයෙන් ප්‍රයෝජන ගන්න වර්තමාන සමාජයේ හුඟදෙනෙක් දන්නේ නැහැ.

මේ ශාස්ත්‍රයේ වටිනාකම හඳුනන, අවබෝධයක් සහිත, සිහිබුද්ධියෙන් කටයුතු කරන මිනිසාට මෙය ඉතා වැදගත් වගේම වටිනා ශාස්ත්‍රයක් වෙනවා. ඒ වගේම මේ ශාස්ත්‍රය ප්‍රගුණ කරන්නාට ද ආවාට ගියාට මේ ශාස්ත්‍රය ප්‍රගුණ කරන්නට නොහැකියි. ඒ සඳහා ඔහුට ගුණාංග කිහිපයක් ම පැවැතිය යුතුයි. ඒ ගුණාංග ඡ්‍යොතිෂ ශාස්ත්‍රයේ විග්‍රහ කෙරෙනවා. ඒවා නිසි ලෙස අනුගමනය කරමින් මේ ශාස්ත්‍රයට අත්පොත් නොතැබුවහොත් ලැබෙන ප්‍රතිඵලය අසාර්ථකයි.‘‘

ඡ්‍යොතිෂ ශාස්ත්‍රය පිළිබඳ එලෙස පවසන කරුණාපාල මහතා ලේක්හවුස් ආයතනයේ සුබසෙත පුවත්පතේ දීර්ඝකාලීන ලේඛකයකු විය. කරුණාපාල මහතා එමඟින් පවත්වන ලද ඡ්‍යොතිෂ සායන සඳහා ද තම නොමසුරු දායකත්වය ලබා දුන්නේ තවත් ජ්‍යෝතිෂවේදීන් ද නොකඩවා ඒ සඳහා සහභාගි කරවමිනි. අද ද සක්‍රීයව ඡ්‍යොතිෂ ශාස්ත්‍රයට දායක වන ඔහු ඡ්‍යොතිෂයේ අනාගතය වෙනුවෙන් වෙහෙසෙන්නේ ආධුනික ජ්‍යෝතිෂවේදීන්ට ද අතහිත දෙමිනි.

1970 දශකයේදී විවාහ දිවියට පත්වන මාකෙහෙල්වල කරුණාපාල ඡ්‍යොතිෂවේදියාණන් දරුවන් තිදෙනකුගේ දයාබර පියෙකි. ඔහුගේ ඡ්‍යොතිෂ හා ශාන්ති කර්ම කටයුතුවලට නිබඳවම අත්වැලක් වෙමින් ඔහුගේ පි‍්‍රය බිරිඳ ඉටුකරන සද්කාර්යය ඔහු හැම විටම අගය කරයි.

ඡ්‍යොතිෂ කලාවේ මෙන්ම ඡ්‍යොතිෂ ලේඛන කලාවේ දුරක් එන්නට අතහිත දුන් මෙරට ප්‍රවීණ ඡ්‍යොතිෂවේදීන් ඔහු සිහිපත් කරන්නේ හදබැතිනි. ඡ්‍යොතිෂ කලාවේ පැහැදිලි සත්‍යවාදී හෙට දිනක් වෙනුවෙන් අදටත් සැබෑ ඡ්‍යොතිෂ ශාස්ත්‍රයක නියැළෙන කරුණාපාල මහතාට දීර්ඝායු පතමු.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.