පරම්පරා උරුමයෙන් ඡ්‍යොතිෂය බැබැළ වූ කතුවරිය ගීතා ජයසූරිය

අගෝස්තු 25, 2023

 

පරම්පරාවෙන් පරම්පරාවට උරුම වූ ඡ්‍යොතිෂ ශාස්ත්‍රයත් මාධ්‍යවේදයත් ඇගේ ජීවිතය හා බද්ධ වී ඇත්තේ ගසට පොත්ත මෙනි. ජීවිතයෙන් වැඩි කාලයක් ඇය ගත කළේ ද එසේම ගතකරමින් සිටින්නේ ද ඡ්‍යොතිෂ ශාස්ත්‍රය සමඟ බව පැවසුවොත් එය නිවැරැදිය.

සුබසෙත පුවත්පතෙහි ද දිගුකාලීන කතුවරියක ලෙස ඇය සේවය කළාය. ඡ්‍යොතිෂවේදයේ දයාබර කතුවරියක සේම ගුරුවරියක ලෙස ද ඇය බොහෝ දෙනකුට මඟ පෙන් වූ චරිතයක්ම විය. ඇය රටට ලෝකයට දුන් ඡ්‍යොතිෂ ශාස්ත්‍රීය ලිපි ලේඛන සරලය. සුගමය. නිරවුල්ය.

මේ පෙළ ගැහෙන්නේ ගීතා ජයසූරිය නම් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනිය, ඡ්‍යොතිෂවේදිනිය ගේ කතාවයි.

 

උපත

1951 වසරේ අප්‍රේල් මාසයේ 27 වැනි දා ගම්පහ - යක්කල ග්‍රාමයට සුවිශේෂි දිනයක් විය. ඇස්ලින් කරුණාසේකර වෙදහාමිනේ තම දෙවැනි දරු ප්‍රසූතිය සඳහා සූදානම්ය. කරුණාසේකර වෙදමහතා ද ඇය අසලය. නැඟෙනහිර සිතිජයේ තුලා රාශිය උදාව පවතින අවස්ථාවේ ඇය මෙළොවට සුරතල් සිඟිති පින්වත් දියණියක බිහි කළාය. ඡ්‍යොතිෂ ශාස්ත්‍රය මැනවින් දැන සිටි කරුණාසේකර වෙදමහතා සිඟිත්තියගේ ජන්ම පත්‍රය පරීක්ෂා කර බැලුවේය. ග්‍රහ පිහිටීම් සුබය. ඒ අනුව ඇය ඉදිරි අනාගතයේ ඡ්‍යොතිෂ ශාස්ත්‍රයෙන් ඉදිරියටම ගමන් කරන ලකුණු පෙනිණි. දියණියන් දෙදනකුගෙන් සමන්විත වූ ඒ පවුලේ බාල දියණිය ලෙස ඇය තම මවුපියන්ගෙන් සහ වැඩිමහල් සොහොයුරිගෙන් ලැබුවේ නොමද ආදරයක් හා රැකවරණයකි. ගීතා රංජනී දොළේවත්ත ලෙස නම් ලද මේ දියණියට කුඩා කල සිටම තම පියා ඇසුරේ හැදී වැඩෙන්නට හැකි විය. ඔහු වේයන්ගොඩ නගරයේ පවත්වාගෙන ගිය ආයුර්වේද බෙහෙත් ශාලාවේ රැඳෙන්නටත් පියාගේ වෘත්තීමය කටයුතුවලට සහයෝගය දක්වන්නටත් ඒ මඟින් වෙදහෙදකම් පිළිබඳ ආභාසය හා දැනුම ලබන්නටත් කුඩා ගීතා දියණියට හැකි විය. මේ නිසාම කුඩා කාලයේදීම තම පියාගේ වෙදහෙදකම් පිළිබඳ දැනුම පමණක් නොව ඔහු දත් ඡ්‍යොතිෂ ශාස්ත්‍රය ද ප්‍රගුණ කරන්නට ඇය වාසනාවන්ත විය.

 

අධ්‍යාපනය

ගීතා ජයසූරිය තම මූලික අධ්‍යාපනය ලැබුවේ යක්කල අනුර විදුහලෙනි. ප්‍රාථමික අධ්‍යාපනය සාර්ථක ලෙස නිම කළ ඇය තම ද්විතික අධ්‍යාපන කටයුතු සඳහා ඇතුළත් වූයේ වේයන්ගොඩ මධ්‍ය මහා විද්‍යාලයටය. විද්‍යාලයේද දක්ෂ සිසුවියක වූ ඇය ද්විතීක අධ්‍යාපනයෙන් පසුව තම පියාගේ අඩි පාරේ යමින් ඡ්‍යොතිෂ ශාස්ත්‍රය ප්‍රගුණ කරන්නට වූවාය. පාලි, වංග, සංස්කෘත වැනි භාෂා කිහිපයක්ම මනාව දැන සිටි පියාගෙන් ඡ්‍යොතිෂ ශාස්ත්‍රය ප්‍රගුණ කරන්නට පාසල් වියේදිම හැකිවීම ගීතා දියණිය ලද ජයග්‍රහණයකි.

අනාගතය දෙස මනා දැක්මක් තිබූ පියා ඇසුරේ හැදී වැඩුණු ඇය තම අධ්‍යාපනයට අදාළ පොතපත සේම නිතර ඡ්‍යොතිෂ පත පොත සමඟ ද කල් ගත කළාය. මැදියම් රැය ද ඉක්මවා යන තුරු ඇය ඒ පිළිබඳ සොයා බැලුවාය. පර්යේෂණ කළාය. ඡ්‍යොතිෂ කටයුතුවල නිරත වූවාය. තම පියාවෙත එන හඳහන් පරීක්ෂා කිරීම් කටයුතුවලට සහාය වූවාය.

 

සුබසෙත පුවත්පත

1969 වසරේ දී ලේක්හවුස් ආයතනයට මාධ්‍යවේදිනියක ලෙස එක් වන්නට ඇය භාග්‍යවන්ත වූවාය. එකල සිළුමිණ පුවත්පතේ පළ වූ දැන්වීමකට යොමු කළ අයැදුම්පතක් මත ඇය ලේක්හවුස් ආයතනයට බඳවා ගනු ලැබුවේ ඡ්‍යොතිෂය පිළිබඳ දැනුමැති මාධ්‍යවේදිනියක ලෙසය. ඇයට පුවත්පත් කලාව අරුම පුදුම දෙයක් නොව අතැඹුලක්ම විය. මන්ද ඇය පාසල් වියේ සිටම තම පියා මඟ යමින් පුවත්පත්වලට ඡ්‍යොතිෂය පිළිබඳ ලිපි ලියමින් සිටි බැවිනි. 1969 වසරේ මැයි මස සුබ මෙහොතින් ආරම්භ කළ සුබසෙත පුවත්පතේ මුල් කර්තෘ මණ්ඩලයට ඇය එක් වූයේ හරවත් ගමනක ආරම්භය සනිටුහන් කරමිනි. සුබසෙත ඡ්‍යොතිෂ පුවත්පත ආරම්භ වන්නේ පත්‍ර කලාවේ මිණි පහනක් වූ පියසේන නිශ්ශංකයන්ගේ කර්තෘත්වයෙනි. ඔහුගේ ඇසුරේ උපදෙස් ලබමින් සිවපාල බණ්ඩාර මහතා යටතේ ඇය පුවත්පතේ කටයුතු මැනවින් කරගෙන ගියාය. ඒ මතකය පිළිබඳව ඇය පුවත්පතකට මෙසේ පවසා තිබිණි.

‘1969 අප්‍රේල් 01 වැනිදා පුවත්පත් කලාවේදිනියක් ලෙස පත්වීම ලැබ ලේක්හවුස් ආයතනයේ පඩිපෙළ නගිද්දී මට මහත් ආඩම්බරයක් දැනුණා. පියසේන නිශ්ශංක මහතා සියලු වගකීම් කරට ගෙන කටයුතු කරනවා දුටුවා. විජයසිරි විද්‍යාරත්න මහතා ඡ්‍යොතිෂ අංශය බාරව කටයුතු කළේ ඉතා කෙටි කාලයක්. එකල කර්තෘ මණ්ඩලවල සේවය කළේ ඉතා සුළු පිරිසක්. එයින්ද කාන්තා නියෝජනය ඉතා අල්පයි. අක්ෂර ව්‍යාකරණ පිළිබඳව නිශ්ශංක මහතා දැඩි උපදෙස් ලබාදුන් අතර එක් වචනයක් හෝ වැරැදී පත්‍රයේ පළවුවහොත් සුළු දඩයකටද යටත් විය යුතුය වුණා. අකුරු අමුණන අංශය ඉතා කාර්යබහුලයි. උඩ යට මාරුවී ලැබෙන ඊයම් අකුරු පේළි එක එක අමුණා පිටු සකස් කිරීමට දින 03 ක් ගතවෙනවා. සෝදුපත් කියවා නිවැරැදි කර නැවත අලුත් පිටපත් නිශ්ශංක මහතා අනුමත කළ යුතුයි. සුබසෙත පුවත්පතේ කටයුතු කරන අතරවාරයේ ඡ්‍යොතිෂය පිළිබඳ ඇය සතු දැනුම තවතවත් ඔපමට්ටම් විය. එලෙස ඉන්දියාවේ පැවැති ඡ්‍යොතිෂ ක්‍රමවේදයක් වූ ක්‍රිෂ්ණමූර්ති ක්‍රමය පිළිබඳ තම දැනුම් සම්භාරය මුවහත් කර ගත්තාය. සුබසෙත පුවත්පතේ සේවය කරමින් සිටියදීම 1994 වසරේ දී පුවත්පතේ ප්‍රධාන කර්තෘ ධූරයට පත් වූවාය. මේ කාලය අතරතුර සුබසෙත පුවත්පත වෙනුවෙන් වෙහෙසී කටයුතු කරන්නට සේම පුවත්පතේ සේවයට එක් වූ අංකුර මාධ්‍යවේදීන්ට ඇය සැබෑම කතුතුමියක, ගුරුවරියක ලෙස ඔවුන් දැන සිටි ඡ්‍යොතිෂ ශාස්ත්‍රය තව දුරටත් මුවහත් කරගැනුමට අවස්ථාව ලබාදුන්නාය. ඒ ඇය ද ඡ්‍යොතිෂ ශාස්ත්‍රය මනාව දැන සිටි හෙයිනි. එනිසා නොදෙන්නා යමක් ඇගෙන් විමසමින් පුවත්පතේ කටයුතුවල නිරත වන්නට ඔවුනට හැකි විය. දශක හතරකට ආසන්න කාලයක් ලේක්හවුස් ආයතනයේ පුවත්පත් කතුවරියක, මාධ්‍යවේදිනියක ලෙස සේවය කරමින් සුබසෙත පුවත්පතේ වැඩිකාලයක් කටයුතු කළ ඇය කා අතරත් හොඳ හිත දිනමින් සමඟියෙන් කණ්ඩායමක් ලෙස වැඩ කිරීමේ හැකියාව මනාව ගෙන හැර දැක්වූයේ හැම දෙනාටම ආදර්ශයක් වෙමිනි. සේවා ස්ථානයේ ද නැකැතක්, වෙලාවක් බලවා ගන්නට පැමිණි සහෝදර සේවක සේවිකාවන්ට ඇය ඒ කටයුතු නොමිලේම ඉටු කර දුන්නේ දයාබර සිනහවක් මුවේ රඳවා ගනිමිනි.

 

විවාහය

1976 වසරේ දී ජේ.ඒ චන්ද්‍රසේන මහතා සමඟ යුගදිවියට පිවිසි ඇය දියණියකගේ දයාබර මව වූවාය. දියණිය අජානි ජයසූරියයි. ඇය මිනිපිරියන් දෙදෙනකුගේ මිත්තණියකි.

 

ඡ්‍යොතිෂයෙන් ලද දෙස් විදෙස් ඇගැයීම්

පුවත්පත් කලාවේ නිරත වන සමයේදී ඡ්‍යොතිෂ ශාස්ත්‍රයෙන් ඈ ලද ජයග්‍රහණ, සම්මාන, ගෞරව බුහුමන් රැසකි. ඒ අනුව මෙරට පමණක් නොව විදෙස් රටවල පවා ඇගේ නාමය ප්‍රචලිත වූයේ ඡ්‍යොතිෂය වෙනුවෙන් සිදු කළ සේවය හේතුවෙනි. ඇය මෙරට සේම විදෙස් රටවල පැවැති ඡ්‍යොතිෂ සම්මන්ත්‍රණ හා වැඩමුළු සඳහා මෙරට නියෝජනය කරමින් සහභාගි වූවාය. 1996 දී බංගලාදේශයේ ඩකා නගරයේ දින 7ක් පුරා පැවැති අට වැනි ආසියාතික ඡ්‍යොතිෂ සම්මන්ත්‍රණ මාලාව මෙන්ම 1999 වසරේ කල්කටාවේ පැවැති 22 වැනි අන්තර්ජාතික ඡ්‍යොතිෂ මහා සමුළුව ඇය නියෝජනය කළාය. එහිදී ‘ඡ්‍යොතිෂ මහා භාරතාචාර්ය‘ යන ගෞරව නාමය හා රන්පදක්කම හිමිකර ගැනුමට තරම් ඇය භාග්‍යවන්ත වූවාය.

2000 වසරේ දී ඉන්දියාවේ චන්දිගාර් නගරයේ පන්ජාබි විශ්ව විද්‍යාලයේ පැවැත් වූ දෙවැනි අන්තර්ජාතික ඡ්‍යොතිෂ සම්මන්ත්‍රණයට ද ඇය සහභාගි වූවාය. එහි දී ඇය ඡ්‍යොතිෂ ශිරෝමණී සම්මානයෙන් පිදුම් ලද අතර අන්තර්ජාතික ඡ්‍යොතිෂ සංගමයේ ශාඛාවක් ශ්‍රී ලංකාවේ ආරම්භ කරන්නට ද මූලිකත්වය ගෙන කටයුතු කළාය. ගීතා ජයසූරිය මහත්මිය ලංකාවේ පිහිට වූ එම ශාඛාවේ නියෝජ්‍ය සභාපතිනිය වශයෙන් තෝරා ගනු ලැබුවාය.

2002 වසරේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත් වූ අන්තර්ජාතික ඡ්‍යොතිෂ සම්මේලනයේ දී ‘ඡ්‍යොතිෂරත්න‘ නාමයෙන් ද ඇය පිදුම් ලැබුවේ එම සංගමයේ නිර්මාතෘ මහෝපාද්‍ය ඡ්‍යොතිෂ් මහාර්ෂි මහාචාර්ය වෙඩ් ප්‍රකාශ් උපාධ්‍යාය මහතා වෙතිනි.

මේ ආකාරයට පුවත්පත් කලාවටත් රටටත් මාධ්‍යවේදයෙන් හා ඡ්‍යොතිෂයෙන් අගනා මෙහෙවරක් කළ ගීතා ජයසූරිය මහත්මිය තමනට හුරු පුරුදු ඡ්‍යොතිෂ මෙහෙවරෙහි යෙදෙමින් මේ වන විට කළගෙඩිහේන පාර, වේයන්ගොඩ පිහිටි ඇගේ නිවෙසේ විශ්‍රාම සුවයෙන් පසුවන්නීය. ඇගේ නාමය අදත් හෙටත් ඡ්‍යොතිෂ ක්ෂේත්‍රයේ වැජඹෙන නමක් වන්නේ ඇය සිදු කළ සේවය අදට ද අසන්නට දකින්නට ලැබෙන නිසාය.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.